අමෙරිකානු ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින සියයකටත් අඩු කාලයකි. වෙනත් ජනාධිපතිවරණ සමයන්හි මේ කාලය අමෙරිකානු වැසියන්ට ඉතා ආකර්ෂණීය සිදුවීම් සිදුවන කාලයකි. මේ වන විට ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් ජනතාව ඇමතීම ආරම්භ කර සිටින අතර සජිවී වාදවිවාද මෙන්ම රූපවාහිනී විවාදද බෙහෙවින් ජනතා අවධානයට ලක් වේ. එපමණක්ද නොව අපේක්ෂකයන්ගේ භාර්යාවන් ද අපේක්ෂකයන්ගේ ජනතා ආකර්ෂණයට විශාල බලපෑම් කරන්නේ මේ කාලයේදීය.
එහෙත් මෙවර ඒ සියල්ලට වඩා කොවිඩ් ආසාදනය වීමෙන් වැළකී ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීමට බොහෝ අමෙරිකානුවන්ට අවශ්‍ය වී ඇති බව පෙනේ. ඒ අතරම ජනාධිපති ට්‍රම්ප්ට ඇති තරම් පහර ගැසීමට පාලනයෙන් තොර කොවිඩ් ව්‍යප්තිය අවියක් කර ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත් වී තිබේ. මේ සියල්ල අනුව ද්වී පක්ෂ ක්‍රමයක් පවතින අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ඩිමොක්රටික් පාක්ෂික ජෝ බයිඩන් විය හැකි බවට පැහැදිලි ලකුණු මතුවෙමින් තිබේ.
ඩිමොක්රටික් පාක්ෂික ජනාධිපතිවරයකු වූ බරැක් ඔබාමා දෙවරක් ධූර කාලය දැරීමට සමත් වූ විශ්‍රාම යනතුරු ජනප්‍රියත්වයෙන් හීන නොවූ මහත් බලාධිකාරයක් සහිත ජනාධිපතිවරයෙක් විය. එහෙත් ඔහුද පෙර සිටි ජනාධිපතිවරුන් සේම ලොව පුරා යුද්ධ ඇවිළීමටත්, සාධාරණයකින් තොරව රටවලට බලපෑම් කිරීමටත් කටයුතු කළ බව නොරහසකි.
හොඳම උදාහරණයක් ලෙස 2011 වසරේදී සිදු කළ ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනය දැක්විය හැකිය. බිල් ලාඩන් පකිස්තානයේ සැඟවී සිටි අතර බුද්ධි තොරතුරු තහවුරු කරගත් අමෙරිකාව ඉතා රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් පකිස්තානයේදීම ඔහු මරා දැමීමට කටයුතු කළේය. මෙහිදී ඔවුන් පකිස්තානයේ ගුවන් සීමාව ආක්‍රමණය කළ අතර පකිස්තාන භූමියේදී හමුදා මෙහෙයුමක්ද සිදු කළේය. මේ මෙහෙයුමේදී එක් අමෙරිකානු ගුවන් හමුදා හෙලිකොප්ටරයක්ද විනාශ විය. එහෙත් මේ කිසිවක් සඳහා පකිස්තාන රජයේ අනුමැතිය ලබා ගැනීමක් සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ අමෙරිකානු හමුදා තම රහසිගත මෙහෙයුම සිදු කර රටෙන් ඉවතට යන තුරු පකිස්තාන රජය හෝ හමුදාව ඒ සම්බන්ධ කිසිවක්ම නොදැන සිටීමය.
රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සැලකූ විට මේ සිදුවීම පකිස්තානයට සහ එහි ස්වාධිපත්‍යයට මරු පහරකි. අනික් අතට අමෙරිකාව මේ දක්වා පකිස්තානයට දක්වා සිටියේ දකුණු ආසියානු කලාපයේ තමාගේ හොඳම මිතුරා පකිස්තානය වශයෙනි. එපමණක්ද නොව රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපතිවරයකු වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ කාලයේ සිට ඇෆ්ගනිස්ථානයට පහර එල්ල කිරීමට අමෙරිකාව යොදා ගත්තේ පකිස්ථාන භූමිය විය.
ඉතා ආකර්ෂණීය චරිතයක් ලෙස ලෝකයෙන් නමක් දිනා සිටියද ජනාධිපති ඔබාමාද මේ කැළෑ නීතිය අකුරට ක්‍රියාත්මක කළේය. එහෙත් ලෝකයට එසේ සලකද්දී ඔහු අමෙරිකානු ජනතාවට නම් අගතියක් වීමට ඉඩ තැබුවේ නැත.
මෙවර ඩිමොක්රටික් පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා සිටින්නේ හිටපු ජනාධිපති ඔබාමාගේ කාලයේ උප ජනාධිපතිධූරය හෙබවූ ජෝ බයිඩ්න්ය. මේ වන විට පැහැදිලිවම ජෝ බයිඩ්න් ඔබාමාගේ ජනප්‍රියත්වයේ හෙවණැල්ල යටට පැමිණ සිටින බව පෙනේ. තම පාක්ෂිකයකු ජයග්‍රහණය කිරීමේ උත්සාහයක් ලෙස හිටපු ජනාධීපති ඔබාමාද මේ වන විට බයිඩ්න්ගෙ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීමට එක්ව තිබේ.
පසුගිය දිනක ඔවුන් දෙදෙනා එක්ව කොවිඩ් වසංගතය අමෙරිකාව තුළ පැතිර යෑමට ඉඩදීම සම්බන්ධව ජනාධිපති ට්‍රම්ප්ව හොඳ හැටි පතුරු ගැසුවෝය. කළු පැහැති මුව ආවරණ සහිතව රූපවාහිනී සාකච්ඡාවට සහභාගී වීමට පැමිණි ඔවුන් දෙදෙනා සමාජ දුරස්ථතාව ආරක්ෂා කරමින් සාකච්ඡාවට සහභාගී වූහ. එහිදී බයිඩ්න් පවසා සිටියේ කොවිඩ් වසංගත ව්‍යප්තිය වැළැක්වීමට වත්මන් අමෙරිකානු ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
“ජනාධිපතිවරයා සෑම අවස්ථාවකට පවසා සිටියේ මේ කිසිවකට තමා වගකවයුතු නොමැති බවයි.” රාජ්‍ය නායකයා එසේ පැවසීම පුදුම සහගත බවත්, ජනතාවට ඔහුගේ හැසිරීම පුදුම උපදවන බවත් අපේක්ෂක බයිඩ්න් පවසා සිටියේය. මේ අතර සාකච්ඡාවට එක්වෙමින් හිටපු ජනාධිපති බරැක් ඔබාමා පවසා සිටියේ තමන්ගේ පාලන කාලයේදී තමා කිසිවිටකත් මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ නොකළ බවයි.
එසේ වුවද ජනාධිපති ට්‍රම්ප්ගේ පාලන කාලයේදී මේ දක්වා ලෝකයේ කිසියම් තැනක යුද ගිනි ඇවිළිමට අනුබල නොදුන් බවද අමතක කළ යුතු නැත. කෙසේ වුවද ජනාධිපති ට්‍රම්ප්ට මුහුණ දීමට සිදුවූයේ මෙතෙක් අමෙරිකාව පාලනය කළ ජනාධිපතිවරුන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම්වලට වඩා විශාල වෙනසකම් සහිත අත්දැකීම් රැසකට බව කිව යුතුය. චීනය පැහැදිලිව නැගී සිටිමින් අමෙරිකාවට අභියෝගයක් බව දක්වා සිටියේ ජනාධිපති ට්‍රම්ප්ගෙ පාලන කාලයේදී බව අමතක කළ යුතු නැත. එතෙක් හිටපු අමෙරිකානු ජනාධිපතිවරුන් පාළු ගෙදර වළං බිඳි බව පැහැදිලිය. එමෙන්ම කොවිඩ් වැනි වසංගතයක අත්දැකීමක් ලෝකයට වසර සියයකින් මෙහා නැති අතර ජනාධිපති ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් සර්වප්‍රකාරයෙන්ම අසාර්ථක වූ බවද පැහැදිලිය.
මේ අතර තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කළ සුප්‍රසිද්ධ රැප් ගායකයකු වන කන්යේ වෙස්ට් මේ වන විට ඒ ප්‍රකාශය හේතුවෙන්ම පවුල් ප්‍රශ්න රැසක පැටලී සිටින බව වාර්තා වේ. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමෙන් ලෝකයේම අවධානය තමන් වෙතට ලබා ගත් වෙස්ට් ඉන් සති දෙකක කාලයක් තුළදී තමන් ජනාධිපතිවරණය ඉදිරිපත් නොවන බවත් එසේ ප්‍රකාශ කිරීමෙන් තම බිරිය වන කිම් කඩෑෂියන්ට සිදුවූ අපහසුතාවයට ඇයගෙන් සමාව අයැද සිටින බවත් පවසා සිටියේය.
කෙසේ වුවද මේ වන විට මීළඟ අමෙරිකානු ජනධිපතිවරණයට ඇත්තේ තවත් දින අනූවක් වැනි කාලයකි. මේ කාලය තුළ යළි අමෙරිකානුවන්ගෙ සිත් දිනා ගැනීමට ජනාධිපති ට්‍රම්ප් කුමන අන්දමේ උපක්‍රම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද යන්න අනුමාන කළ නොහැකි වී තිබේ. දෙවැනි ධූර කාලය සඳහා සටනට එක්වන්නේද, නැතහොත් ප්‍රතිවාදියාට ජයග්‍රහණය ලබා දී සමුගන්නේද යන්න ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපයේදී කටයුතු කරන අන්දම අනුව සිතා ගත හැකි වනු ඇත. ඇතැම් විට ව්‍යාපාරික ලෝකයේ අභියෝගවලට වඩා දේශපාලන ලෝකයේ අභියෝගවලට මුහුණ දීම අසීරු බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ දිනවල අත්විඳිනවා විය හැකිය.