ඇමරිකානු ඩොලරයේ අගය අඩු වී රුපියල ශක්තිමත් වීමට පටන් ගැනීම පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වූ කරුණකි.
විපක්ෂයේ මන්ත්‍රීවරු බෝඩ් හකුලා ගත්තේ ඇයි?
පසුගිය 07 වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ආර්ථීකය සුබ මාවතට පැමිණෙමින් තිබෙන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයින්ගේ ප්‍රසාදය හමුවේය.
ජනාධිපතිවරයාගේ කතාවට එරෙහිව විරෝධතා පුවරු ඔසවාගෙන උද්ඝෝෂණයක් සිදු කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සූදානමින් සිටියද ඊට විරුද්ධවීමට හේතුවක් නොමැති බව දැනගත් එම මන්ත්‍රීවරුන් අවසානයේදී එම විරෝධතා පුවරු හකුලා ගත්හ.
මහින්දගේ නිෙවසට පොහොට්ටුවේ ලොක්කන්
මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පසුගිය 08 වැනිදා රාත්‍රී විශේෂ සාකච්ජාවක් පැවැත්වුණි.
බැසිල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් රැසක්ම මෙම සාකච්ජාවට සහභාගී වීම විශේෂත්වයකි. මෙහිදී වැඩිපුරම කතාබහ කෙරුණේ මැයි දිනය සැමරීම හා වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් සමඟ කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක්ම රාජ්‍ය අමාත්‍යවරු රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡන්ද රැස්වීම් ගැන බැසිල් කිව්වේ මොනවාද?
“මැතිවරණයට සූදානම් විය යුතුයි. දැනටමත් ඊට අදාළ මූලික කටයුතු සකසලා ඉවරයි. මැතිවරණ කොට්ඨාස මට්ටමින් ඡන්ද රැස්වීම් පැවැත්වුවොත් ප්‍රමාණවත්.” යනුවෙන් බැසිල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයනේ ප්‍රධාන දිස්ත්‍රික් රැස්වීම් පැවැත්වීමට මෙහිදී සාකච්ජා විය. ඒ අනුව මොණරාගල, කෑගල්ල, පොළොන්නරුව දිස්ත්‍රික්කවල මුලින්ම මෙම රැස්වීම් පැවැත්වීමට නියමිතයි.
පොහොට්ටුවට තවමත් ආදරෙයි
මෙම සාකච්ජාවේදී සරත් වීරසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ ඇතැම් දේශපාලන පක්ෂ සමාජ මාධ්‍ය ජාලා හරහා බොරු බිල්ලන් මවන බවත්, ඊට බිය නොවී ජනතාව අතරට ගොස් කටයුතු කළ යුතු බවයි.
“පොහොට්ටුවට මිනිස්සු බණිනවා. රාජපක්ෂවරුන්ට මිනිස්සු බණිනවා කියලා මේගොල්ලන් සමාජ මාධ්‍ය හරහා බොරු ප්‍රචාර ගෙනියනවා. මං ගම්වලට ගිහිල්ලා රැස්වීම්වලට ගියා. එහෙම එකක් මිනිස්සුන්ගේ නැහැ. ජනතාව පොහොට්ටුවට තවමත් ආදරෙයි” යනුවෙන් ආචාර්ය සරත් වීරසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය.
ජනපති රනිල්ගේ කතාවට දෙපැත්තෙන්ම පැසසුම්
ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ජනපතිට දුරකතන ඇමතුමක් ගත්තේ සඳුදා රාත්‍රියේය. ඇය ජනපතිට දැනුම් දුන්නේ රටේ ආර්ථිකය යථාවත් කිරීමට ගන්නා උත්සාහය අගය කරන බවකි. ඉන් නොනැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට සහාය දෙන බව ද ඇය ජනපති රනිල් හමුවේ කීවාය.
ඊට පෙර ජනපති හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීනා ද සූම් තාක්ෂණය ඔස්සේ කතා කර තිබුනි. මේ සියලු සාකච්ඡාවල ප්‍රගතිය පාර්ලිමේන්තුවට දැනුම්දීමට තීරණය කළ ජනපති රනිල් ඉකුත් අඟහරුවාදා එහි ගොස් විශේෂ ප්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමතවීම ගැන ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත නොවීමට ප්‍රධාන බාධකය වූ චීන එක්සිම් බැංකුවේ ලිපිය පෙර දින රාත්‍රියේ ලද බව කී ජනපති රනිල් මුදල් ඇමතිගේ හා මහ බැංකු අධිපතිගේ අත්සනින් යුතු එකඟා ලියවිල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත රාත්‍රියේම යොමු කළ බවද කීවේය.
දොලවත්තගේ වරප්‍රසාද ප්රශ්නය
මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ නියෝගයට එරෙහිව වරප්‍රසාද පැනයක් ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් ඉදිරිපත් කළ ආරංචිය මන්ත්‍රීවරයෙකු ජනපතිට කීවේ පාර්ලිමේන්තු ලොබියේදී ය.
“අධිකරණ දෙකකින් නියෝග දෙකක් ඇවිල්ලා. ඒක තමයි මෙතන තියෙන ප්රශ්නය.” මධුර විතානගේ මන්ත්‍රීවරයා කීවේය.
“ක්‍රියාකාරි අය වැය ප්රකාශනය (activity budget statement) වෙබ් එකට ගිහින් කියෙව්වා නම් ඇත්ත මූල්‍ය තත්ත්වය ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්.” ඇමති බන්දුල කීවේ ජනපති දෙස බලමිනි.
ජනපති ඇතුළු මන්ත්‍රීවරු සිටි ස්ථානයට පැමිණි දොලවත්ත මන්ත්‍රීවරයා කීවේ සිය වරප්‍රසාද ප්රශ්නය කථානායකතුමා වරප්‍රසාද කමිටුව වෙත යොමු කළ බවකි. මේ අතර එහි පැමිණි ඇමති ප්‍රසන්න රණතුංග “ඩොලරය වේගයෙන් අඩු වෙනවා. බඩු මිලත් ඒත් එක්කම අඩු වෙනවා.” යැයි කීවේය.
ඩොලරයේ අගය අඩුවීම ගැන කතාබහක්
“මේක අහලා දැන් විපක්ෂය හොඳටම කලබල වෙලා. එයාලා හිතුවේ නෑ ජනාධිපතිතුමා මේ තරම් ඉක්මණට රුපියල ශක්තිමත් කරයි කියලා.” ඇමති කාංචන ද කතාවට එකතු වූවේය.
“අනේ ඔව් බඩු මිලත් දැන් ටික ටික අඩු වෙනවා වගේම උද්ධමනයෙන් දෙවෙනි ස්ථානයේ හිටපු අපි දැන් ඒ ලේඛනයේ 16 වෙනි තැනට ඇවිල්ලා. මේ අවුරුද්ද අන්තිම වෙන කොට තවත් පහළට එනවා. ඒකයි මේ අය මෙච්චර දගලන්නේ.” ඇමති චාමර සම්පත් කීවේ එවැන්නකි.
මේ සියල්ල අසා සිටි ජනපති කීවේ “දැන් අපිට ඩොලර් එනවා. බැංකුවලින් ණයවර ලිපි විවෘත කරන්න පුළුවන්. දැන් අපිට වී තියෙනවා. දැන් අපිට ඉන්ධන තියෙනවා. පැය 24 ම විදුලිය තියෙනවා. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් දැන් සම්පූර්ණයි. ඇකිලුණු ආර්ථිකය දැන් විස්තාරණය වෙලා තියෙන්නේ.” යනුවෙනි.
“හැබැයි සර් ගිය අවුරුද්දේ මේ කාලේ නම් පෝලිම් තමයි තිබුණේ.” වජිර කී දේ ඇසු ජනපති සිනාසෙමින් එතනින් පිටත්ව ගියේය.
කාන්තාවන් තිදෙනෙකු ගැන රනිල් කතා කරයි
වැටී තිබූ මෙරට ආර්ථිකය ගොඩෙනැඟීමට උපකාර කළ කාන්තාවන් තිදෙනෙකු පිළිබඳව ජනපති රනිල් සිහිපත් කළේ කාන්තා දින වැඩසහනට එක් වෙමිනි. ඉන්දියාවේ මුදල් ඇමති නිර්මලා සීතාරාම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා යනු ඔවුන් තිදෙනාය. එම උත්සවය අවසන් වන තුරු ඔහුට එහි රැඳී සිටීමට නොහැකි වූවේ පවුලේ අවමංගල්‍යයකට සහභාගීවීමට යාමට තිබූ නිසාවෙනි.
පිටත්වීමට පෙර ජනපති රනිල් පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ අසලට ගොස් “ඔබතුමියගේ කතාව අහන්න ඉන්න වෙන්නේ නෑ. ඒත් මම රටට හිතැති කාන්තාවන් තිදෙනෙකු ගැන ඔන්න මම කිව්වා.” යැයි කියමින් ඉන් පිටත්ව ගියේය.
ජනපතිගේ නැන්දණියගේ මවගේ අවමඟුලට දේශපාලන නායකන් රැසක්
වෝටර්ස් ඒජ් හෝටලියේ පැවැති ජාත්‍යන්තර කාන්තා දින උත්සවය අවසන් කොට ජනපති රනිල් කෙළින්ම පැමිණියේ සිය ආදරණීය බිරිඳගේ මෑණියන්ගේ අවමංගල්‍යය පැවැති මල් ශාලාවටය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ මෑණියන්ගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණි.
පැය 24 ක් තුළ අවසන් කටයුතු කරනා ලෙස ඇය කර තිබූ ඉල්ලීමට අනුව අවසන් කටයුතු එදිනම අවසන් කරනු ලැබූවේ නාවල පොදු සුසාන භූමියේදී ය. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. මහනාහිමිවරුන් ඇතුළු පක්ෂ නායකයින් දුරතනයෙන් අමතා සොව පළකර තිබුණි.
මල් ශාලාව වෙත විපක්ෂ නායක සජිත් පැමිණියේ මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා සමඟය. විපක්ෂ නායකවරයා හා ජනපති එහි අසුනකට බර දෙද්දී ඇමති සුසිල් ප්‍රේමජයන්ත ද එහි පැමිණියේය. “මෙතුමලගේ වැඩ හින්දා අපට නිදහසේ පාර්ලිමේන්තුවෙන් එළියට එන්න විදියක් නෑනේ.” සුසිල් ජනපති හා විපක්ෂ නායක දෙස බලමින් කීවේය.
“විපක්ෂය කියන්නේ ඒක තමයි. විපක්ෂය කියන්නේ ආණ්ඩුව නෙවෙයිනේ.” විපක්ෂ නායක සජිත් ද පෙරළා කීවේය.
“මෙයාලා ඉතින් බොරුවට කෑ ගහන එක විතරනේ.” ජනපති ද සරදමක් කළේය.
අවමංගල්‍යයක් වුව ද දේශපාලඥයන් රැසක් එහි එක්වීම හේතුවෙන් මෙය දේශපාලන කතා මණ්ඩපයක් වූවේය.
වජිර, හර්ෂ මුහුණට මුහුණ හමුවෙති
මුදල් කාරක සභාවේ මූලාසනය ගැනීම ගැන පාර්ලිමේන්තුවේ ඇතිවූ කතාබහෙන් පසුව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වාට මන්ත්‍රී වජිර අබේවර්ධන මුහුණට මුහුණ මුණ ගැසුනේ මෙම අවමංගල්‍ය ශාලාවේදීය.
“ඔබතුමා ඉතින් මට විරුද්ධයිනේ.” හර්ෂ කීවේ වජිර දෙස බලමිනි.
“අපෝ නෑ. මම ඔබතුමාට විරුද්ධ නෑ. මම පාර්ලිමේන්තුවේදි කීවේ මුදල් කාරක සභාව ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන ගැන විතරයි.” වජිර ද පිළිතුරු දුන්නේය.
“ඔබතුමාලා සභාපතිකම මට දෙන්නේ නෑනේ.” හර්ෂ කීවේය.
“ඒ ගැන නම් ඔබතුමා ආණ්ඩු පක්ෂයේ කට්ටිය එක්ක කතා කර ගන්න වෙනවා.” වජිර කීවේ හර්ෂ පිටත් වෙද්දීය.
ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්ට සජිත් කළ විහිළුව
මේ අතර විපක්ෂ නායක සජිත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්ට ද සරදමක් කළේ ජනපති ඉදිරියේ ය.
“මෙතුමා ඉන්නේ අපිත් එක්ක.” සජිත් කීවේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න දෙස බලමිනි
“එයා තීරණය කරන්න ඕනේ ආණ්ඩුවත් එක්ක ද ඉන්නේ විපක්ෂයත් එක්ක ද ඉන්නේ කියලා” ජනපති කියද්දී සජිත් කීවේ මම විහිළුවක් කළේ කියාය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ මෑණියන්ගේ දේහය ඔවුන් විසින් සුසාන භූමියක් වෙනුවෙන් රජයට පරිත්‍යාග කළ ඉඩමක පිහිටි පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් ඉතාම චාම් අයුරිනි.
ගෝඨා හා අනුර කුමාරගෙන් රනිල්ට ඇමතුම්
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ මවගේ අවමඟුල් උත්සවය පැමිණීමට නොහැකි වු පිරිස් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතාකොට සිය කනගාටුව ප්‍රකාශ කළහ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකද ඒ අතර වුහ.
ජනපති මුදල් අමාත්‍යාංශයට
ජනපති රනිල් බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයට පැමිණියේ පවතින ආර්ථික තත්ත්වය හා ඉදිරි කටයුතු ගැන කතා කරන්නටය. මේ අවස්ථාවට මැති ඇමතිවරු පිරිසක් ද එක්ව සිටියේය. භාණ්ඩාගාර ලේකම් ආරක්ෂක මණ්ඩලය වෙත නොගිය බවට පාර්ලිමේන්තුවේ දී විපක්ෂය කී කාරණය නිලධාරියෙකු විසින් මෙහිදි මතු කළේය.
“එතුමා ආරක්ෂක මණ්ඩලයේ හිටියා. මමයි අගමැතිතුමයි සාකච්ඡාව අවසන් කරලා පාර්ලිමේන්තුවට ආවට නිලධාරින්ගේ සාකච්ඡාව අවසන් වුණේ නෑ. ඒක තිබුණා. මොකද ආරක්ෂක අංශවල මූල්‍ය කටයුතු ගැන එහිදි ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරන්න තිබුණා.” ජනපති කරුණු පැහැදිලි කළේ එලෙසිනි.
අඩු මිලට රටඉඳි
රමසාන් උත්සවය වෙනුවෙන් රට ඉඳි සඳහා පනවා තිබූ කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ රුපියල දක්වා අඩු කිරීමට ජනපති රනිල් මුදල් අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දුන්නේය. එහෙත් එය අදාළ වන්නේ රාමසාන් වෙනුවෙන් එවන රට ඉඳි පමණක් බවට ද උපදෙස් දුන්නේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් කණ්ඩායමක් ජනපති මුණගැසුණේ පක්ෂ කටයුතු ගැන මෙන්ම රටේ පවතින තත්ත්වය ගැන සාකච්ඡා කරන්නටය. මෙහිදි පැන නැඟුණු මාතෘකාවක් වූවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය විරෝධතාවයන්ය.
“විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල ඇතුළට ගිහිල්ලා පොලිසිය පහර දුන්නා කියලා කියනවා. තව පැත්තකින් විශ්වවිද්‍යාල තුළට උපකුලපතිගේ අවසරයකින් තොරව යන්න බෑ කියලත් කියනවා. මොකක්ද මේ කතාව.” ශමල් සෙනරත් විමසුවේ එහි සිටි පිරිසගෙනි.
යුනිවර්සිටි පොලිස්
“මම දන්න තරමින් නම් නීතිය හා සාමය රකින්න ඕනෑම අවස්ථාවක ඕනෑම් ස්ථානයකට යන්න පොලිසියට අවසර තියෙනවා.” මහලේකම් රංගේ බණ්ඩාර කීවේ හිටපු පොලිස් නිලධාරියෙකු ලෙස නීතිය මතක් කර දෙමිනි.
“විශ්වවිද්‍යාල කියන්නේ වෙනම රාජ්‍යයක් නොවෙයි. පොලිසියට ඇතුළට යන්න පුළුවන්.” සභාපති වජිර පැහැදිලි කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජිවිතය මතක් කරමිනි.
“වෙනත් රටවල යුනිවසිටි පොලිස් කියලා වෙනම පොලිසි තියෙනවා.” ජාතික සංවිධායක සාගල ද කතාවට එකතු වූවේ විදෙස් විශ්වවිද්‍යාල ගැන විස්තරයක් ද සහිතවය. ලංකාවෙත් ඒ වගේ යුනිවසිටි පොලිසි දාන්න යෝජනාවක් ඇවිත් තිබෙනවා නේ දැයි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන කියද්දී ජනපති එය හිස සලා තහවුරු කළේය.
අගමැති දිනේෂ්ගෙන් හැම කාන්තාවකටම බැංකු ගිණුමක්
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 08 වනදා අගමැති දිනේෂ්, විශේෂ කටයුත්තකට සූදානමින් සිටියේය. ඔහු මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානින් අරලියගහ මන්දිරයට කැඳවීය.
"රටේ හැම කාන්තාවකට ම බැංකු ගිණුමක් ආරම්භ කරන්න පුළුවන් විදියට ක්‍රමවේදයක් හදන්න ඕනේ" අගමැති කතාව ඇරඹීය.
යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයාද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.
"රජයේ සුබසාධන පහසුකම් ජනතාවට කඩිනමින් ළඟා කරන්න බැංකු සිය ජාල භාවිතා කළ යුතුයි. Digital , මාර්ගගත බැංකුකරණය පුළුල් කරන්න ඕනේ. ඒකත් කාන්තාව බැංකු ක්‍රමය වෙත ගෙන්වා ගන්න භාවිත කරන්න පුළුවන්" යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවැසීය.
ඉන්පසු අගමැති දිනේෂ් කළේ අරලියගහ මන්දිරයේ සේවය කරන සියලු කාන්තාවන් සුහද හමුවක් සඳහා කැඳවිමයි.
"කාන්තාවට අතේ ඇති මුදලින් බැංකු ගිණුමක් ඇරඹීමට අවස්ථාව සලසනවා "
පතොරොම් ඉල්ලපු මන්ත්‍රී කවුද?
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් පැවැත්වුණේ පසුගිය 07 වැනිදා සවස 2.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1 දීය.
ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
රටේ ආර්ථීක තත්ත්වය යහපත් තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරු කිහිපදෙනෙක්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මෙහිදී ප්‍රසාදය පළ කළහ.
“ආර්ථීකය ශක්තිමත් වීම ගැන පාර්ලිමේන්තුවේදී කතා කළ යුතුයි. ඕන තරම් බර අවි, උණ්ඩ,පතොරොම් දැන් තියෙනවා. යනුවෙන් මෙහිදී කතාබස් වූයේ ඕනෑතරම් කරුණු ආණ්ඩුවට තිබෙන බවයි.
“පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා විපක්ෂයේ මතවාද පරාද කරන්න ඕන තරම් ජීව උණ්ඩ,පතොරොම්,අවි තියෙනවා.ඒවා මේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන්න. රටේ ආර්ථීකය ජයගත් කාරණා ගැන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්න. අපිට පුළුවන් මේ විවාදවලදී ආණ්ඩුවේ මතවාදය ගෙනියන්න" යනුවෙන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
සජිත් රාජ්‍යතාන්ත්‍රිකයන් දෙදෙනකු හමුවෙයි
විපක්ෂ නායක සජිත් පසුගිය සතිය ආරම්භ කළේ ප්රමුඛ පෙළේ රාජතාන්ත්‍රිකයින් දෙදෙනෙකු මුණ ගැසීමත් සමඟ ය.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ල්ටන් (Michael Appleton) සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විණි.
දෙරට අතර ආර්ථික, දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම සඳහා වූ සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා නවසීලන්ත මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දියාවේ ප්රමුඛ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයෙකු, මාධ්‍යවේදියෙකු, විද්වතෙකු වන ගෝපාල්ස්වාමි පාර්තසාරති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිල නිවසේ දී සිදුවිණි.
රුපියල ශක්තිමත් වීම ගැන සජිත් කියන්නේ මොනවාද?
මේ අතර රුපියලේ අගය ශක්තිමත් වීමට පටන් ගැනීම පිළිබඳව ඇතැමුන් අසුබවාදීව අදහස් දක්වනු දැකිය හැකි විය.
"රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා නම්,රට ගොඩනැඟෙනව නම් ඒ ගැන සතුටු වෙන්නේ නැතිව ඉන්න තරම් කුහකයෝ නෙවේ අපි. හැබැයි හැමෝම මතක තියාගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අදාළ මූල්‍ය අරමුදල ලබා ගැනීම වෙනුවෙන් අපි පොරොන්දු වුණේ මොනවද කියන එකත්.මොකද ගොඩක් අය මේ වෙලාවේ මෝහනය වෙලා ඉන්නේ." සජිත් සිය මන්ත්‍රීවරු සමඟ පැවසීය.
සියලුම දෙනාගේ යුතුකම අජිත් රාජපක්ෂ මතක් කරයි
අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාගේ කාර්යාලයට පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පැමිණ කතාබස් කළේ වර්තමාන දේශපාලන තත්ත්වයයි.
පසුගිය 07 වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය මෙම කතාබහට මාතෘකාව වී තිබුණි.
“මගේ යුතුකම මං ඉටු කළා” කියලා ජනාධිපතිතුමා කියනකොට මං හිතුවේ මේ ආර්ථීක අර්බුදය මේ ආකාරයෙන් හරි ජයගැනීමට හැකිවීම ගැන ජනාධිපතිතුමාට මොන තරම් හිතට සහනයක් දැනුනාද කියලයි.අපි හැමෝමත් අපේ යුතුකම ඉටුකරමු” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කියපු කතාව එම ස්ථානයේ සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනුමත කළහ.
වජිර දිගටම මුදල් කාරක සභාවේ සභාපතිද?
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති මුදල් කාරක සභා රැස්වීමේදී වජිර අබේවර්ධන එහි තාවකාලික සභාපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යනුකූල නැතැයි විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක් ප්‍රකාශ කළේය.
ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙක් පත් කළ නොහැකි බවත් එයට පත් කළ යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් බවත් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්නට වුණි.
කෙසේ නමුත් විපක්ෂය විසින් මෙසේ දිගින් දිගටම මෙහි සත්‍ය අසත්‍යභාවය පෙන්වා හඬ නඟද්දී වහා නැඟිටුණු එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන නිසියාකාරව ව්‍යවස්ථාව ඇසුරින්ම මෙහි සත්‍ය අසත්‍යතාවය ඔප්පු කර පෙන්වීමට කටයුතු කළේය.
එහිදී මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ,
“විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතීත්වය දීමෙන් රජය බලාපොරොත්තු වන්නේ යම් සමබරතාවයක් ඇතිකරගෙන මුදල් කටයුතු ඉදිරියට ගෙනයාමයි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට 121(1) අනුව සභාපතිවරයා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විය යුත්තේය යන්නට යටත්ව තේරීම් කාරක සභාවෙන් නම් කරන ඇමැති මණ්ඩලයේ ඇමතිවරුන් නොවන සභාපතිවරයෙකු සහ සාමාජික මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් හඳුන්වනු ලබන කාරක සභාවක් තිබිය යුතුයි. ඒ අනුව එම කාරක සභාවට ස්ථාවර නියෝග අනුව මයන්ත දිසානායක මහතා පත් කළා. ඔහු ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක්ද කරමින් කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කර මීළඟ දිනයක්ද නියම කරමින් අදාළ කටයුතු අවසන් කළා.
කෙසේ හෝ මේ තත්ත්වය තුළ මන්ත්‍රීවරයාට ඇති වූ යම් යම් දේශපාලන බලපෑම් සහ කරුණු කාරණා නිසා විය හැකියි කියා අපි විශ්වාස කරනවා. එම තත්ත්වයන් මත එතුමාගේ ඉල්ලා අස්වීමක් පුවත්පත් මඟින් අපට දැනගන්නට ලැබුණා. කෙසේ හෝ එවැනි ඉල්ලා අස්වීමක් තිබෙන අවස්ථාවකදී ස්ථාවර නියෝග 132(1)(ආ) අනුව සභාපතිවරයා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා සිය අදහස සම්බන්ධයෙන් කතා නායකවරයාට ලිඛිත දැනුම්දීමක් කරනු ලැබ තිබෙන අවස්ථාවකදී හෝ සභාපති ධූරය පුරප්පාඩු වූ ලෙස කතා නායකවරයා විසින් ප්‍රකාශකර ලැබිය යුතුයි.
ප්‍රායෝගිකව හැකි ඉක්මනින් එම කාරක සභාව සඳහා සභාපතිවරයෙකු තෝරා පත් කර ගනු ලැබීමට දිනයක් නිවේදනය කරනු ලැබිය යුතුයි. එම දිනය එම නිවේදනයෙන් පසු රැස්වීම් දින 7 කට නොඅඩු දිනයක් විය යුතුයි. ස්ථාවර නියෝගවල එය එසේ සඳහන් වී තිබෙනවා.
මෙම අදහස් දැක්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝදෙනෙක් වජිරගේ ප්‍රකාශය සහ ව්‍යවස්ථාව ඇසුරින් කළ පැහැදිලි කිරීම අගය කරනු ලැබුවා.
සිස්ටම් චේන්ජ් කරන ක්‍රමය නාමල් මැතිසබයට ගෙනෙයි
“සිස්ටම් චේන්ජ්” කරන ආකාරය පසුගිය දිනවල බොහෝ දෙනෙකු කතා කළ කාරණයකි.
සිස්ටම් චේන්ජ් කිරීමට පැමිණි පිරිස්වල විරෝධතා හේතුවෙන් නාමල් රාජපක්ෂට සිය කැබිනට් අමාත්‍ය ධුරයද පසුගිය වසරේදී අහිමි විය.
තමන්ට කැබිනට් අමාත්‍ය ධුරය අහිමි වුවද සිස්ටම් චේන්ජ් වෙනුවෙන් නාමල් රාජපක්ෂ කටයුතු කිරීම විශේෂත්වයකි.
ආණ්ඩු මාරුවන විට ප්‍රතිපත්ති වෙනස් වෙන අතර එය වැළැක්වීම සඳහා දීර්ඝ කාලයක් ජාතික ප්‍රතිපත්ති වෙනස් නොවී ක්‍රියාත්මක විය යුතු බව නාමල් රාජපක්ෂ ජාතික ප්‍රතිපත්ති ගොඩනැංවීමේ අනුකාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේය. එම අනුකාරක සභාවේ සභාපතිවරයා වන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයායි.
සිස්ටම් චේන්ජ් කරන්න පසුගිය කාලය තුළ කතා කළ පිරිසට නාමල් රාජපක්ෂ කියා සිටියේ සිස්ටම් චේන්ජ් කිරීම සඳහා මෙම ජාතික ප්‍රතිපත්ති සැකසීම ඉතා වැදගත් වන බවයි.