
‘ලංකා සිවිල් සේවා පරිපාලනය‘ නම් කෘතියේ රාජ්‍ය නිලධාරියා යනු රාජ්‍ය මුදල් භාවිත කරන පුද්ගලයා ලෙස අර්ථ ගන්වා ඇත. රාජ්‍ය මුදල් භාවිත කිරීමේ අවසරය ඇති රාජ්‍ය නිලධාරීන් වෙන කිසියම්ම හෝ බන්ධනයකට, බලපෑමකට යටත් නොවිය යුතු බව මින් ගම්‍ය වේ. ඔවුන්ගේ ක්රියාපාටිපාටිය සැකසිය යුතු වන්නේ ව්‍යවස්ථාදායක අණ පනත් සහ රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛ පදනම් කරගෙන ය. ඒ අනුව රාජ්‍ය නිලධාරීන්, පාර්ලිමේන්තුවට, විධායකයට, අධිකරණයට හා ජනතාවට ඍජුව වගකිව යුතු වෙයි. සිය වගකීම් අතර ලැදිකම, බිය හෝ වෙනත් බලපෑම්වලට නතුව සිදු කෙරෙන රාජකාරි පිළිබඳ ව කිසිදු රාජ්‍ය නිලධාරියකුට නිදහස් හෝ නිදොස් විය නොහැකිය.
මේ කතාව යථාර්ථයක් වීමට අවශ්‍ය පසුබිම පසුගියදා නව අමාත්‍යාංශ ලේකම්වරු පත් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා අවධාරණය කර තිබිණි. ශක්තිමත් රාජ්‍ය සේවයකට අවැසි දෑ නිර්මාණය කිරීමෙහි ලා බාධා වන ඕනෑම දෙයක් ඒ අනුව නිශේධනය වීමේ හැකියාව පවතින බවට වන සහතිකය සියලු රාජ්‍ය නිලධාරීන්ට ලැබුණේය. එය ඓතිහාසික ප්රවේශයකි. පසුගිය කාලය පුරා රාජ්‍ය සේවය දේශපාලඥයන් විසින් හීලෑ කරගෙන තිබිණි. රාජ්‍ය නිලධාරීන්ට අනවශ්‍ය සුදුසුකම් මත තනතුරු ලබා දීම නිසා බොහෝදුරට මේ තත්ත්වය උද්ගත විය. සිද්ධි එකින් එක ගෙන ඒවා හුදෙකලා සිද්ධි සේ දඩමස් කිරීමෙන් ඵලක් නොවූවද ධනාත්මක ප්‍රවේශයක් සඳහා ඒ අවබෝධාත්මක කතිකාව ඇති විය යුතුය. මේ ඒ සඳහා ලැබුණු ස්වර්ණමය අවස්ථාවකි.
රාජ්‍ය සේවය ප්‍රසාරණය වී ඇති ප්‍රමාණයට සාපේක්ෂව එහි ඵලදායිතාවක් තිබේ ද යන්න විවාදිත කරුණකි. රාජ්‍ය නායකයා පවා කියන්නේ රාජ්‍ය සේවය දූෂිත බව ය. පොදු ජනතාව කියන්නේ රාජ්‍ය සේවය දේශපාලනීකරණය වී ඇති අතර ඒ නිසාම එය අකාර්යක්ෂම බව ය. මේ කියන කාරණාවල කිසියම් සත්‍යයක් ඇතත් රාජ්‍ය සේවයට සාධාරණ විනිශ්චයක් දිය හැක්කේ රාජ්‍ය සේවය අද පවතින තත්ත්වයට හේතු නිවැරදිව අවබෝධ කරගතහොත් පමණ ය.
එදා මෙදා තුර රාජ්‍ය සේවයේ තිබූ අභිමානය, කීර්තිය මෙන්ම ශක්තිය ද බිඳ දැමූ තීරණාත්මක අවස්ථාව වූයේ 1980 ජූලි වැඩ වර්ජනයයි. මෙහිදී ජේ. ආර්. ගේ ආණ්ඩුව අසූදහසක පමණ පිරිසක් එක රැයින් සේවයෙන් නෙරපා හැරියේය. මේ නිසා පළපුරුද්ද හා අත්දැකීම් ඇති පරිණත රාජ්‍ය සේවකයන් අති විශාල පිරිසක් රාජ්‍ය සේවයට අහිමි වූ අතර, සුදුසුකම් විමසීමකින් තොරව පුරප්පාඩු සඳහා බඳවා ගැනුණේ දේශපාලන අනුගාමිකයන් ය. ඉන්පසු බලයට පැමිණි බොහෝ ආණ්ඩු අඩු වැඩි වශයෙන් තමන්ගේ පැවැත්ම සඳහා මේ තත්ත්වය පවත්වා ගෙන ගිය අතර, එනිසාම රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවට පත් විණි. මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් කිරීමේ අඩිතාලම දමමින් අභිනව ආණ්ඩුව එකවර හැටදහසකට රාජ්‍ය සේවයේ දොරටු විවර කළේ ශක්තිමත් රාජ්‍යයක් ගොඩනංවා ගැනීමේ අරමුණිනි. එය ඓතිහාසික අවස්ථාවක් වන්නේ, රටක රාජ්‍ය සේවයේ ස්ථාවරත්වය මත ඒ රාජ්‍යයේ සමෘද්ධිය තීරණය වන බැවිනි.
මේ රට සංවර්ධනය කිරීමට යමකු අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය ය. රාජ්‍ය සේවකයන්ගෙන් ප්‍රශස්ත සේවයක් ලබා ගැනීමට බලපාන්නා වූ වැදගත් ම කාරණයක් තිබේ. එනම් රාජ්‍ය සේවය දේශපාලනයෙන් ස්වාධීන කිරීම ය. එසේම දේශපාලකයන්ගේ තීන්දු තීරණවලට රජයේ සේවකයන්ට වන්දි ගෙවීමට සිදුවීම වළක්වාලීම ය. මෑතකාලීන ව රජයේ සේවකයා අකර්මණ්‍ය කරන්නට බලපෑ ප්‍රධානතම හේතුවක් වූයේ දේශපාලකයාගේ තීන්දු සඳහා ලොකු කුඩා භේදයකින් තොරව රජයේ සේවකයාට වන්දි ගෙවීමට සිදුවීම ය.
සිංගප්පුරුවේ ආර්ථික සංවර්ධන නිර්මාතෘ, හිටපු අගමැතිවරයා වූ ලී ක්වාන් යු ලංකාවට පැමිණි පසු කොළඹ නගරයේ එවකට පැවති දියුණු තත්ත්වය පිළිබඳ විශ්මයට පත්ව සිංගප්පුරුව ද එවැනි රටක් බවට පත් කරන බවට කළ ප්‍රකාශය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේ ද නිරන්තර කතාබහට ලක් වන්නෙකි. මැලේසියාවෙන් වෙන් වු පසුව ස්වභාවික සම්පත් පවා නැතිව කෙටි කාලයක් ඇතුළත ගෝලීය වශයෙන් අනිකුත් රටවල් අබිබවා යමින් සංවර්ධනය වූ රටක් බවට පත්වීමේ දී අනුගමනය කළ රාජ්‍ය සේවය සම්බන්ධ උපාය මාර්ග බොහොමයක්, දැන් ලංකාවට ද වැදගත් වන බැව් අප අමතක කළ යුතු නැත.
සිංගප්පුරුවේ රාජ්‍ය සේවය ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් ක්‍රියාත්මක කළ PS 21 – Future- Oriented Reform කළමනාකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහන, මුල්‍ය සහ අයවැය ප්‍රතිසංස්කරණ වැඩසටහන, මෙන්ම ප්‍රශස්ථ මට්ටමේ රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ගේ රාජ්‍ය පාලන කාලයේ දී ක්‍රියාත්මක කළ රාජ්‍ය ප්රතිනිර්මාණ වැඩසටහන මෙහිදී අධ්‍යයනයට වැදගත් ය. ලංකාව ආසන්නයේ පිහිටි රටක් වශයෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම හඳුන්වාදී ඇති තොරතුරු තාක්ෂණය පදනම් කරගත් පුරවැසියාගේ දෘෂ්ටි කෝණය විශ්ලේෂණය කර ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති රැසක් ද තිබෙන නිසා එවැනි යහපත් අත්දැකීම් පූර්වාදර්ශයට ගනිමින් ජාතික සංවර්ධනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කාර්යක්ෂම වූත් ප්‍රතිඵලදායක වූත් රාජ්‍ය සේවයක් බිහි කිරීමට හැකියාව අපට ඇත. මේ සඳහා වන දැක්ම හා නායකත්වය දැන් අප සතු බැවින් ඉදිරිය පැහැබර ය.
එහිදී රටේ දේශපාලනික ස්ථාවර බව ඉතාමත් වැදගත් සාධකයක් විය යුතු අතර, අනාගතය පුරෝකථනය කරමින් ජනතාවගේ සමාජ, ආර්ථික, සංස්කෘතික සුබසිද්ධිය වෙනුවෙන් සකස් කළ දිගුකාලීන වූ ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කිරීම ද අවශ්‍ය කරුණකි. මෙහිදී රජයක් වශයෙන් සකස් කරන්නා වූ එකී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේලා රාජ්‍ය සේවයට පැවරෙන වගකීම්, කාර්යභාර්ය මැනවින් අර්ථකථනය කරගෙන පුරවැසියාගේ අපේක්ෂා ඉටුවන ආකාරයේ සේවා සම්පාදනය සැලැස්විය යුතුව තිබේ. ලෝකයේ තොරතුරු තාක්ෂණයේ ඇති වී ඇති නව ප්රවණතා ද ආදේශ කර රාජ්‍ය සේවා යාන්ත්‍රණය නව්‍යකරණය කිරීම පිළිබඳ අවධානය යොමු විය යුතුය.
රාජ්‍ය සේවය සඳහා බලපෑ මූලික ගැටලු කිහිපයක් තිබිණි. එක; ඔවුන්ගේ වැටුප් හා දීමනා ප්‍රමාණවත් නො වීම ය. දෙක; උසස් වීමේ ක්‍රියා පටිපාටිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ය. තුන; රාජ්‍ය සේවය සඳහා වූ දේශපාලන බලපෑම උත්සන්න වී තිබීම ය. වත්මන් ආණ්ඩුව ඉහත ගැටලු තුනට ම විසැඳුම් ලබාදී ඇති බව කිව යුතු ය. සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් තත්ත්වය සතුටුදායක ය. උසස්වීම් සඳහා වූ ක්‍රියා පටිපාටිය නිසි ලෙස ක්‍රියාත්මක වෙයි. දේශපාලන බලපෑම් සිදු කිරීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. නූතන රාජ්‍ය සේවය නිදහස් හා ස්වාධීන එකක් සේ සැලැකිය හැකි ය.
අපේ රාජ්‍ය සේවකයා බුද්ධිමත් ය. ඔවුන්ට රටේ අනාගතය පිළිබඳ හැඟීමක් තිබේ. ඒ අනුව බුද්ධිමත් තීන්දු - තීරණ ඔස්සේ රටේ අනාගතයට හවුල්වීමට ඔවුන් තීරණය කරනු ඇත.