ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සුරැ­කී­ම­ට ඡන්ද අයිතිය රැකගමු | Page 3 | සිළුමිණ

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සුරැ­කී­ම­ට ඡන්ද අයිතිය රැකගමු

ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­භා­වය ඇති තැනත්තා ශ්‍රී ලාංකි­ක­යෙකි. රටක පුර­වැ­සි­යකු වී‍ෙමන් ඔහුට හෝ ඇයට අයි­ති­වා­සි­කම් රැසක් හිමි වෙයි. අදාළ රටේ පාල­ක­යන් තෝරා­පත් කර ගැනීම සඳහා වන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මැති­ව­ර­ණ­ව­ලදී ඡන්දය පාවිච්චි කිරී­මට ඇති අයි­තිය ඉන් ප්‍රධාන අයි­ති­වා­සි­ක­මකි. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පාලන ක්‍රම­යක පවත්නා වැද­ගත්ම අංගය වන්නේ වරි­න්වර පව­ත්වනු ලබන නිද­හස් හා සාධා­රණ මැති­ව­රණ මඟින් පාල­ක­යන් තෝරා­පත් කර ගැනී­මට ජන­තා­වට අව­කාශ සලසා දීමයි. එම ක්‍රියා­ව­ලි­යට සහ­භා­ගී­වීම පුර­වැ­සි­ය­කුට ඇති ප්‍රධාන අයි­ති­යකි.

ශ්‍රී ලංකාවේ ඡන්ද අයි­තියේ ඉති­හා­සය දෙස බලන විට පුර­වැ­සි­යන්ට ඡන්ද අයි­තිය හිමි වූ ආසි­යාවේ පැර­ණිම රට­වල් අත­රට මෙර­ටද එක් වේ. ලංකා­වට කුමක් හෝ ඡන්ද අයි­ති­යක් හිමි වන්නේ 1910 වසරේ දීය. එහි දී ව්‍යව­ස්ථා­දා­ය­කය සඳහා සාමා­ජි­ක­යන් කිහි­ප­ දෙ­නක් පත් කර ගැනී­මට මෙරට සීමිත කොට්ඨා­ශ­ය­කට පම­ණක් ඡන්ද අයි­තිය හිමි වූ අතර, එය අපි සීමිත ඡන්ද බලය මෙර­ටට හිමි වීම ලෙස අද­හස් කරමු. 1931 වසරේ දී ලංකාවේ ක්‍රියා­ත්මක වූ ඩොන­මෝර් ආණ්ඩු­ක්‍ර­ම­යෙන් මෙර­ටට සර්ව­ජන ඡන්ද බලය ලැබෙන අතර, එහි තේරුම වන්නේ ඡන්දය සඳහා සුදු­සු­කම් ලබා ඇති සියලු පුර­වැ­සි­යන්ට කිසිදු වෙන­ස්ක­ම­කින් තොරව ඡන්ද අයි­තිය ලබා දීමයි. එහි වයස් සීමාව වූයේ වයස අවු­රුදු 21 ය. පසුව බණ්ඩා­ර­නා­යක ආණ්ඩු සමයේ 1959 අංක 11 දරන මැති­ව­රණ සංශෝ­ධන පනත මඟින් ඡන්දය ලබා දීමේ අයි­තිය වයස අවු­රුදු 18ට වඩා වැඩි සියලු පුර­වැ­සි­යන් සඳහා හිමි විණි. මේ පනත සඳ­හාත් පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු කිහි­ප­දෙ­නක් සිය අක­මැත්ත තරයේ ප්‍රකාශ කරන අතර, එව­කට විප­ක්ෂයේ සිටි සර් ජෝන් කොත­ලා­වල එය හඳුන්වා ඇත්තේ ‘වඳු­රන්ට ඡන්ද අයි­තිය ලබා දීමක්’ ලෙසය.

1833 සිට 1931 දක්වා මේ රටේ තිබුණේ ව්‍යව­ස්ථා­දා­යක සභා­වය. 1947 සිට 1972 දක්වා එය රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙස හැඳි­න්විණි. 1972 සිට 1978 දක්වා ජාතික රාජ්‍ය සභාව ලෙස හඳුන්වා ඇති අතර 1978 වර්ෂයේ පටන් එය ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුව බවට පත්වී තිබේ. මේ යටතේ පළමු මහා මැති­ව­ර­ණය 1960 මාර්තු මාසයේ දී පැවැ­ත්වුණු අතර ජනතා පර­මා­ධි­පත්‍ය බලයේ එක් අංග­යක් වන ඡන්ද අයි­තිය ජනතා පර­මා­ධි­පත්‍ය යට­තට ගැනුණි.

වර්ත­මා­නය වන විට ලංකාවේ වයස අවු­රුදු 18 සම්පුර්ණ වූ අයට ඡන්ද අයි­තිය හිමි වන අතර, ලෝකයේ බොහෝ රට­වල ද එම සීමාව 18 ලෙස පවතී. යුරෝ­පයේ රට­වල් කිහි­ප­යක් ඇතුළු තවත් රට­වල් කිහි­ප­යක වයස් සීමාව 16 දක්වා පහත හෙළා ඇති අතර, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ඡන්ද අයි­තිය හිමි වන්නේ වයස අවු­රුදු 25 සම්පූර්ණ වූ විටයි.

මීළඟ පාර්ලි­මේ­න්තු­වට මන්ත්‍රී­ව­රුන් තෝරා ගැනීමේ ඡන්ද විම­සීම ලබන මස 5 වැනි බදාදා පැවැ­ත්වී­මට නිය­මි­තය. එහිදී මහ­ජන නියෝ­ජි­ත­යන් 225ක් තෝරා පත්කර ගැනී­මට නිය­මි­ත අතර 1988 දී හඳුන්වා දුන් 14 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට අනු­කූ­ලව දිස්ත්‍රික් මට්ටමින් පත්වන ජාතික ලයිස්තු මන්ත්‍රී­ව­රුන් 29 දෙන­ාද මෙම පිරිසට ඇතුළත්ය. මේ අතර මහ මැති­ව­ර­ණ­යට අදාළ තැපැල් ඡන්ද විම­සීම හෙටින් ඇර­ඹී­මට නිය­මි­තය.

මේ මැති­ව­ර­ණයේ වැද­ග­ත්කම පිළි­බ­ඳ­වත්, එහිදී ඡන්දය පාවිච්චි කළ යුතු ආකා­රය ගැනත් පසු­ගි­යදා මාධ්‍ය සාක­ච්ඡා­වක් පව­ත්ව­මින් මැති­ව­රණ කොමිසමේ සභාපති මහින්ද දේශ­ප්‍රිය කියා සිටි­යේය. එහිදී සභාපතිවරයා අව­ධා­ර­ණය කළේ, කොවිඩ් වසං­ගත සමයේ පැන නැඟුණු අනේ­ක­විද දුෂ්ක­රතා මධ්‍යයේ පව­ත්වන මේ මැති­ව­ර­ණය ඡන්ද දාය­ක­යාට සුවි­ශේෂී අත්දැ­කී­මක් වනවා මෙන්ම; මේ සුවි­ශේෂී මැති­ව­ර­ණ­යේදී ඡන්දය පාවිච්චි කිරීම ඡන්ද දාය­ක­යාගේ වග­කී­මක් හා යුතු­ක­මක් ද වන බවය. එහිදී ඔහු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය මිල අධික බැව් පුන­රු­ච්ඡා­ර­ණය කර­මින් ම කියා සිටියේ මැති­ව­ර­ණය කොතෙක් වැද­ගත්ද යන්න ගැන පූර්වි­කා­වක් සප­ය­මිනි. මේ අනුව රටේ ජන­තා­ව­ගෙන් වැඩිම පිරි­සක් එකම දිනයේ නිවෙසින් එළි­යට බසින්නේ මැති­ව­ර­ණය දාය. මේ සංඛ්‍යාව දළ වශ­යෙන් කෝටි­ය­කට වැඩි වනු ඇතැයි ගණන් බලා තිබේ. 2019 වර්ෂ­යේදී මැති­ව­රණ කොමි­සම මඟින් සහ­තික කරන ලද ඡන්ද හිමි නාම ලේඛ­ණ­යට අනුව 16,263,885 දෙන­කුට ඡන්දය පාවිච්චි කිරීමේ අව­ස්ථාව තිබේ. විවිධ හේතු මත ඡන්ද පොළට නොඑන සේම ඡන්දය පාවිච්චි නොක­රන පිරිස පසෙ­කින් තැබූ විට 85%ක පිරි­සක් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි කොමි­සමේ අපේ­ක්ෂා­වයි.

‘යහ­පා­ලන‘ විග­ඩ­මෙන් පසු තමන් කැමති, තමන්ගේ ඉදි­රිය වෙනු­වෙන් යමක් කරනු ඇතැයි අපේක්ෂා කරන ජනතා නියෝ­ජි­ත­යන් පිරි­සක් තෝරා ගැනී­මට ජන­තා­වට ලැබෙන පළමු අව­ස්ථාව මඟ නොහ­රිනු ඇතැයි අපි උදක්ම සිතමු. ‘යහ­පා­ලන‘ සමයේ කෝලම්, නාඩ­ගම් හා කඹ ඇදීම් නිසා කල­කි­රී­මට පත්ව සිටි ජන­තා­වට මේ ලැබෙන අව­ස්ථාව මසු­රන් වටි­න්නේය. පාර්ලි­මේ­න්තු­වට නියෝ­ජි­ත­යන් තෝරා පත් කර ගැනී­මේදී ස්වකීය පෙර අත්දැ­කීම් නැවත ස්මර­ණය කිරීම වැද­ගත් වන්නේ, වෙන­සක් බලා­පො­රො­ත්තු­වෙන් කළ හදි­යක ප්‍රති­ඵල ඕනෑ­ව­ටත් වඩා ජන­තාව විඳි නිසාය.

මහ මැති­ව­ර­ණ­යට තව ඇත්තේ දින 24 කි. රටක අනා­ග­ත­යක් තීර­ණය වන දිනය අත ­ළ­ඟය. ලංකාවේ වැඩිම ජන සංඛ්‍යා­වක් එළි­යට බසින මැති­ව­රණ දිනය වෙනු­වෙන් ලොව ප්‍රමු­ඛ­තම සෞඛ්‍යා­ර­ක්ෂිත ක්‍රම ක්‍රියා­ත්ම­කය. මැති­ව­රණ කොමි­සම් සභා­ප­ති­ව­රයා කියන පරිදි ඔබට ඡන්ද ස්ථානය තරම් ආර­ක්ෂිත වෙන කවර හෝ ස්ථාන­යක් නැති තරම්ය. එබැ­වින් මේ තීර­ණා­ත්මක මැති­ව­ර­ණ­යේදී ඔබේ ඡන්දය පාවිච්චි කිරීම ඔබ රටට ඉටු කරන යුතු­ක­මක් සේම වග­කී­මකි. එකි­නෙ­කාගේ කුණු අවු­ස්ස­මින්, පිට කස­මින්, රෙදි සෝද­මින් ගෙවන පාර්ලි­මේන්තු සංස්කෘ­ති­යට තිත තබා රට වෙනු­වෙන් එකට පෙළ ගැසිය යුතු මොහොත එළැඹ ඇත.

මෙරට සියලු පුර­වැ­සි­යන් ජාති, ආගම්, කුල හෝ වෙනත් බේද­ය­කින් තොරව සමාන අයි­ති­වා­සි­කම් ඇති අය ලෙස සැල­කීම ශ්‍රී ලාංකේය අන­න්‍ය­තා­වක් ඇති ජාති­යක් ගොඩ­නැ­ගීම සඳහා අත්‍ය­වශ්‍ය මූලික කරු­ණකි. නිද­හස ලැබී 72 වස­රක් ගතව ඇතත් අපට ඒ සඳහා මෙතෙක් අව­කා­ශ­යක් ලැබී නැත. තමන් ජාති, ආගම්, කුල හෝ වෙනත් කිසිදු බේද­යක් නොස­ල­කන ශ්‍රී ලාංකේය අන්‍ය­න­තාව ඇති පුර­වැ­සි­යකු බව ලෝක­යට කිය­න්නට සෑම අයෙ­කු­ටම ශක්ති­යක් ලැබෙන ආකා­රයේ පසු­බි­මක් රටේ ඇති කළ යුතුව තිබේ. එය අද නොක­ළ­හොත් යළිත් ඊට සුදුසු අව­ස්ථා­වක් කවදා පැමි­ණෙ­තැයි කිසි­ව­කු­ටත් පැව­සිය නොහැ­කිය. ඇතැම් විට මේ ඒ සඳහා වන අව­සන් අව­ස්ථාව විය හැකිය.

"ලංකාවේ මැති­ව­ර­ණ­ව­ලදී තීර­ණා­ත්මක පිරිස ඔබ බව මතක තබා ගන්න. ඔබ ඔබේ ඡන්දය භාවිත නොක­ළ­හොත් ඔබ අක­මැ­තිම පුද්ග­ලයා ඔබේ කොට්ඨා­සයේ මහ­ජන නියෝ­ජි­තයා වෙන්න පුළු­වන්. ඔබ අක­මැ­තිම පක්ෂය හෝ කණ්ඩා­යම ඔබේ පළාත් පාලන ආය­ත­නයේ බලය ලබා ගැනී­මට ඉඩ තිබෙ­නවා යැයි පැෆ­රල් මැති­ව­රණ නිරී­ක්ෂණ කණ්ඩා­යමේ විධා­යක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටි­ආ­රච්චි ඡන්දය දැමීමේ වැද­ග­ත්කම ගැන දැක්වූ අද­හස් සර්ව­කා­ලීන වන්නේ ඒ නිසාය.

 

Comments