හැමෝම කැප කිරීම් නොකළොත් රට ගොඩගන්න බෑ | සිළුමිණ

හැමෝම කැප කිරීම් නොකළොත් රට ගොඩගන්න බෑ

- කකුලෙන් අදින්න එපා කියලයි අපි විපක්ෂයෙන් ඉල්ලන්නේ
- තැපෑල කාටහරි ගන්න කිව්වොත් ගන්න කවුරුවත් එන්නෙ නැහැ. හේතුව ආදායම මිලියන 7,000 යි. වියදම මිලියන 14,000 යි

ට යම් ස්ථාවරයකට පත්වෙමින් තිබෙන මොහොතක රට හමුවේ ඇති අභියෝග හා ඉදිරි සැලසුම් පිළිබඳව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සමඟ සිළුමිණ කළ සාකච්ඡාවකි.

ජනාධිපතිවරයා IMF එකෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා කරනවා. මේ ගැන ගැන මොකද හිතන්නේ?

එතුමා මේ ආර්ථික අර්බුදය නිවැරදිව අවබෝධ කරගෙන; අපේ රටේ ආර්ථිකය යා යුතු දිශානතිය තේරුම් අරගෙන ක්‍රමානුකූලව ගමන් කළ යුතු වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ ඇති කරගත්ත සම්බන්ධතාව සලකා බැලුවොත්; මීට ප්‍රථම අපි මේ මේ දේවල් කරන්නම් කියන පොරොන්දු පත්‍රයක් උඩ තමයි ගනුදෙනු කළේ. නමුත් මේ අවස්ථාවේදී බදු සම්බන්ධ වෙනස් කම්, විදුලි බිල සම්බන්ධයෙන්, ඉන්ධන සම්බන්ධයෙන්, රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ණය ලබාදීමට කලින් ක්‍රියාවට නංවන්න කටයුතු කළා.

දැන් අපට කොන්දේසි නෙමෙයි එකඟතාවන් තියෙන්නේ. ඒ එකඟතාවන් ක්‍රමානුකූලව අප ඉටු කළ යුතුයි. ඒ තුළ බදු නැවත කළමනාකරණයක් කරන්න කියල තියෙනවා. අපේ රටේ ආර්ථික වේගය වැඩි කරන්න කළ යුතු කාරණා ඒ අතර තිබෙනවා. අපේ රටේ ආර්ථික වේගය වැඩිවෙනව නම් ඒකේ වාසිය තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ද? අපට ද? අපේ රටේ උද්ධමනය පහළට ගේන්න මෙන්න මේ දේවල් අනුගමනය කරන්න කියල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා. ඒ දේවල් ක්‍රියාත්මක කළාම උද්ධමනය පහළට එනව නම්, ඒකේ වාසිය යන්නේ ඔවුන්ට ද? ශ්‍රී ලාංකිකයන් වන අපට ද? මෙන්න මේ දේවල් අපි නිවැරදිව තේරුම් ගන්න ඕන. අද රුපියල එක පැත්තකින් ශක්තිමත් වෙනවා. රුපියල ශක්තිමත් වීමත් එක්ක ආනයනික භාණ්ඩවල මිල ක්‍රමානුකූලව පහත වැටෙනවා. ඒක කෘත්‍රිමව නැතිව ස්වභාවිකව සිද්ධ වන තත්ත්වයට පත් වී තිබෙනවා. මේක තේරුම් ගන්න බැරි පිරිස් විවිධාකාර චෝදනා නඟනවා.

ඔබ කියන්නේ මින් වාසියක් මිස අවාසියක් අත් නොවන බවද?

ඕනම දේක වාසි සහ අවාසි දෙකම තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කටයුතු කිරීමේදිත් අපට වැඩි වාසියක් අත්වනවා වගේම යම් යම් පීඩනයන් තියෙනවා අවාසි හැටියට. ඒ පීඩනය මේ අවස්ථාවේදී අපි දරා ගන්න ඕන. ජනාධිපතිතුමා ජාතික ආර්ථික ගමන් මඟ පිළිබඳ පැහැදිලි ඉදිරි දර්ශනයක් පෙන්වාදී ඇති නිසා කකුලෙන් අදින්න එපා කියලයි අපි විපක්ෂයෙන් ඉල්ලන්නේ. මෙවැනි දුෂ්කර ගමනක් යද්දී වලවල්වල වැටෙනවා; විවිධ බාධක හමුවෙනවා; නමුත් මේ මාර්ග සිතියමේ අපේ ඉලක්කය කරා අප යා යුතුමයි. ඒ නිසා ඒකට සාමුහික කැප කිරීමක් අවශ්‍යයි. ශාන්ත බණ්ඩාර විදියට මට, මාධ්‍යවේදීන් විදියට ඔබට, රාජ්‍ය සේවකයන්ට, ගොවි ජනතාවට, තරුණ තරුණියන්ටත්, පෞද්ගලික අංශයට, ව්‍යවසායකයන්ට මෙහි වගකීම බෙදී යනවා. තම තමන්ට පැවරෙන වගකීම හරියට ඉටු කළොත් තමයි අප අනාගතේ බලාපොරොත්තු වන සමෘද්ධිය කරා මෙරට නිදහස ලබා වසර සියයක් සපිරෙන 2048 දී අපට ගමන් කළ හැකි වන්නේ. අපේ දරුවන්ට ශ්‍රී ලංකාව යනු සංවර්ධිත රටක් කියලා ලියන්න පුළුවන් වන විදියේ රටක් ගොඩනැඟීම තමයි ජනාධිපතිවරයාගෙත් අපේත් එකම අරමුණ වී තිබෙන්නේ.

සංවර්ධිත රටක් වෙන්න නම් ණය ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වගේම විදේශ ප්‍රේෂණ ළඟා කරගැනීම අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව ඇති වැඩපිළිවෙළ කුමක්ද?

රට තුළ සාමකාමී පරිසරයක් නිර්මාණය කළොත් ඒකම විදේශ ප්‍රේෂණ වැඩි කරගන්න හේතුවක් වෙනවා. මොකද ප්‍රශ්න තියෙන රටවලට සංචාරකයන් එන්නෙ නැහැ. සාමකාමී පරිසරයක් තියෙනවා නම් ඔවුන් විශාල වශයෙන් මේ රටට පැමිණෙනවා.

සංචාරක ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වන ඩොලර් බිලියන 5ක ආදායම රට තුළට ගේන්න නම් ඒ තත්ත්වය ඇති කර ගත යුතු වෙනවා. ඒ විදියට රට තුළට ඩොලර් බිලියන පහක් ගේන්න පුළුවන් වුණොත් අපට ජාත්‍යන්තරයට ගොස් මේ විදියට ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපේ රටේ ක්‍රියාත්මක වන කුහක දේශපාලනය නිසා රටේ ආරවුල් තත්ත්ව නිර්මාණය කරනවා. ඉන් මේ රටට එන සංචාරකයන්ට පීඩනයක් එල්ල වුණොත් ඔවුන් සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ තබන සටහන් සතුටුදායක වෙන්නේ නැහැ. වෘත්තිය පුහුණුව ලබාදෙමින් දැනුම්වත් තරුණ ප්‍රජාවක් ඇති කර ඔවුන් විදේශ රටවල සේවයට යැවීමෙන්, ඒ වගේම හෙද සේවය, ගෘහසේවය, උපස්ථාන සේවය ආදී සේවා විදේශ රටවලට සැපයීමෙන් විශාල විදේශ මුදල් ප්‍රමාණයක් මේ රටට ගෙන්වා ගත හැකියි.

මේ රටේ ඉන්න බැහැ කියලා බොහෝදෙනා රට හැර යනවා කියලා විපක්ෂයෙන් චෝදනාවක් එල්ල වෙනවා.

අපේ රටට විදේශ විනිමයක් එකතු කරල දෙන තරුණයෙක් තරුණියක්, ස්ත්‍රියක් පුරුෂයෙක් ඉන්නව නම් ඔවුන්ට යම් හැකියාවක් තියෙනවා නම් විදේශ රටකට ගොස් සේවය කළාම මොකද වෙන්නේ.

තමන්ගෙ රට වෙනුවෙන් ඩොලරයක් පවුමක් එවමින් තමන් ඉපදුණු රටට සේවය කරනවා නම්; ඒකට රට හැර යනවා කියලා කතා හදන එකේ තේරුම මොකක්ද? කවදත් අපේ රටේ අය විදේශ රටවල ගිහින් සේවය කළා.

මේ රටට මුදල් එවලා රටේ ආර්ථිකය ශක්තිමත් කළා.

නමුත් ජ.වි.පෙ නායකයන් මේ රටට ශතයක් එවන්න එපා ඔයාල ළඟම මුදල් තියා ගන්න කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

එහෙම තියාගත්ත අයට අද මොකද වෙලා තියෙන්නේ? එවන්න එපා කියපු අය අද ඒ වෙනස ඔවුන්ට පියවනවද? 365ට ඩොලරයට දෙන්න තිබුණ මුදල අද විශාල වශයෙන් අඩු වෙලා. ඒ නිසා අපි ඒ කුහක දේශපාලනයෙන් මිදෙන්නට ඕන.

යහපාලන රජය කාලේ පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමට යෝජනා කළ වෙලාවේ එකල විපක්ෂය විදියට ඔබලා ඊට විරෝධය පෑවා. එදා අගමැතිවරයා විදියට වත්මන් ජනාධිපතිවරයා ගෙනාව ඒ යොජනා යථාවත් කළා නම් හොඳයි කියල හිතෙනවද?

ඔව්, එදා එතුමා ඒ ගෙනාපු සාකච්ඡාව ඉස්සරහට ගෙන ගියා නම් හොඳයි කියන කාරණය අපි පිළිගන්න ඕන. ඒකට හේතුව තමයි, අපේ දේශපාලන පක්ෂවලට අනන්‍ය වෙච්ච ප්‍රතිපත්ති රාමු තියෙනවා. නමුත් ඒ ඒ කාලයට සාපේක්ෂව මේ ප්‍රතිපත්ති යාවත්කාලීන විය යුතු බව අපි විවෘතව පිළිගන්න ඕන. ඒ අනුව ඒ ඒ පක්ෂවල ප්‍රතිපත්ති රාමු වෙනස් කර ගන්න ඕන. නැත්තම් රටටත් ගමනක් නැහැ. පක්ෂයට ගමනකුත් නැහැ. රුපියල් බිලියන 500ක් විතර වියදම් කරමින් පවත්වා ගෙන යන අපේ සමහර ආයතන තිබුණා. ඒ නිසා ඒ තත්ත්ව අපි වෙනස් කළ යුතුයි. ඒ සඳහා අපි මේ ගෝලීය ක්‍රමයට ගැළපෙන ආකාරයට පක්ෂ රාමුවලින් සහ ප්‍රතිපත්තිවලින් පිටට එන්න ඕන.

මේ අනුව ඉදිරියේදී තැපෑලට මොනවගේ තත්ත්වයක් ඇති වේවිද?

තැපෑල කාටහරි ගන්න කිව්වොත් මේක ගන්න කවුරුවත් එන්නෙ නැහැ. හේතුව ආදායම මිලියන 7,000 යි. වියදම මිලියන 14,000 යි. මිලියන හත්දාහක පාඩුවක් තියෙනවා. මේක පවත්වා ගෙන යන්න අමතර මිලියන හතක් මහා භාණ්ඩාගාරයෙන් දරන්න ඕන. ඒ නිසා මේ පරතරය අඩු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණයට භාජනය කරමින් ලොකු වෙනසක් කරන්න බලා පොරොත්තු වෙනවා.

අද ඔන්ලයින් මාර්කට් එකේ භාණ්ඩ හා සේවා බෙදාහැරීමේ වැඩි පංගුවක් පුද්ගලික අංශය විසින් භාරගෙන තිබෙනවා. නමුත් තැපෑලත් එක්ක ඔවුන්ට තිබෙන සම්පත් සීමිතයි. එවැනි තැනකට තැපෑල ගෙනියන්න බැරිද?

ඔබ කියන කාරණය ඉතාම නිවැරදියි. පුද්ගලික අංශයට තවම රට පුරා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් නැහැ. ලංකාව පුරාම මේ බෙදාහැරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම ආයතනය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවයි. ඒක අප මේ වනවිට අවබෝධ කරගෙන තිබෙනවා. නමුත් අප යම් යම් ක්‍රියාමාර්ග ගනිද්දි වෘත්තිය සමිති සංගම්වල හඬටත් ඇහුම්කන් දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තැපැල් ආඥා පනත වෙනස් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. අදට ගැළපෙන ආකාරයට මේ ආයතන යාවත්කාලීන කිරීම මේ පනත මඟින් අවුරා තිබෙනවා. එනිසා මේ පිළිබඳව කැබිනට් අමාත්‍යවරයා දැනුම්වත් කර ඒ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව එය වෙනස් කර නව්‍යකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න බලාපොරොත්තු වෙනවා.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න 

Comments