රුපියල සවිමත් බවට රජය කරන ප්‍රකාශ බොරු | සිළුමිණ

රුපියල සවිමත් බවට රජය කරන ප්‍රකාශ බොරු

රුපියල සවිමත් බවට රජය කරන ප්‍රකාශ සාවද්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉකුත්දා ප්‍රකාශ කළේය. මැතිවරණයක් පැවැත්වීමට තරම් මුදල් නැති රටක් බවට අද ශ්‍රී ලංකාව පත්ව ඇති බවත්, දැන් හදිසියේම රුපියල ශක්තිමත් බව රජය කියන බවත් හෙතෙම ප්‍රකාශ කර තිබේ. මැතිවරණය පැවැත්වීමට නියමිත නිශ්චිත දිනයක් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දිය යුතු බවද ටිල්වින් සිල්වා මෙහිදී තවදුරටත් පැවසීය. 

රුපියල් 180ක් ව තිබුණු අ‍ෙමරිකන් ඩොලරය රුපියල් 380කට ආසන්න මිලකට ඉහළ ගියේය. එයින් මෙරටට ආනයනික සියලු භාණ්ඩවල මිල අහස උසට නැංග්ගේය. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගැනීමට නොහැකි විය. ගෑස් හා ඉන්ධන පෝලිම් ඇති විය. රටම බංකොලොත් විය. ණය ගෙවා ගත නොහැකි විය. අඳුරේ සිටින්නට පවා අපට සිදු විය. මෙයට ප්‍රධාන හේතුව අපේ රටේ ඇති වූ මූල්‍ය අවපාතයයි. මේ තත්ත්වය මත ඇතැමෙක් දේශපාලන සිහින මැවුවේ ආර්ථිකය වළ පල්ලට ගියත් තම දේශපාලන වාසි ලබා ගැනීමට අවශ්‍ය නිසාය.

එහෙත් පසුගිය සතියේ මැද භාගයේ සිට රුපියල දිගින් දිගටම ශක්තිමත් වන්නට පටන් ගත්තේය. එය රටේම සමස්ත ආර්ථිකයට මෙන්ම දේශපාලන වශයෙන් විශාල සාර්ථකභාවයකට පත්වන්නක් විය. විශේෂයෙන්ම අප රට දෙස බලා සිටින විදේශිකයන්ට අපේ ණය හිමියන්ට එය කොළ එළියක් බවට පත් විය. එහෙත් ඒ ශක්තිමත් බව ගැන ද ඇතැම් දේශපාලකයෝ විවිධ පුරෝකථන කියන්නට කටයුතු කළහ.

ආර්ථිකය ගැන කියන්නට දන්නා දේශපාලකයන් සිටින්නට පුළුවන. ඒ අතේ ඇඟිලි ගණනටය. ඒ පිළිබඳව සැබෑ තතු දන්නේ ආර්ථික විශාරදයන් මිස ඔවුන් නොවේ. වර්තමානයේ රුපියල ශක්තිමත් වී ඩොලරයේ පහළ යාම හමුවේ රටේ ස්ථාවරතාව ඇති වන්නේ කෙසේද? රටේ සමස්ත ආර්ථිකයට, දේශපාලන වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් මේ කටයුතු අපට බලපාන්නේ කෙසේද යන්න ගැන ආර්ථික විශාරදයන් විසින් දැක්වූ අදහස් ඇසුරින් මේ ලිපිය සකසා තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න පවසන්නේ ආර්ථිකය සම්බන්ධව මෙරට පැවති රුපියල් හා ඩොලර් ප්‍රශ්න දෙකින් අපට විසඳා ගැනීම අපහසු වන්නේ ඩොලර් ප්‍රශ්නය බවයි.

‘‘ අපේ රටේ ස්ථාවර බව, ආර්ථිකයේ ඉහළ යාම මේ සියල්ල රඳා පවතින්නේ රුපියලේ ශක්තිමත් බව නිසයි. මීට කලකට පෙර රුපියල් මිලියන 200ක් පමණ වූ විදේශ ප්‍රේෂණ මේ වන විට රුපියල් මිලියන 700ක් පමණ දක්වා ඉහළ ගිහින්. ඒ වගේම ලෝක බැංකුව හරහා අපට ලැබෙන ඩොලර් මිලියන ගණනත්, ආසියානු සංවර්ධන බැංකුව විසින් තවත් ඩොලර් මිලියන ගණනක ව්‍යාපෘති මෙරට ආරම්භ කිරීමට සැලසුම් කිරීමත් සමඟ මෙරට ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීම අපට පහසු වේවි.

ඒත් එක්කම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලැබීමේ සුබ ලකුණු පහළ වීමත් සමඟම බොහෝ දේ අපට යහපත් ලෙසින් විසඳෙන ලකුණු පහළ වී තියෙනවා.

මේක හරියට කළුවර උමඟයකට ඇතුළු වෙලා අපි කළුවරේ ගිහින් එහි අවසානය පේනකොට එළිය ඈතින් පේනවා වගේ. ඒ නිසා තමයි මේ වන විට ලෝකයේ ශක්තිමත්ම මුදල් ඒකකයක් ලෙසට ශ්‍රී ලංකා රුපියල පත් වෙලා තියෙන්නෙ. වේගයෙන් රුපියල ඉහළ යනවා. එය අ‍ෙමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල් 250ක් දක්වා වන මට්ටමකට ළඟා වෙන්න පුළුවන්. එහෙම වුණොත් එයින් අපට විශාල වාසියක් සැලසෙනවා.

ඒ එක්කම මේ වෙනකොට හංගලා තිබුණු ඩොලර් එළියට එන්න පටන් අරගෙන. සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි වුණත් බොහෝ ඇති හැකි අය ඩොලර් වගේම රත්රන් අරගෙන තියා ගත්ත. සාමාන්‍ය ප්‍රමාණයන් නෙමෙයි. ඩොලර් මිලියන ගණන් ඇති. දැන් ඒ හංගපු ඩොලර් එළියට එන්න පටන් අරගෙන. ඒ නිසා ඩොලරය තව දුරටත් පහළ යනවා. ඇත්තෙන්ම බිලියන ගණනක ඩොලර් මේ විදිහට හංගලා තියෙනවා මගේ දැනුමේ හැටියට. විදේශයන්ගෙන් එන ඩොලර් ප්‍රමාණයට වඩා රට ඇතුළේ කැරකෙන ඩොලර් ප්‍රමාණය වැඩියි. ඒකෙන් අපේ රටේ උද්ධමනය පහළ යනවා. එයින් ජනතාවට විශාල සෙතක් සැලසේවි. අපනයන ශක්තිමත් කිරීම තුළින් මේ තත්ත්වය වඩාත් යහපත් කර ගත හැකියි. ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයන් අවශ්‍ය යන්ත්‍රණ සකස් කළ යුතු වෙනවා. කොහොමත් පවත්නා වත්මන් තත්ත්වය ජනතාවට හිතකර බව පෙන්වා දෙන්න පුළුවන්. ‘‘

වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සල පෙරේරා පවසන්නේ ද රුපියල ශක්තිමත් වීම හරහා මෙරට ස්ථාවරත්වය රැක ගැනීමට මං පෑදී ඇති බවයි.

‘‘ අපේ රටේ අමෙරිකන් ඩොලර් මිලියන 100ක් අපනයනය කරනකොට ආනයන අ‍ෙමරිකන් ඩොලර් 200ක් වන තත්ත්වයක් දක්නට තියෙන්නෙ. ඒ තත්ත්වය දැන් පාලනය කරලා. ඩොලරයේ අඩුවීම සිදුවෙනකොට අපේ රටට ඉන්ධන, ගෑස්, ගල්අඟුරු ආනයනය පහසු වෙනවා. ඒ කියන්නේ සැපයුම් ජාලයේ මිල අඩුවෙනවා. පසුගිය කාලයේ උද්ධමනය 90%කින් පමණ ඉහළ ගොස් තිබුණා. මේ වෙනකොට ඒ තත්ත්වය 50%ක් පමණ දක්වා පහළ ගොස් තියෙනවා. ඒක රටේ ආර්ථිකයට රටේ ස්ථාවර බවට විශාල ශක්තියක්. එය තව දුරටත් අඩුවන ලකුණු තියෙන්නෙ. ඒක රටට විශාල ශක්තියක්. ඒ හරහා ජනතාවට විශාල සහනයක් ලැබෙනවා. අපේ ඩොලර් සංචිත වැඩිවෙලා තියෙනවා. ඒ හරහා මෙරට ආර්ථික ගැටලුවලින් අඩකට පමණ විසඳුම් ලැබෙනවා. අපට ඩොලර් නැති නිසයි ඉන්ධන, ගෑස්, ගල්අඟුරුවලට ගෙවීම් කරන්න බැරිවුණේ. ඒ තත්ත්වයට විසඳුමක් ලැබුණු විට ජනතාවට විශාල සහන දෙන්න පුළුවන්.

ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි මූල්‍යාතනවලින් අපට සහන ලැබෙන විට ඒ හරහා ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඩොලරය රුපියල් 250ක් හෝ ඊටත් පහළට යන්න පුළුවක් තත්ත්වයක් තියෙන්නෙ. ඒ වගේම පෙන්වා දිය යුතු අනෙක් විශේෂිතම කරුණ තමයි 2022 ජූනි මාසෙ වන විට අපේ ණය ප්‍රමාණය වුණේ ට්‍රිලියන 16ක් පසුව එය ට්‍රිලියන 24ක් දක්වා ඉහළ ගියා. ඒ ඩොලරයේ ඉහළ යෑම නිසා. ඒ ණය ප්‍රමාණයත් යළි පහළ යනවා ඩොලරයේ පහළ යෑම නිසා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට පවසා තියෙනවා විදේශ ණය සම්බන්ධයෙන් ‘ධරණීය‘ බව රැක ගන්නා ලෙසට. එයට ඩොරලයේ මිල පහළ යෑම ලොකු රුකුලක් වනවා.‘

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය මුදිතා කරුණාරත්න පවසන්නේ විනිමය අනුපාතය ශක්තිමත්ව තිබුණහොත් රුපියල ශක්තිමත්ව රඳා පවත්වා ගැනීමට හැකි බවයි. ඒ හරහා ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ද ඇය පෙන්වා දෙයි.

‘‘ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පාලා තිබුණෙ. රුපියල් 200ක පමණ සිට රුපියල් 362ක් පමණ අගයකට ඩොලරය ඉහළ ගියා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා රුපියල ශක්තිමත් වීම ඇරැඹිලා තියෙනවා. දැන් අප කළ යුත්තේ මේ තත්ත්වය දීර්ඝකාලීනව පවත්වා ගැනීමයි.

ඇමරිකානු ඩොලරය රුපියල් 200 මට්ටමේ පවත්වාගෙන යන්න අවශ්‍ය වූ නිසයි මහ බැංකුව සතු ඩොලර් සංචිත නිකුත් කරන්න පටන් ගත්තෙ. අවසානයේ මහ බැංකුව ඩොලර් විකුණුම්කරුවකු බවට පත් වුණා. ඒ සංචිත අවසන් වීමෙන් පසුව රුපියල පාලනය කර ගත නොහැකි වුණා. ඒ නිසයි ඩොලරය රුපියල් 362ක් දක්ව ඉහළ මිලකට ගියේ. එහිදී ආනයන සීමා කරල ඩොලර් පිටතට ගලා යෑම වැළැක්වූවා. දැන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තියෙන්නෙ. සංචාරකයන්ගේ පැමිණීම වැඩි වෙලා, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වෙලා තියෙන්නෙ. රුපියල ශක්තිමත් වීම තුළින් පොදුවේ රටේ ආර්ථිකය සවිමත් වෙනවා. එය විදේශීය වෙළෙඳපොළට ඍජුව බලපානවා. රුපියල ශක්තිමත් වීම තුළින් ආනයන භාණ්ඩවලට ගෙවනු ලබන මුදල් ප්‍රමාණය අඩුවෙනවා. ඒ අනුව ගෑස් ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පහසු වනවා විතරක් නෙමෙයි ඒවා ජනතාවට අඩු මිලකට ලබා දෙන්නත් පුළුවන් වෙයි. ජනතාවට හිමි වන වාසිය වැඩියි. කෙසේ හෝ මේ තත්ත්වය මත ආනයන අඩු කර අපනයන ආර්ථිකය සවිමත් කළහොත් පමණයි අපට නිසි ප්‍රතිඵල ලබාගත හැක්කේ. එසේ නොමැතිව ආනයන භාණ්ඩ මිල අඩුවෙන් ලබා ගැනීම හෝ පහසුවෙන් ලබා ගැනීම මත දේශීය දේ ඉතිරිව තිබියදී භාණ්ඩ අකයනය කළහොත් සිදු වන්නේ පෙර තත්ත්වයමයි.

ඩොලරයට සාපේක්ෂව වේගයෙන් රුපියල ශක්තිමත් වීම මත ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇතිව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසයි.

‘උද්ධමනය අඩු වෙලා, භාණ්ඩ මිල අඩු වෙන ආර්ථික රටාවක් නිර්මාණය වෙමින් පවතිනවා, ඒ හරහා ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් පහළ යෑමෙන් ජනතාවට සහනයක් සිදු වේවි. බඩු මිල අඩු වේවි. අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ ලැබේවි. නමුත් අපි තේරුම් ගත යුතුයි; තවමත් දැඩි ආනයන සීමා යටතේ මේ කටයුතු සිදු වන බව. විශේෂයන්ම ආනයන වියදම බිලියන ගණනින් අඩු වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ සංකෝචනය වෙච්ච ආර්ථිකයක් අනුව තමයි මේ රුපියල ඉහළ යන්නේ. රුපියල ස්ථාවරව ශක්තිමත් බවකින් ඉහළ යනවා යැයි අපට කියන්නට හැකි වන්නේ රැකියා උත්පාදනය වන ආර්ථිකයක් අපනයන ආර්ථිකයක් වඩාත් වර්ධනය කර ගතහොත් පමණයි.

රුපියල ඉහළ යාමෙන් ආර්ථිකයට සවියක් ඇතිවෙලා තියෙනවා. ඒක අප පිළිගත යුතුයි. නමුත් ඒ සවිය ස්ථිර සවියක් බවට හැරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ‘‘ ආර්ථික විශ්ලේෂක චිත්‍රාල් ජයවර්ණ පවසන්නේ නව ක්‍රමයකට ආර්ථිකය හැසිරවීමට මෙය හොඳම අවස්ථාවක් බවයි.

‘‘ මේ වෙනකොට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සැලකිය යුතු ලෙසින් ඉහළ ගොස් තියෙනවා. එහෙත් කිසිදු හේතුවක් මත පවත්නා ක්‍රමවේදයන් නිර්ණායක මූල්‍ය නීති රීති එක්වරම ලිහිල් නොකළ යුතු වෙනවා. ඩොලරයේ අගය එක පාරටම වේගයෙන් ඉහළ ගියෙත් එක්වරම ඩොලරයේ වටිනාකම ඉහළ යන්න අත හැරපු නිසයි.

මේ නිසා කිසිදු හේතුවක් මත පවත්නා ඉන්ධන කෝටා ලබා දීම වැනි ක්‍රමවේද එක්වරම ලිහිල් නොකළ යුතු වෙනවා. අවම වශයෙන් මාස 6ක් වත් ඒ තත්ත්වය පවත්වාගෙන යා යුතුයි.ප්‍රතිසංස්කරණ සිදු කරමින් ක්‍රමයෙන් මේ අර්බුදයට විසඳුම් ලබා දිය යුතු වෙනවා. පවත්නා තත්ත්වය අපට සුබ ලකුණු ලබා දී තියෙන්නෙ. අප දැන් කළ යුත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ප්‍රමුඛතාව ලබා දී ආනයනයට අවස්ථාව සලසාදීමයි. එහිදී ඖෂධ, ඉන්ධන වැනි දේට මුල් තැන දිය යුතුමයි.

කිසිදු හේතුවක් මත වසරක්වත් යනතුරු වාහන ආනයනය නොකළ යුතුයි. එය තවත් ඉන්ධන ඉල්ලුම වැඩිවීමට හේතුවක් පමණයි.

ඒ වගේම ආනයන අපනයන දත්ත ගබඩාවක් සකස් කළ යුතුයි. රේගුවේ දත්ත හැරෙන්නට ආයතනයකින් ආනයනය කරන ප්‍රමාණය, වටිනාකම, එහිදී උපයන විදේශ විනිමය ප්‍රමාණය බලා ගන්න ක්‍රමවේදයක් නැහැ.

ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන වඩාත් උනන්දු විය යුතුයි. එහි ස්ථිරතාව ඇති කළ යුතුයි. රැකියා දහස් ගණනක් මේ ක්ෂේත්‍රයේ අහිමි වෙලා. එමෙන්ම බැංකු පොලී අනුපාත අඩු කළ යුතු වෙනවා. ව්‍යාපාරවලට යොදවන්නේ බැංකු හරහා ගත් ණය පහසුකම් ඒ වෙනුවෙන් අධික පොලී ගෙවන්නට සිදුවන අපහසුතාවලින් ව්‍යපාරකරුවන් වළක්වා ගත යුතු වෙයි‘

 

Comments