
නාගරික පරිසරය යන වචන පැවසූ පමණින් සිතේ මැවෙන්නේ දුමින් පිරි, කොන්ක්‍රිට්වලින් සැදුණු, අහස සිඹින ගොඩනැගිලිවලින් ගහන පරිසරයකි. මෙවැනි කටුක පරිසරයක ජීවත් වීමට වැඩි දෙනෙකු කැමැත්තක් නොදැක්වුවද රැකියා හේතුවෙන් නාගරික පරිසරයේ කොටු වී සිටීමට බොහෝ දෙනාට සිදුවේ. ඉන්දියාවේ නව දිල්ලිය ලෝකයේ ජන ඝනත්වය අධිකතම නගරයක් වන අතර ලෝකයේ වායු දූෂණය ඉහළම නගරයක්ද වේ. සංවර්ධනය අතින් කොතරම් ඉහළින් සිටියද ඇමරිකාවේ නිව්යෝර්ක්, චීනයේ බීජිං, මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් යනාදී ලොව ප්‍රධාන පෙළේ නගරද මිනිස් වාසයට එතරම් හිතකර නැත.
එහෙත් කොතරම් නාගරීකරණය වී තිබුණද ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර සම්බන්ධව නම් එසේ පැවසිය නොහැකිය. දැනට ලෝකයේ හරිත බවින් වැඩිම නගරය වන්නේ කෝපන්හේගන් නගරයයි. එපමණක්ද නොවේ එය ලෝකයේ වැඩිම පරිසර හිතකාමී බලශක්ති භාවිත කරන නගරයද වේ.
කෝපන්හේගන් නගරයට යන සංචාරකයන් පුදුමයට පත්වන්නේ අහස සිඹින ගොඩනැගිලි දැකීමෙන් පමණක් නොව, එම ගොඩනැගිලි අතර වැවී ඇති වානාන්තරවලට ආසන්න පරිසරයක් මවා පෙන්වන වෘක්ෂලතාදිය දැකීමෙනි. එපමණක්ද නොවේ. කෝපන්හේගන්හි පුදුමයට කාරණා තව බොහෝය. ප්‍රධාන නගරය ආසන්නයේම පිහිටා ඇති වරායේ ස්වභාවික නිල්වන් මුහුදු ජලයේ පිහිනමින් සතුටුවීමටද හැකියාව ලැබෙන්නේය. ලෝකයේ බොහෝ රටවල වරායන් දූෂිත ජලයෙන් අසරණ වී පැවතියද කෝපන්හේගන් නගරයේ එසේ නොවන්නේ වරායට ඇතුළුවන සෑම නෞකාවක්ම වරායේ පරිසර නීතිවලට අනුගත විය යුතු වන බැවිනි. එපමණක්ද නොව කෝපන්හේගන්හි භාවිත වන බොහෝ සමුද්‍ර යාත්‍රා, නාවික සහ ධීවර බෝට්ටු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වීම පරිසරය ආරක්ෂා වීමට තවත් ප්‍රධාන හේතුවක් වී තිබේ.
ලෝකය තිරසාර සංවර්ධනය යන මාතෘකාව ප්‍රවිෂ්ට වන්නේ අසූව දශකයේදීය. එමගින් අදහස් වන්නේ රටවල් සංවර්ධනය කරා ගමන් කරද්දී පරිසරය, පෘථිවි ගෝලය අනාගත පරම්පරාවටද ඉතිරි කරමින්, පරිසරය ආරක්ෂා කරමින් සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමයි. මේ තිරසාර සංවර්ධන වැඩපිළිවෙල ලෝකයේ බොහෝ ප්‍රධාන පෙළේ රටවල ඇගයීමට ලක්වුවද එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූයේ රටවල් අතළොස්සක් පමණි. සෙසු රටවල් ලෝකයේ බලවතුන් වීමේ පොරට වැටී පරිසරය විනාශ කරමින් තම ඉදිරි ගමනේ නියුක්ත වූහ.
එහෙත් ඩෙන්මාර්කය වැනි සුළුතරයක් රටවල් තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති එළෙසින්ම ක්‍රියාත්මක කිරීමට කැපවූයේ තම රටේ ජනතාව සම්බන්ධව පමණක් නොව, මුළු මහත් මනුෂ්‍ය සංහතිය කරෙහි හිතානුකම්පාවෙනි. අද ඔවුන් භුක්ති විඳිමින් සිටින්නේ එහි ප්‍රතිඵල වේ.
කෝපන්හේගන් යනු මිලියන් හතරකට නොඅඩු ජනගහනයක් සහිත නගරයකි. එහෙත් එහි ජන ඝනත්වය නගරයේ පරිසර හිතකාමී බවට තර්ජනයක් නොවන සේ පවත්වා ගැනීමට ඩෙන්මාර්ක පාලකයන් සහ ඩෙන්මාර්ක ජනතාව සමත් වී තිබේ. ඔවුන්ගේ අනාගත අරමුණ වන්නේ 2025 වන විට සම්පුර්ණයෙන්ම කාබන් විරහිත වායුගෝලයක් නගරයේ තහවුරු කිරීමයි. ඩෙන්මාර්කයේ ජනතාව ආහාරයට ගන්නා ආහාරවලින් බහුතරය කාබනික පොහොර යොදා වගාකර ගන්නා ලද ආහාර වේ. නගරයේ තවත් ආකර්ෂණීය, එමෙන්ම වැදගත් අංගයක් වන්නේ කසළ කළමනාකරණයයි. නගර වැසියන්ගෙන් එකතු කරන කසළ ඉතා ක්‍රමවත්ව ප්‍රතිචක්‍රීකරණය කර බලශක්තිය නිපදවීම සඳහා යොදා ගැනේ. නගරයේ අර්ධයකට වඩා නිවාස සහ කර්මාන්ත, ව්‍යපාරික ආයතන බොහොමයක් ලබා ගන්නේ එම බලශක්තියයි. මේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය පවතින්නේ කෝපන්හිල් නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේය.
කසළ ගෙන ඒම සහ ගබඩා කිරීම හේතුවෙන් මේ ගොඩනැගිල්ල අපවිත්‍රව පැවතිය යුතු වුවද ඒ වෙනුවට නගරයේ සෙසු ස්ථාන මෙන්ම ඉතා පවිත්‍රව පවතී. අමතරව එම ගොඩනැගිල්ලේ සුන්දරත්වය වැඩි කිරීම සඳහා සුන්දර කෘත්‍රිම අහසක් ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ නිර්මාණය වී ඇති අතර, මේ සුන්දර දර්ශනය වසර පුරා දැකගත හැකිය. එමෙන්ම ගොඩනැගිල්ල සැලසුම් කර ඇත්තේ හිම මත ලිස්සා යෑමේ දිගු ධාවන පුවරුවක් ද ලෙසින්ය. එය ලෝකයේ විශාලම හිම මත ලිස්සා යෑමේ ධාවන පථයක්ද වේ. එය කිසිසේත් කසළ ප්‍රතිචක්‍රීකරණ ස්ථානයක් ලෙස නොසිතෙන තරම්ය. එහෙත් එම ගොඩනැගිල්ල අභ්‍යන්තරයට කසළ ගෙන යන අතර, එමගින් බලශක්තිය නිපදවේ.
මහා මාර්ග රථවාහනවලට වඩා පාපැදි භාවිතය සඳහා වෙන්වී තිබේ. කොටින්ම ඩෙන්මාර්ක පාර්ලිමේන්තු සාමාජිකයන් අතරින් බහුතරයද පාපැදියෙන් තම රැකියා ස්ථාන කරා ගමන් කරණු සුලබ දසුනක් වේ. එමෙන්ම ඉතා අඩු මිලට විදුලි බලයෙන් ක්‍රියා කරන බයිසිකලයක් කුලියට ගෙන නගරයේ සැරිසැරීමටද ඕනෑම අයෙකුට හැකියාව ලැබේ. කෝපන්හේගන් නගරය පුරා දිවෙන ඇළ මාර්ග තවත් අති සුන්දර දසුනකි. මේ ඇළ මාර්ග සංචාරකයන්ටද විවෘතව පවතින්නේ නගරයේ පාරිසරික ආකාස්මීක බවට ඔවුන්ද වහාම ආකර්ෂණය වන බැවිනි. අට දෙනෙකුට එකවර ගමන් ගත හැකි බෝට්ටුවල නැගී මේ ඇළ මාර්ගවල සංචාරය කිරීමට කිසිදු බාධාවක් නැත. මේ බෝට්ටු පවා ගමන් ගන්නේ විදුලි බලයෙනි.
කෝපන්හේගන් වරායට උතුරෙන් අක්කර 70ක පමණ ස්වභාවික වන පියසක්ද වේ. නගරයේ බොහෝ නිවාසවල වහළ ජල පිරිපහදුකරණයක් සහිතව නිපදවා ඇත. එබැවින් පොළවට වැටෙන ජලය අතිශයින් පිරිසිදුය. බීමට පවා ගත හැකිය.
නගරයේ ඇති හෝටල්වලින් තුනෙන් දෙකක් පමණ පරිසර හිතකාමී සහතික ලබා තිබේ. බොහෝ නගරවැසියෝ තම ගෙවතුවල ආහාරයට ගත හැකි නොයෙක් දේ වගාකර ගන්නේ පහසුව, ආරක්ෂිත බව තහවුරුව සහ මුදල් ඉතිරිය පදනම් කර ගනිමිනි. බොහෝ නිවෙස්වල මතුමහලේ ගෙවතු වගාව සරුවට කරනු දැකගත හැකිය.
රටවල් සැබවින්ම සංවර්ධනය විය යුත්තේ මෙසේ නොවේදැයි ඇසිය යුතුය. සංවර්ධනයේ නාමයෙන් ජීවිත වඩාත් සංකීර්ණ කර ගනිමින්, පරිසරය විනාශ කර ගනිමින්, තමනුන් විනාශ වනවා වෙනුවට පරිසරය විඳිමින් ජීවිතය සුන්දරව විඳීමේ අවස්ථා ඕනෑ තරම් අප අවට ඇත. කළ යුත්තේ තමන් සිතන අන්දම මඳක් වෙනස් කර ගැනීම පමණි. කෝපන්හේගන් ඒ සඳහා ඇති තරම් උදාහරණ සපයන්නේය.