‘වෙනස රැකගන්න-ඉදිරියට ගෙනයන්න සඟරුවනේ අනුශාසනා රජයට අවශ්‍යයි’ | Page 5 | සිළුමිණ

‘වෙනස රැකගන්න-ඉදිරියට ගෙනයන්න සඟරුවනේ අනුශාසනා රජයට අවශ්‍යයි’

- දේශපාලන අර්බුදයක කිසිම සලකුණක් අපේ රජය තුළ නැහැ...
- විස්සට උදවූදීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්...
- රටට හානියක් වන, අවැඩක් වන, ඕනෑම ගිවිසුමකට මමත් සම්පූර්ණයෙන් ම විරුද්ධ වෙනවා...
- වෘත්තීය සමිති ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුතුයි
- කොරෝනා මර්දනයට සියලුදෙනාගේ සහාය ඕනෑ

කොරෝනා වසංගතය මෙවර මේ තරම් ව්‍යාප්ත වීම වෛද්‍යවරියක් හැටියට ඔබ දකින්නේ කෙසේද?

කොරෝනා ජනාධිපති කාර්ය සාධක බළකායේදී මෙන් ම මම ආණ්ඩුකාරවරියක් හැටියට පත්ව සිටි අවස්ථාවේදී ද කොරෝනා මැඬලන්නට උපරිම දායකත්වයක් ලබා දුන්නා. පළමු අවස්ථාවේදී අපි කොවිඩ් රැල්ල මර්දනය කළා වගේ ම අපි මේ පිළිබඳව දැනගත යුතු විශේෂ කරුණක් තිබෙනවා. මේ වසංගතය ගෝලීය වසංගතයක්. වසංගතය එකවර නැවැත්වීම සියයට සියයක් සිදු කරන්න බැහැ. නමුත් වයිරසය රටකට ඇතුළු වූ පසු එය මර්දනය කරගන්නා ආකාරය අවම කරගන්නා ආකාරය අපි ඉක්මනින් සොයා ගැනීම සිදු කළ යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කොරෝනා මර්දන කාර්ය සාධක බළකායේ මෙහෙයවීමෙන් ඉතාම උනන්දුවෙන් වගකීමෙන් මෙය මර්දනය කිරීම සඳහා විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වුණා. නමුත් මෙය රට තුළට නැවතත් විවිධ ආකාරයෙන් ඇතුළු විය හැකියි. මෙය රටට ඇතුළු වීම මෙන් ම රට තුළ පැතිරීම වෙනස් විය හැකියි. මෙවර මෙය ව්‍යාප්ත වීම සම්බන්ධව බුද්ධි අංශ මෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සොයනවා. නමුත් මොන ආකාරයෙන් මෙවර මෙය ව්‍යාප්ත වූවාද කියන කාරණය පිළිබඳව තවම ස්ථිරව කියන්න පුළුවන් කමක් නැහැ.

නමුත් වයිරසයක් කියන්නේ යුද උපකරණයක් හරි කුමන්ත්‍රණයක් හරි, ත්‍රස්තවාදී ක්‍රියාවක් වගේ නොවෙයි. නමුත් මෙය කෙනෙකුගෙන් තව කෙනකුට නොදැන ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. එය පැතිරීමත් වේගයෙන් සිදුවන දෙයක්. රෝගී වූ පුද්ගලයෙක් රටට ඇතුළු වුණායින් පස්සේ ඔවුන්ගෙන් ඒක පැතිරෙන්න පුළුවන්. එයයි මෙහි ස්වභාවය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැතිරීම ඉක්මනින් හඳුනා ගනු ලැබුවා. ඒ නිසා මේ මට්ටමට හෝ පැතිරීම වළක්වාගෙන තිබෙනවා.

මේ දෙවන රැල්ල හමුවේ ර‍ෙට් ජනතාවට රජය කිසිදු සහනයක් ලබා නොදෙන බවට නොයෙක් පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙනවා නේද?

ඇත්තටම රජයක් සාමාන්‍යයෙන් ක්‍රියා කරන ආකාරයයි මෙවැනි ව්‍යසනයකදී ක්‍රියා කරන ආකාරයයි දෙකක්. ජනතාවගේ සියලුම අවශ්‍යතා සැපයීම රජයක වගකීමක් තමයි. නමුත් මේ අවස්ථාවේ රජය ක්‍රියා කරනු ලබන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. අපගේ රජය ‍ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා ක්‍රියා කරනවා. ව්‍යසනයකදී ‍බලන්න ඕන පැති රාශියක් තිබෙනවා. ජනතාවට සහන ලබාදීම මෙන් ම සෞඛ්‍ය වශයෙන් මෙය මර්දනය කිරීම කෙරෙහි තමයි දැඩි අවධානයක් තිබෙන්නේ යොමු වෙන්නේ. මෙය ඕනෑම රජයක් සිදු කරන ක්‍රියාවක් ඇත්තටම රජයකින් සිදුවිය යුත්තේ එය තමයි. ඇතැම් විට සමහර සහන නැතිව අපිට ඉන්න පුළුවන්. හැබැයි ජීවිතයට හානියක් වුවහොත් අපිට එය ලබාගන්න බැහැ. ඒ නිසා රෝගය පිළිබඳව මෙන් ම සෞඛ්‍ය අංශවලට වැඩි අවදානය සහ ප්‍රධානත්වය ලබාදී ක්‍රියා කරන කොට සහන ලබාදීම සම්බන්ධව යම් යම් අඩු පාඩු සිදුවිය හැකියි. ඇත්තටම මේ අවස්ථාවේ ඒවා විවේචනය කරනවාට වඩා ඉතා සහයෝගයෙන් ඒ පිළිබඳව දැනුම්වත් කර අදාළ සියලුම අංශ මේ සඳහා සහයෝගය ලබාදීම තමයි වැදගත් වෙන්නේ. මොකද අපි මෙවැනි අවස්ථාවක එකිනෙකා අත්වැල් බැඳගෙන එක්ව ක්‍රියා කළ යුතුයි. එවිටයි අපට ‍රටක් හැටියට ඉතා ඉක්මනින් නැගිටින්න‍ට හැකි වෙන්නේ. මෙවැනි වසංගත තත්ත්වයන් ව්‍යසන බලාපොරොත්තු නොවෙන දේවල්. ඒ නිසා මෙවැනි අවස්ථාවක තමන්ට තිබෙන සම්පත් අවම ලෙස පරිහරණය කරමින් අප සියලු දෙනා මුහුණදිය යුතුයි. මේ සඳහා සියලුම දෙනාගේ සහය ඉතා වැදගත් කරුණක්. යම් යම් අඩු පාඩු පෙන්වා දිය යුතුයි. එය හොඳ දෙයක්. ජනතාව ලබාදෙන සහයෝගයත් ඉතාම වැදගත් කරුණක් ලෙසයි මා දකින්නේ.

රටේ මෙවැනි බරපතළ තත්ත්වයක් තිබියදීත් වෛද්‍ය සංගම් අතර ඇති නොයෙක් අර්බුද වෛද්‍යවරියක් හැටියට ඔබ කින්නේ කෙසේද?

ඇත්තටම මේ අවස්ථාවේදී අදාළ අංශවල විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් වසංගතයට අදාළව සිය විෂයන් පිළිබඳව කතා කළ යුතුයි. ඔවුනොවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ඉතා වැදගත්. ඒ වගේමයි වෘත්තීය සමිති හැටියට ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. නමුත් ඔවුන්ගේ තිබෙන පෞද්ගලික කෝන්තර හරි පුද්ගල මතවාද හරි පුද්ගල අභිප්‍රාය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීම හෝ ජනතාව බිය ගැන්වීම හෝ මෙය මර්දන කිරීමේදී එම ක්‍රියාව සම්බන්ධව ජනතාවගේ විශ්වාසය බිඳ දැමීමට කටයුතු කිරීම සිදු නොකළ යුතු ක්‍රියාවක් හැටියට මා දකිනවා. අනෙක් කාරණය තමයි එය කිසිසේත්ම සදාචාරාත්මක නැහැ. නමුත් ඕනෑම සංගමයකට හෝ පුද්ගලයකුට මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා.

ආණ්ඩුව 20 වැනි සංශෝධනය ගෙන ආවා. 20 අපට අව‍ශ්‍ය වන්නේ ඇයි?

ඇත්තටම මෙතන තිබුණේ විස්ස අපට අවශ්‍ය යැයි කියන එක නොවෙයි. 19 අපට අවශ්‍ය නැහැ කියන කාරණයයි. ඉකුත් කාලය තුළ ඡන්ද දෙකක් පැවැතුණා. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම දේශපාලන වේදිකාවල කියා සිටියා 19 අපි පැහැදිලිවම අහෝසි කරනවා කියන කාරණය. ඒ සඳහා ජනතාව පැහැදිලි ජනවරමක් ලබා දෙනවා. ජන වරමකින් මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරලා තිබෙන්නේ ඉතිහාසයේ සොල්බරි ආණ්ඩු ක්‍රමය පැවැති කාලයේදීයි. රාජ ආණ්ඩු ක්‍රමයකට වෙනස් වෙනකොට පැහැදිලිව මැතිවරණයකදී මෙය යෝජනා කරලා මෙන්න මේක අපි කරන්න යන්නේ කියලා ජනමතය අරගෙන වෙනස් වුණේ. ඒ වගේම 19 ‍අහෝසි කරන්න ඕන කියන එක ස්ථාවරම ඉල්ලා සිටියේ අපි. අන්න ඒ ස්ථාවරයට ජනතාවගේ පිළිතුරු ලැබුණා. ඉන් පසු 19 ඉවත් කිරීම තමයි සිදු කළ යුත්තේ. මොකද කරපු සංශෝධනයක් අවලංගු කරන්න බැහැ. ඒ වෙනුවට ඒ තිබෙන වගන්ති අවලංගු කිරීමට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න ඕන. අන්න ඒ නිසා තමයි අපි සිදු කළේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා තරයේ කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙනෙන බව. අන්න ඒ පොරොන්දුව කඩවුණු පොරොන්දුවක් කරන්න බැහැ. අපි 20 ගෙන ආවේ ඒකයි. 19 ව්‍යවස්ථාව අහෝසි කරලා අපි අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා. නමුත් එතනදි 20 ගෙන ආවට 19 ඇති හොඳ කාරණා පිළිබඳව සංවාදයක් ඇති වුණා.

20 වැනි සංශෝධනයෙන් ඒකාධිපති පාලකයකු බිහිකර ඇති බවට රජයට චෝදනා එල්ල වෙනවා.

නිවැරැදි කරුණු එළි නොදැක්වීම තුළ මෙවැනි ආකල්ප ඇති වෙනවා. මීට පෙර අපි දන්න ජනාධිපතිවරයකුම මේ බලතල සමඟ වැඩ කළා. බලතල තිබුණට ඔවුන් ඔය කියන ආකාරයේ ඒකාධිපති පාලකයකු වූයේ නැහැ. නමුත් ජනතාවට නිසි තොරතුරු නොලැබීමෙන් මෙවැනි මත බිහිවෙනවා. ජනතාවට මේ පිළිබඳව කියා දුන් ක්‍රමය හෝ සම්ප්‍රේෂණය කළ ආකාරය අනුවයි. ජනතාව හිතනවා මීට පෙර කිසිදාක ජනාධිපතිවරයකුට හිමි නොවන බලතල සහිත ජනාධිපතිවරයකු මෙම 20 න් බිහි කෙරෙනවා කියලා. එය සත්‍ය නොවෙයි.

විශේෂ බලතල සහිත ජනාධිපතිවරයෙක් බිහි වෙනවා කියන මතය තමයි ඔය ඇතිවෙලා තිබෙන්නේ. නමුත් මෙතෙක් කල් ජනාධිපතිවරුන් පාවිච්චි කළ බලයට සමාන බලයක් තමයි පාවිච්චි වෙන්නේ.

20 වැනි සංශෝධනය සම්බන්ධව රජයට සහය දුන් බොහෝ පාර්ශ්වයන් දැඩි විවේචන එල්ල කරනවා‍. විශේෂයෙන් නායක භික්ෂුන් වහන්සේලා ඇතුළු කණ්ඩායම්. මොකක්ද මේකට හේතුව?

ඇත්තටම මේ රජය බලයට එන්නෙ කුමන්ත්‍රණ කරලා සල්ලි වියදම් කරලා නොවෙයි. කැමැත්තෙන් ඉදිරිපත් වෙලා රට ගැන හිතලා වැඩ කරපු පිරිසක් තමයි මේ රජය බලයට ගේන්න වැඩ කළේ. ස්වාධීනව ඉදිරිපත්වූ පිරිස් තමයි මේ වෙනුවෙන් පෙළ ගැසුණේ. මේ කිසිම අයෙක් නූලකින්වත් මේ රජයට අනතුරක් වෙනවට කැමැති නැහැ. මේ රජය වට්ටන්න කටයුතු කරන එකක් නැහැ‍. මේ රජය ගෙන ඒම වෙනුවෙන් රජය ඔවුන්ගේ ග්‍රහණයෙන් දුරට යනවාට කිසිම කැමැත්තක් ද නැහැ. රජය නියම ආකාරයෙන් ක්‍රියා නොකරනවා කියන බව හැ‍ඟෙනවා නම් රජය බිහි කරන්න කටයුතු කරපු කණ්ඩායම් මේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා රජයෙන් වැරැද්දක් වනවා නම් එය නිවැරැදි කරන්න තමයි කටයුතු කරන්නේ. එහි කිසිම වරදක් මම දකින්නේ නැහැ. එය තමයි සිදුවිය යුත්තේ. 20 මෙන් සංශෝධනය වුණත් යම් යම් කාරණා වෙනස් කරන්න රජය කටයුතු කළේ මේ බලපෑම නිසයි. මහා සංඝරත්නය විසින් මේ දක්වා බලයට ගේන්න ලබා දුන් දායකත්වය ඒ කරපු කැපවීම අනුව යම් කිසි වරදක් පෙන්වා දෙන්න උන්වහන්සේලාට පැහැදිලි අයිතියක් තිබෙනවා. ඒ වගේ ම තමයි ඒ පිළිබඳව අවධානයෙන් ඒ දෙස බලා එය පිළිගෙන කටයුතු කරන නායකත්වයක් අද මේ රටට තිබෙනවා. නායක හිමිවරුන් ඇතුළු දේශහිතෛෂී පිරිස මේ රජය පෙරළීමේ අරමුණකින් මේ විරෝධතාව එල්ල කළේ නැහැ කියන එක පැහැදිලියි.

කියමනක් තිබෙනවානේ පිරිසිදු ජලය තිබෙන වීදුරුවක තිබෙන කුඩා කුණු කැබැල්ල පැහැදිලිව පේනවා කියන කාරණය. මෙන්න මේ වගේ පොඩි වැරැද්දක්වත් සිදු නොවෙන්න තමයි සංඝයා වහන්සේ මෙලෙස ක්‍රියා කරන්නේ. ඒ අවවාද ඒ අනුශාසනා රජය ඕනෑම වේලාවක පිළිගන්නවා රජය ටික වේලාවකට හෝ වැරැදි පාරක යන්න ඉඩ නොතබන්නට මෙම නායක හිමිවරුන් කටයුතු කරනවා. තවත් සාර්ථකව මේ රජයට ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය මාවත විවෘත කිරීමක් තමයි මේ මගින් සිදුවන්නේ.

උගත් බුද්ධිමත් මෙන් ම රටට වැඩ කළ හැකි කණ්ඩායමක් මෙවර පාර්ලිමේන්තුවට පැමිණීම ජනතාවගේ බලාපාරොත්තුවක් වුණා. වර්තමාන පාර්ලිමේන්තුව තුළ එය සිදුවෙලා තිබෙනවාද?

ඇත්තටම ජනතාවගේ එම බලාපොරොත්තුව අද බොහෝ දුරට ඉටු වෙලා තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතදී ඇතිවෙන වාද විවාද තීන්දු තීරණවලදී ඒ කැපී පෙනෙන වෙනස ජනතාවට පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. නමුත් කනගාටුවට කරුණ වන්නේ අර පරණ විදියට හිතන පිරිසක් පුද්ගල අපහාස, පුද්ගලවාද කෙනෙක් අරබයා කරන අභූත චෝදනා කරමින් සිටිනවා මිස පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙන්න ඕන වැදගත් අදාළ විෂයන් සම්බන්ධව ගොඩනැ‍ඟෙන තර්ක විතර්කවලට අවස්ථාව නොලැබී යනවා. මම හිතනවා ජනතාවගේ අවධානය වෙන්න ඕන වෙනස් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙනාවා වාගේම මේ පිරිස රැකගන්න ඕන. එය අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් ලෙස මම ජනතාවට මතක් කර සිටිනවා. ඒ තුළින් මතවාද ඉදිරියට ගෙන යාමට අවශ්‍යයි. අනෙක් කාරණය මේ දේශපාලනය තුළ වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ඇතුළු බුද්ධිමතුන් විතරක් පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕන කියන එක මම කියන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවට තිබෙන ඉලක්කය ඉෂ්ඨ කරගන්න ඒ නායකත්වයට තිබෙන ඉලක්ක ඉටු කරගන්න අවස්ථාව ලබාදිය යුතුයි.

කුමන ක්‍රමවේදයකින් පාර්ලිමේන්තු පැමිණියත් කමක් නැහැ. පරිශීලනයෙන්, දේශපාලන අත්දැකීමෙන් වෙන්න පුළුවන්, වෘත්තීයවේදීන් වෙන්න පුළුවන්. නමුත් සිද්ධ වෙන්න ඕන පාර්ලිමේන්තුව තුළ සිදු කෙරෙන කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමයි. මෙය උසස් මට්ටමේ සංවාදවලට විවෘතව ගෙන යන්න පුළුවන් ස්ථානයක් බවට පත් කළ යුතුයි. නැතිනම් ජනතාව බලාපොරොත්තු වුණු වෙනස සිදුවන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය යුක්තිය සමාජ සාධාරණය ඉටු වන්නේ නැහැ. මම හිතනවා මේ සඳහා දායකත්වය ලබාදීමට විවිධ අංශවල අය අද ඉන්න නිසා ජනාධිපතිවරයාට හොඳ සහයක් මින් ලබා ගැනීමට හැකිවෙලා තිබෙනවා. අමාත්‍යාංශ මට්ටමින්, ඒවා නඩත්තු කරන කොට වෙනදාට වඩා සහයක් තිබෙනවා. ඒ වගේම තමයි දේශපාලනයේ සිටි පරිණත නායකයන් ඒ වගේම සහයක් ලබාදෙනවා. මේ මිශ්‍රණය තුළින් සාර්ථක රජයකට යන්න පුළුවන්.

M.C.C ගිවිසුමට ඔබත් එදා විරුද්ධ වුණා. නමුත් අද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණියා. රජය M.C.C අත්සන් කරන්නද යන්නේ?

ඇමෙරිකන් නියෝජිතයා පැමිණියා වගේම වෙන රටක රාජ්‍ය නියෝජිතයෙක් පැමිණියාම අපි මේ ගැන අහනවාද නැද්ද කියන කාරණය මතු වෙනවා. හැබැයි වැදගත් වන්නේ රාජ්‍ය නියෝජිතයා එනවාද? නැද්ද? කියන කාරණය නොවෙයි වැදගත් කාරණය වන්නේ‍. ඇවිල්ලා මොනවාද කරන්නේ කියන කාරණයයි. ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. මේ එන අයගෙන් රටට අවැඩක් හානි කර දෙයක් අනතුරක් වෙන්නේ නැත්නම් මොන රාජ්‍ය නියෝජිතයා ආවත් ගියත් ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ඇවිල්ලා මෙතන සිද්ධ කරන්නේ කුමක්ද යන කාරණය. අන්න එයටයි අපි අවධානය යොමු කළ යුත්තේ.

මම අදත් කියනවා. එදත් කිව්වා. හෙටත් කියනවා. M.C.C ගිවිසුමට මම දැඩි සේ විරුද්ධයි‍. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරය කිරීමෙන් පසු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ජනතාවට කිව්වා කිසිසේත්ම M.C.C ගිවිසුම හෝ රටට අනතුරක් සිදුවන කිසිදු වෙනසක් තමා හෝ මේ රජය අත්සන් නොකරන බව. මේ නිසා M.C.C ගිවිසුමට රටේ නායකත්වය පැහැදිලිව විරුද්ධයි කියන එක ජනතාවට පෙනෙන්නට තිබෙන කාරණයක්.

රටට හානියක් වන අවැඩක් වන ඕනෑම ගිවිසුමකට මමත් සම්පූර්ණයෙන් ම විරුද්ධ වෙනවා. එපමණක් නොවෙයි. එවැන්නක් සිදුවන්නේ නම් ජනතා නියෝජිතයකු හැටියට මේ සම්බන්ධව ජනතාව දැනුම්වත් කරන්නට කටයුතු කරනවා.

ඔබ වගකීමෙන් යුතුව කියනවාද මේ රජය M.C.C ගිවිසුම අත්සන් කරන්නේ නැති බව?

රටේ නායකත්වය මේ සම්බන්ධව වගකීමෙන් යුතුව කියනවා නම් රටේ අමාත්‍යවරියක් හැටියට මට ඒ සම්බන්ධව තීරණයක් ගන්න අවශ්‍ය නැහැ. රටේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම ජනතාවට කියනවා. තමන් M.C.C ගිවිසුමට අත්සන් කරන්නේ නැහැ කියන කාරණය. එහෙම රටට අවැඩදායක ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එය වළක්වා ගැනීමට ක්‍රියා කිරීම ඇමැතිවරුන්ගේ වගකීම බව මම වගකීමෙන් යුතුව කියනවා.

20 වැනි සංශෝධනයෙන් පසුව ආණ්ඩුවේ අර්බුදයක් තිබෙනවා කියන්නේ ඇත්තක්ද?

එවැනි අර්බුදයක් පිළිබඳව කිසිසේත්ම අපි නම් දන්නේ නැහැ. ‍ඒවා බො‍රු චෝදනා. මම කැබිනට් ඇමැතිවරයකු නොවුණත් රජයේ ඇමැතිවරයෙක්.

අපිට මේ වෙලාවේ තිබෙන අර්බුදය තමයි අපි කොහොමද මේ රට දියුණු කරන්නේ කියන කාරණය. අපි කොහොමද මේ සඳහා දායකත්වය ලබාදෙන්නේ කියන කාරණය. අපගේ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය හොයල බලන එක අපි ඒ සඳහා වෙහෙසිලා කටයුතු කරන එක. අපගේ ඉලක්ක කරා ගමන් කරන්නේ කෙසේද කියන එක.

දේශපාලන අර්බුදයක කිසිම සලකුණක් අපිට රජය තුළ හෝ ඉන් පිටතට නෑ. ප්‍රධානම කාරණය අපි මේ කොරෝනා වසංගතයෙන් රට යළි යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා කටයුතු කරනවා.

(ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු)

Comments