- අද ජවිපෙට එකතු වෙලා ඉන්නේ හික්මීමක් සහිත විනයක් සහිත පුද්ගලයන් කියලා මම හිතන්නේ නැහැ
- ජවිපෙට ලොකු ජාත්‍යන්තර සබඳතා නැහැ
- ලස්සන ආකල්ප නොවෙයි, සුන්දර කතා කියන්න ජවිපෙට පුළුවන්
- එදා ජවිපෙ ප්‍රතිපත්ති මේ ජාතික ජන බලවේගයේ ඇතුළේ ක්‍රියාත්මක කරනවා කියලා විශ්වාස කරන්න බැහැ
ඔබ 1987 වසරේ ජවිපෙ සමඟ සම්බන්ධ වෙනවා. ඉන් අනතුරුව 1988 -1989 වර්ෂවල පැවැති පාලනයත් සමඟ ජවිපෙ දැවැන්ත කඩා වැටීමකට ලක් වෙනවා. ඉන් අනතුරුව නැවත ජවිපෙ ගොඩනැඟීමේ දැවැන්ත කාර්යට ඔබෙන් ලැබුණ දායකත්වය කෙබඳුද?
මම 1987 වර්ෂයේ ජවිපෙට සම්බන්ධ වෙනවා. ඒ ආසන්නයේදී ජවිපෙ කඩා වැටෙනවා. එහිදී පක්ෂය ගොඩ නඟන්න ක්‍රියාකාරී වැඩ කොටසක් මමත් ඉටු කරනවා.
ඉන් පසුව 1997 වර්ෂයේදී මම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙසත් නැවත දකුණු පළාත් සභා ඡන්දෙට ඉදිරිපත් වෙලා කටයුතු කරන අතර, 2004 වර්ෂයේදී පාර්ලිමේන්තු ඡන්දෙට ඉදිරිපත් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 2011 දක්වා කටයුතු කරනවා. ජවිපෙ නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස මම එතෙක් කටයුතු කළා.
නමුත් 2011 වන විට ජවිපෙ අතහැර වෙනත් දේශපාලන බළකඳවුරකට එකතු වෙනවා.
ඔබ එදා ජවිපෙ හැර යන්න හේතුව කුමක්ද?
1987 වර්ෂයේ ජවිපෙට සම්බන්ධ වන විට අපි තුළ විශාල විශ්වාසයක් තිබුණා මේ පක්ෂය රට වෙනුවෙන් ක්‍රියා කරන පක්ෂයක් වෙයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මා තේරී පත් වුණාට පස්සේ මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ දිගින් දිගටම මට විවේචන විශාල සංඛ්‍යාවක් තිබුණා. අපිට දැඩි කලකිරීම් තිබුණා, එයට හේතුව ප්‍රතිපත්තිමය වශයෙන් ගන්නා ලද වැරදි තීන්දුයි. රටේ ජනතාව ඉදිරියේ ජවිපෙ කතා කරනවා ලොකු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන.
නමුත් පක්ෂය තුළ මාක්ස්, ලෙනින් වාදය තියා ප්‍රජාතන්ත්‍රවාදයවත් නැහැ. සාමාන්‍ය මිනිසුන්ට හිතෙනවා පාරිශුද්ධ වූ ප්‍රජාතන්ත්‍රවාදයක් ජවිපෙ තුළ තියෙනවා කියලා. නමුත් එය මුළාවක්. සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදයක් නොවෙයි එහි තුළ තියෙන්නේ. ජවිපෙ ඇතුළේ තියෙන්නේ ආඥාදායකත්වයක්. දැනටත් මිනිසුන් ඒ ගැන දන්නේ නැහැ. 2004දී අපි ඇමැතිකම් අරගෙන කටයුතු කළා. ජවිපෙ ඉන් පසුව ආණ්ඩුවෙන් ඉවත් වුණා.
රටේ ජනතාව දිස්ත්‍රික්කවලින් වැඩිම මනාප දුන්නා. එසේ නම් ජනතා විශ්වාසය තිබුණා. එදා ගත්තේ වැරදි දේශපාලන තීන්දුවක්. ආණ්ඩුවෙන් අපි ඉවත් වීම එක් හේතුවක් වුණා. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණාම මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නා. ආණ්ඩුවට එන්න කියලා ආරාධනා කළත් ජවිපෙ ඒ වෙලාවේ ආණ්ඩුවට එකතු නොවීම එදා ජවිපෙ ගත්ත වැරදි තීන්දුවක්. එය එදා ගත යුතුව තිබුණ හොඳ තීන්දුවක්. එවැනි අඥාන තීරණවල ප්‍රතිඵලය හොඳ නොවන බව අපි කිව්වා.
වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් තුළ ඔබ කියන ආඥාදායකත්වයක් තිබිය හැකිද?
ජවිපෙ සමාජවාදය ගැන කතා කරනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදයක් පක්ෂ අභ්‍යන්තරයේ තිබිය යුතුයි. අනෙක් අය ඉදිරිපත් කරන අදහසක් ගැන සැලකිල්ලක් දැක්විය යුතුයි. එවැනි අදහස් අපි ඉදිරිපත් කළත් සැලකිල්ලක් දැක්වීමක් දැක්වූයේ නැහැ.
ඒ පිළිබඳ සැලකීමක් නොකළේ එදා ඒ තුළ නොපෙනෙන කණ්ඩායමක් හිටියා. ඒ නොපෙනෙන කණ්ඩායම විසින් ගන්නා ලද තීන්දු පක්ෂය තුළ බලවත් වුණා. එවිට අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරිපත් කරන කරුණු යටපත් කිරීමක් සිදු වෙනවා.
එදා පක්ෂය තුළ සිටි නොපෙනෙන කණ්ඩායම තුළ සිටියේ කුමාර් ගුණරත්නම් වැනි පිරිසක්. බහුජන ව්‍යාපාරයක් ලෙසින් පෙන්නුම් කරන්නේ නැති ඒ පිරිස පක්ෂය තුළ ඉන්නවා. ඒ අය වඩා ප්‍රබලයි.
සමාජයට නොපෙන්වන බලවේගයක් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වීම වාමාශික සමාජවාදය ගරුකරන ව්‍යාපාරයකට සුදුසුද?
කිසිසේත්ම නැහැ. උදාහරණයක් ලෙස මැතිවරණවලදී අපි පක්ෂය වෙනුවෙන් සෝමවංශ අමරසිංහ සහෝදරයා ඉදිරිපත් කරන්න කිව්වා.
ඒ අවස්ථාවලදී පක්ෂයේ ඇතැම් අය එය සිදු කළේ නැහැ. අපි පක්ෂයේ එකඟතාව අනුව වැඩ කළා. සරත් ෆොන්සේකා මහත්මයාව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි විරුද්ධ වුණා.
ඒ අවස්ථාවේදී අපේ මතය ගරු කළේ නැහැ. පාර්ලිමේන්තුවට අපේ පක්ෂයෙන් එදා පාර්ලිමේන්තුවේ තේරීපත් වූ මන්ත්‍රීවරුන් ලෙස සිටි උගත් බුද්ධිමත් අය තිහකට ආසන්න ප්‍රමාණයක් ඉවත් වුණා.
එදා එහෙම වුණේ ගත්ත වැරදි තීන්දු නිසයි. ජවිපෙට මන්ත්‍රී ධුර 42ක් ලැබුණා, 2004දී. ඒ වෙලාවේ ඒ දෙකක් නැවත දුන්නා. එය දේශපාලනිකව ගත්ත වැරදි ක්‍රියාමාර්ගයක්. ඒ වගේ මෝඩ තකතීරු තීන්දු නිසා තමයි පක්ෂට ආදරේ කරපු අය එදා ඉවත් වෙන්න තීන්දු කළේ.
ජවිපෙ යනු වාමාශික සමාජවාදය, මාක්ස් ලෙනින් වාදය විශ්වාස කරන පක්ෂයක්. එසේ නම් මේ වනවිට නිර්මාණය වී ඇති ජාතික ජනබලවේගය අතර වෙනස කුමක්ද?
ජාතික ජන බලවේගයට ඇත්තටම නායකත්වය දෙන්නේ ජවිපෙයි. ජාතික ජන බලවේගය තුළ පක්ෂයේ ප්‍රතිපත්ති නැහැ. ජවිපෙ ජනතාව ආකර්ෂණය කර ගැනීමට අපහසු නිසා බහුජන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය කියලා කියන්නේ. එයට හොඳම උදාහරණය 1988- 1989 කාලයේ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය කියලා පක්ෂයක් හැදුවා, සියලු දෙනාම ඒ වටා එක් රැස් කරගන්න. ඒ ආකාරයක් තමයි අද මෙහි තියෙන්නේ. මෙහිදී මා දකින්නේ ජවිපෙ ප්‍රතිපත්ති ඍජුව පිළිගන්න අවශ්‍ය නැහැ. මේ වගේ තැන්වලට හොඳ නරක අය දෙපාර්ශ්වයම එකතු වෙන්න පුළුවන්. ඒ නිසා එදා ජවිපෙ ප්‍රතිපත්ති මේ ජාතික ජන බලවේගයේ ඇතුළේ ක්‍රියාත්මක කරනවා කියලා විශ්වාස කරන්න බැහැ.
ආර්ථික විද්‍යා මූලධර්ම අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මය සහ සාධාරණත්වයේ මූලධර්ම මත සියලු දෙනාට අතර බෙදී යන, සමානාත්මතාවය මත පදනම් වන ආර්ථික ප්‍රතිපත්තියක් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ආර්ථික ප්‍රතිපත්තිය ජවිපෙ එදා තිබූ ආර්ථික ප්‍රතිපත්තිය මත පදනම් වෙමින් ගොඩනැඟුවක්ද?
මූලික ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන එනම්, බලශක්තිය, විදුලිය, සෞඛ්‍යය, ප්‍රවාහනය නිෂ්පාදනයේ ක්‍රියාදාමයේ මූලිකාංග රජය සතු විය යුතු බව තමයි ජවිපෙ ආර්ථීක ප්‍රතිපත්තියේ මූලික සිද්ධාන්තය. ඒ අනුව ආර්ථික මර්මස්ථානවල නිෂ්පාදන විකිණීමෙන් ලැබෙන ලාභයෙන් තමයි රට දුවවන්නේ. පුද්ගලික ව්‍යාපාර කරන පිරිස නවත්වන්නේ නැහැ.
නව ලිබරල්වාදී සමාජ ක්‍රමවේදයක් පවතින අද කාලයට එදා ජවිපෙ ආර්ථික ප්‍රතිපත්තිය කොතරම් ගැළපෙනවාද යන්න ගැටලුවක් නේද?
ඒක ඒ විදිහටම ගැළපෙනවා කියලා මම හිතන්නේ නැහැ. නව ලිබරල්වාදය තියෙන රටවලත් ප්‍රධාන ආර්ථීක මර්මස්ථාන රජය සතුවන අවස්ථා තියෙනවා. ඒ තුළින් රාජ්‍යයක් ගොඩ නඟන්න පහසු වෙනවා. සියලු ආර්ථික මර්මස්ථාන පුද්ගලික අංශයට දුන්නොත් රාජ්‍යයක් පවත්වා ගෙන යන්න අපහසුයි.එය අසාර්ථක රාජ්‍යයක් වෙනවා. ආර්ථීකය සමාන වන විට සියලු දෙනාටම සමව බෙදිය යුතුයි යන සංකල්පය ඒ ආර්ථීක ප්‍රතිපත්තියේ අවසාන අදියරයි. සමානාත්මතාව කියන්නේ නිෂ්පාදනයේ ලාභය රටේ සියලු දෙනාටම ලැබෙන්න අවශ්‍යයි කියන කාරණාවයි. එවැනි ක්‍රියාවලියක් ජවිපෙට ක්‍රියාත්මක කරන්නත් බැහැ. ජාතික ජන බලවේගයටත් බැහැ. ජවිපෙට දැන් එකතු වෙලා ඉන්න අයගෙන් සමානාත්මතාව ක්‍රියාත්මක කරන්න බැහැ. අද එකතු වෙලා ඉන්නේ හික්මීමක් සහිත විනයක් සහිත පුද්ගලයන් කියලා මම හිතන්නේ නැහැ. ජවිපෙ ඉතිහාසය තුළ හික්මීමක් සහිත යම් යන්ත්‍රණයක් තිබුණා. ඒත් අද වන විට හික්මීමක් සහිත අය නොවෙයි ඇවිල්ලා තියෙන්නේ.
ඔබ කියන්නේ ජාතික ජන බලවේගය සමඟ එකතු වෙලා ඉන්න පිරිසට හික්මීමක් සහ විනයක් නැහැ කියලාද?
ජවිපෙ කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කළ යුතු දෙයක්, විනය කියන එක සහ හික්මීම. පක්ෂයක් අභ්‍යන්තරයේ විනයක් හෝ හික්මීමක් ඇතිවෙන්නේ නැහැ පුරුදු පුහුණු කරන්නේ නැතුව. අලුතින් එන අයගෙන් එය බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නොවෙයි.
ජවිපෙ 2004 වසරේදී ඔවුන් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂයක් සමඟ සන්ධානගත වී ඡන්දයට ඉදිරිපත් වුණා. එවැනි වටපිටාවක ජවිපෙට තවදුරටත් වාමවාදී දේශපාලන බළ කඳවුරක් ලෙස පෙනී සිටීමට නොහැකියි නේද ?
කිසිසේත් බැහැ. අද ජවිපෙ වාමාශික පක්ෂයක් නොවෙයි. දැන් ජවිපෙ බලන්නේ කෙසේ හෝ බලය ලබා ගැනීම පමණයි. එදා හික්මීමක් සහ ගනු ලබන තීන්දුවල යම් ප්‍රමාණයක් නිරවද්‍යතාවක් තිබුණා. ඒ නිරවද්‍යතාව නැතිවෙන්න ගත්තේ 2004න් පසුවයි. ජවිපෙ සාමාන්‍ය පක්ෂයක් බවට පත් වුණා.
එදා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූ ජවිපෙ අද කියනවා බලයට පත් වූ පසු එය බලාත්මක කිරීමට කටයුතු කරන බව. මෙය ඔබ දකින්නේ කොහොමද?
බලය බෙදීම පිළිබඳ තද විරෝධයක් තමයි මාක්ස්වාදය තුළ තියෙන්නේ. බලය බෙදීමට විරුද්ධ ප්‍රතිපත්තියක් ජවිපෙ තියෙන්නේ. ඒ තුළින් බිහි වන්නේ තවත් ධනේෂ්වර රාජ්‍යයක් බව අවධාරණය කරනවා.
ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අනිවාර්යෙන් සඳහන් කරලා තියෙනවා මේ බලය බෙදීම පිළිගන්නේ නැහැ කියලා. පසුගිය දිනක අපි දැක්කා 13 වැනි ව්‍යාවස්ථා සංශෝධනය පිළිගන්නවා කියලා ජාතික ජන බලවේගය නියෝජනය කරන ඇතැම් අය කියනවා.
ඒ නිසයි මම කියන්නේ අද ජවිපෙ අරමුණ කෙසේ හෝ බලය ලබා ගැනීම පමණයි කියලා. බලය බෙදීම කියන්නේ හොඳ දෙයක් නොවෙයි.
ජනතාව රවටන්න හෝ මේ දේ කරනවා කියන අදහස අද ඒ අයගේ තියෙනවාද කියලා මට හිතන්න බැහැ. 1988 - 1989 වසරවල මේ ප්‍රශ්නය පදනම් කරගෙන තරුණයන් ඝාතනය වුණා. අපි හිර ගෙවල්වල හිටියා. මේ වෙනුවෙන් සැබෑවටම එදා විශාල විනාශයක් රට තුළ සිදු වුණා. සැබෑවටම ජාතික ජන බලවේගයේ පිරිස 13 වැනි ව්‍යවස්ථාව මේ අය පිළි අරගෙනද කියන කාරණාව ගැන අපිට සැකයක් තියෙනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජවිපෙ ජයග්‍රහණය කරන බවත් එය ජාතික තලයේ දේශපාලන බල පෙරළියක මූලාරම්භය විය හැකි බවත් ඔවුන් සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?
මම හිතනවා යම් ප්‍රමාණයක් වැඩි ඡන්ද ගනීවි කියලා. නමුත් ජනතාවගේ පැත්තෙන් එය හොඳ දෙයක් නොවෙයි. සියලු දේශපාලන පක්ෂවලට පාඩමක් උගන්වන්න සියලු දේශපාලන පක්ෂවලට නොදී හිටියා නම් හොඳයි කියන තැනට ජනතාව එනවා. 1988 - 1989 කාලයේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය විනාශ කළා.
ජේ. ආර්. ජයවර්ධන මහතා ඉන් පසුව ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කළා. එය දඩමීමා කරගෙනයි දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වුණේ. ඒ හරහා ක්‍රියාත්මක වෙලා එය හරි පැත්තට ගමන් කළේ නැහැ.
එය ගමන් කළේ වැරදි පැත්තටයි. එයට එකතු වෙච්ච නරක පුද්ගලයෝ සියලු දෙනා එය විනාශ කළා. දැවැන්ත විනාශයක් එල්ල කළා.
අද ජාතික ජන බලවේගය හරහා එකතු වෙලා ඉන්නේ එවැනි පිරිසක්. විකල්පයක් ලෙස තෝරා ගන්න උත්සාහ කරන පිරිස සම්බන්ධයෙන් ජනතාවට පසුකාලීනව දැනගන්න පුළුවන් වෙයි. ජාතික ජනබලවේගය ලෙස විද්වතුන් එකතු වෙලා ඉන්නවා කියලා ඒ අය අපිට පෙන්වනවා.
මේ රටේ අද පවතින විනාශයට වග කිව යුතු පාර්ශ්ව රැසක් ඉන්නවා. එල්.ටී.ඊ.ය, දෙමළ ඩයස්පෝරාව, ජවිපෙ, දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය සහ හැත්තෑ පස් වසරක් මේ රට පාලනය කළ පක්ෂවල දේශපාලඥයන් සහ ආණ්ඩුවේ නිලධාරිවාදය මෙයට වග කියන්න අවශ්‍යයි. ඒ ප්‍රශ්න නිසයි රට අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. ජාතික ජන බලවේගය ආවත් මම හිතන්නේ නැහැ රට මේ තැනින් ඉස්සරහට ගෙන යාවි කියලා.
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විකල්පයක් ලෙස ජවිපෙ තෝරා ගෙන තියෙනවා කියලා ඔබ හිතනවාද?
අද වන විට මිනිසුන්ට වෙන විකල්පයක් නැහැ කියලා වගේ හිතාගෙන ඉන්නවා. අපිත් ජවිපෙ හිටිය නිසා දන්නවා, ජවිපෙට පුළුවන් ලස්සන ආකල්ප නොවෙයි, සුන්දර කතා කියන්නයි. ජනතාව මෙතෙක් කල් ලස්සන ආකාර්ෂණීය කතා ඇහුවට ඡන්දෙකට ගියාම හම්බ වුණේ ඡන්ද 3%ක් පමණයි. ඒත් මේ වතාවේ ඡන්ද යම් කිසි ප්‍රමාණයක් ජවිපෙට වැඩි වෙයි. රට පාලනය කරපු අය ගැන යම් කලකිරීමක් ඇතිවෙලා නිසා මිනිසුන් යම් විකල්පයක් හොයනවා.
නව ලිබරල්වාදී ධනේශ්වර සමාජ ක්‍රමයක් අධිරාජ්‍යවාදී රටවල් විසින් ව්‍යාප්ත කරමින් පවතින වටපිටාවක වාමවාදී දේශපාලන කඳවුරක් සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙයිද?
ජන්දයක් අවස්ථාවේදී මුලින්ම මහපොළොවට බහින්නේ, කෑමොර දෙන්නේ ජවිපෙ. මේ මැතිවරණයේදිත් තවමත් අනෙක් පක්ෂ එළියට බැස්සේ නැහැ. ජවිපෙ හැමදාම ඉදිරියෙන් ඉන්නවා කලින්ම එළියට බහින්න. රට පිළිබඳ ගැටලුවලදී අද ඉන්න ජවිපෙ නායකයෝ එදා හිටගත්තේ පක්ෂය බේරා ගැනීමේ තැනයි. දැනුත් එවැනි නායකයන්ගෙන් රට බේරා ගැනීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. රටට ආදරේ නම් එදා 2005 මහින්ද මහත්තයගේ ආණ්ඩුවට එන්න තිබුණා. සුනාමි සහන මණ්ඩලය මූලික කරගෙන බොරුවට ආණ්ඩුවෙන් ඉවත් නොවී ඉන්න ඉන්න තිබුණා. එදා ආණ්ඩුව තුළ හිටගෙන මේ දේවල් කරන්න තිබුණා. ආණ්ඩුව සමඟ එකතු වී වැඩ කරන්න බැරි නම් ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න තිබුණා.
මේ අර්බුද අවස්ථාවේදී ජවිපෙට එයට මුහුණ දිය හැකි ජාතික ප්‍රතිපත්තියක් තියෙනවාද?
ලෝකය පුරා ක්‍රියාත්මක වන දේශපාලන මතවාද අනුව සම්පූර්ණ මාක්ස්වාදී මූලධර්ම මත සිටගෙන කටයුතු කරන්න බැහැ. රටේ ජනතාව සහ ජනතාවගේ සුබ සිද්ධිය වඩා වැදගත්.
අපි මොන දේශපාලන බළ කඳවුරක හිටියත් එය ප්‍රමුඛ වෙන්නේ රටේ ජනතාවගේ සුබසිද්ධිය සහ හොඳ ජීවන තත්ත්වයක් සහිතව රට ලෝකයේ අභිමානවත් රාජ්‍යයක් බවට පත් කිරීමයි. එහිදී පක්ෂ ලෙස යම් යම් වෙනස් කරන්න අවශ්‍යයි. නමුත් සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති නැති කරගෙන ඒ ගමන යන්න අපහසුයි.
කෙසේ වෙතත් මේ වන විට ඇති වෙලා තියෙන තත්ත්වය වෙනස් වුවත් අද ජනතාවගේ යම් විශ්වාසක් වෙනවා නම් ඒ විශ්වාසය දිනක වෙනස් වෙලා යනවා. මිනිසුන්ට මේ වන විට ජීවන බර වැඩි වෙලා තියෙනවා.
වේදිකාවේ රසවත් කතා අහලා ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඇමැතිකම් ගත්ත වෙලාවේ සහ ප්‍රාදේශීය සභා බලය ලබා ගත් අවස්ථාවේදී කිසිදු දෙයක් කළේ නැහැ. කිසිම ඇමැති ධුරයක් සාර්ථකව කරලා පෙන්වලා නැහැ. දැන් ජවිපෙ දක්ෂයෝ නැහැ. තිස්සමහාරාම බලය ලබාගත් අවස්ථාවේදීවත් සභාවේ කිසිදු කටයුත්තක් සාර්ථකව කළේ නැහැ.
ජවිපෙට තියෙන ලොකුම චෝදනාවක් තමයි රටක් ගොඩ නඟන්න තරම් හැකියාවක් නැති බව සහ ජාත්‍යන්තර සම්බන්ධතා ඔවුන් සතුව නැති බව. මේ තත්ත්වය ඔබ දකින්නේ කුමන ආකාරයකටද?
ජවිපෙට ලොකු ජාත්‍යන්තර සබඳතා නැහැ. සමාජවාදී කඳවුරක් ලෙස නායකත්වය දුන්න රුසියාවේ සහ චීනයෙත් අද සමාජවාදයක් නැහැ. අනෙක් රටවල් කොමියුනිස්ට් වාදය වපුරන්න උත්සාහ කළේ නැහැ. 88, 89 වසරවලවත් ඒ අයගෙන් සහායක් ලැබුණේ නැහැ. කියුබාවෙන්වත් අපිට සහායක් ලැබුණේ නැහැ. අද වන විට කිසිදු තැනකින් ජවිපෙට සහායක් නැහැ.
හොරු අල්ලනවා කියන එක මැතිවරණ වේදිකාවේ පොදු ජනප්‍රිය මාතෘකාවක් වුණත් බලයට පත් වුණාට පස්සේ කිසිම පක්ෂයකට එය කරන්න බැහැ. ජවිපෙටත් අවස්ථාව ලැබුණු අවස්ථාවලදී එය අවස්ථාවක් කරගත්තේ නැහැ නේද?
ජවිපෙ වේදිකාවේ කියන කතා කිව්ව පලියට කරන්න බැහැ. හොරු අල්ලන්න යම් උත්සාහයක් ගනී කියලා මම හිතනවා. නමුත් එය ලේසි දෙයක් නොවෙයි, කරන්න අමාරුයි. හොරු සහ වැරදි කරන මිනිස්සු ජවිපෙ ඇතුළෙත් හිටියා. සහරාන්ගේ ප්‍රශ්නය වෙලාවෙත් ජවිපෙ ඇතුළෙත් එවැනි අය හිටියා.