
කොරෝනා වසංගතය, ලෝකයේ මෙතෙක් දැක ඇති දේශපාලන නායකත්වය පරීක්ෂා කරන ලද විශාලතම පරීක්ෂණය විය හැකිය. ලෝකයේ සෑම නායකයෙක්ම සිය හැකියාව පිළිබඳ එකම ආකාරයේ අභියෝගයකට මුහුණ දෙමින් සිටියි. හැම නායකයෙක්ම වෙනස් ආකාරයකින්, ඔහුගේ හෝ ඇයගේ ශෛලිය අනුව ප්‍රතිචාර දක්වයි. සෑම නායකයකුම විනිශ්චය කරනු ලබන්නේ එහි ප්‍රතිඵලය අනුවය. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කර් විද්‍යාව වැලඳ ගනී. බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ එය ප්‍රතික්ෂේප කරයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපතා පවත්වන මාධ්‍ය සාකච්ඡා සර්කස් සන්දර්ශන වැනිය. බිලියන 1.3ක ජනතාව ලොක්ඩවුන් කර සිටියදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාධ්‍ය සන්දර්ශන පවත්වන්නේ නැත. මේ සියල්ලන්ටම වඩා වෙනස් මාවතක 39 හැවිරිදි නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ගමන් කරයි. මේ සියල්ලම සටහන් කරන්නට සිතුවේ උපාය මාර්ගික තීරණ ගැනීම හා අර්බුදයකදී තීරණ ගැනීම බෙහෙවින් වෙනස් බව කියන්නටය. මෙය නායකයන් බිහි කරන හෝ බිඳ දැමිය හැකි ආකාරයේ අර්බුදයකැයි අප පැහැදිලිව කියන්නේ ඒ නිසාය.
ලංකාව මේ අර්බුදය කළමනාකරණය කරගැනීමේදී සාධනීය පාර්ශ්වයෙන් ඉදිරියෙන්ම සිටින්නේ යැයි ලොවම පිළිගෙන තිබේ. දෙවැනි කොවිඩ් 19 රැල්ලක් ගැන කතා කරමින් අනිසි බියක් මවන්නට තතනන ගෝනි බිල්ලන් නොදන්නා කරුණ වන්නේ අපට තවමත් පළමු රැල්ලක්වත් ඇවිත් නැති බවය. රැල්ලක් යන්නට ඔබට උදාහරණ අවැසි නම් මේ මොහොතේ ඇමෙරිකාව දෙස හෝ ඉන්දියාව දෙස බැලිය හැකිය. ඒවායේ පාලනය කරගත නොහැකි ලෙසින් කොවිඩ් 19 පැතිර යයි. අප කොවිඩ් 19 ගැන දැනගත් වහා කළ මැඬ පැවැත්වීම් හා පාලනය කිරීම් විධිමත්ව කළ නිසා අපට ගසාගෙන යන රැල්ලක් ආවේ නැත.
මාර්තු 12 දා වසන ලද පාසල් නැවත දරුවන්ට විවර වන්නේ ජූලි 6 දාය. පාසල් මුලින්ම වසා අවසානයට විවෘත කරන මේ ක්‍රමවේදය වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග නිසා අනාගත පරම්පරාව සුරක්ෂිත කිරීමේ ලා රජය සතු අවංක කැපවීම මොනවට පැහැදිලි වේ. ඉදින් නායකත්වය යන්න අර්බුද කළමනාකරණයේදී වඩාත් සවිඥානිකව වටහා ගත යුත්තක් නම්; අපේ රට තරම් ඊට වෙනත් උදාහරණ ඇත්තේ නැත. රාජ්‍ය නායකත්වය; විපක්ෂය පැල් බැදගෙන විවිධ චෝදනා නඟද්දී අවලාද කරන්නන්ට කෑ ගසන්නන්ට ඕනෑ තරම් කෑ ගසන්නට දී වැඩ කර පෙන්වූයේය. ඔවුන් පාර්ලිමේන්තුව කැඳවන්නේ කෙසේදැයි මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කරමින් සිටියදී ජනාධිපතිවරයා වසංගත අර්බූදය මනාව කළමනාකරණය කර ජනතාවට සහන සැලසුවේය; ඒ භෞතික සහන පමණක් නොවේ. විශ්වාසය නැමැති ආධ්‍යාත්මික සහනය ද සමඟය. වචන සහ ක්‍රියාව අතර වන පරතරය මෙදා තරම් කවරදාවත් ජනතාව දකින්නට, අත්විඳින්නට නැත.
අප මේ වනවිට බැට කමින් සිටින්නේ කොරෝනාවෙන් හෝ විපක්ෂයේ අවලාදවලින් හෝ පමණක් නොවේ. මත්කුඩු, මත්පැන්, ගිනි අවි සහ ගිනිකෙළි ද රජයට බැට දෙමින් තිබේ. නීතිය ආරක්ෂා කරන්නට තරු පිට තරු ගසා බැබළෙන පොලිස් නිලධාරීහු අතර ද ජාවාරම්කරුවෝ සිටි බවට සාක්ෂි ලැබෙති. නීතිය කඩ කරන්නන් ගාල් කර දමන බන්ධනාගාරය තරම් දූෂිත වෙනත් තැනක් නැති බව පසුගිය කාලය පුරා අසන්නට දකින්නට ලැබුණි. මෙතෙක් අප සිතා ගෙන සිටියේ මත් ජාවාරම්කරුවන්ගේ ලේ වැකි මුදල් මතින් සුර සැප සෙව්වේ සමහර දූෂිත බන්ධනාගාර නිලධාරීන් පමණක් කියාය. ගම්වල හොරට කසිප්පු පෙරන මුදලාලිලා මාසෙන් මාසෙට සමහර දූෂිත පොලිස් නිලධාරීන් අත මුදල් තබන බව කනින් කොනින් ඇසුණත්, මේ තරම් ව්‍යසනයකට උඩගෙඩි දෙන පොලිස් පංගුකාරයන් ගැන නම් තවත් කතා දෙකක් අවැසි නැත; දිය යුතු ඉහළම දඩුවම ඔවුන්ට ලැබිය යුතුමය; ඒ දඩුවම ලැබෙන බවටද සැකයක් නැත. හොරුන්ට වංචාකාරයන්ට වත්මන් ජනාධිපතිවරයාගෙන් සමාවක් නැති බව රටම දනී.
සමහර දූෂිත පොලිස්කාරයන් නාකොටික් වැනි තැනක සිටීම නරියාට කුකුළු කොටුවක් බාරදීමකට වැඩි යමක් නොවන නිසා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන තෙක් රටම බලා සිටී. පසුගියදා ආරක්ෂක ලේකම්වරයා ඉහළ පොලිස් නිලධාරීන් කැඳවා අඳින නිල ඇඳුමට ලැජ්ජා නොකරන ලෙස අවධාරණය කර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් තම බල ප්‍රදේශවල සිදුවන අපරාධවලට වගකිවයුතු බව ද පෙන්වා දී ඇති ආරක්ෂක ලේකම්වරයා, වැඩ නොකරන හෝ තමන්ට වැඩකිරීමට නොදෙන කවර හෝ බලවේගයක් තිබේ නම් තමා දැනුම්වත් කරන ලෙසද ඉල්ලා තිබේ. මේ ලැබුණු ස්වර්ණමය අවස්ථාවෙන් වැඩ කරන නිලධාරීන්ට ප්‍රයෝජන ගන්නා මෙන් අප ඉල්ලා සිටින්නේ, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කාලයක් අප පසුගිය ‘යහපාලන‘ සමයේ අත්විඳි නිසාය. ඒ කාලයේ කියන දේ පමණක් ඔළුව නවාගෙන කළත් දැන් එහෙම අවශ්‍ය නැත. ඒ නීතිගරුක, වැඩකරන නිලධාරීන්ට හොඳ කලක් උදා වී ඇති නිසාය. මේ රටේ කුඩු ජාවාරම හුදෙකලා සිද්ධියක් නොවන බවත් ඒ වටා ඇති ඝනකම් වළල්ල බිඳ දැමිය යුතු බවත් ජනාධිපතිවරයා තේරුම් ගැනීම ම වැදගත්ය. දේවාලයේ පූජකයා පිළිමය සොරකම් කරන කල සෙවීම අපහසු වුවත්, හොරාට වැඩිකල් හොරකම් කළ නොහැකි බව තේරුම් ගැනීමට නම් මේ පසු කළ කාලය ප්‍රමාණවත්ය.
මැතිවරණයට ඇත්තේ තව සති තුනකි. කටවුට්, පෝස්ටර් නැති බොරු වියදම් නැති, පරිසර හිතකාමී අපූරු වෙනස් මැතිවරණයකට මුහුණ දෙන්නට ජනතාව පෙළගැසී සිටිති. රාජ්‍ය දේපළ අවභාවිත කළ, බන්ධනාගාර දූෂිත කළ, පොලීසියේ හෙළුව එළිපිට පෙනුණු දූෂිත සමාජයක් ඇති කළ පිරිසට පාඩමක් උගන්වන්නට ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිති. නීතිය තිබුණේ වල්වැදීය. යතුරුපැදියක් තම වාහනයේ හැපුණු කල, වාහනය පැදෙව්වේ තමන් නොවන බවත් තමාගේ රියදුරකු බවත් පවසමින් රියැදුරාට බොරු සාක්ෂි දෙන්නට උගැන්වූ ඇමතිවරු සිටි ‘යහපාලන' ආණ්ඩුවකින් සාමාන්‍ය ජනතාවට නීතියේ පිළිසරණ ලැබේවි යැයි බලාපොරොත්තු විය නොහැකිය. මිනිසුන්ගේ සුචරිතත්වයට පාර කියන ආධ්‍යාත්මික සුවය සදන ආගම් නායකයන්ට ප්‍රසිද්ධියේ ගරහන නායකයන් පාලනය කළ ‘යහපාලන‘ ආණ්ඩුවකින් ජනතාවට ලැබෙන දේ ගැන කතා කර පලක් නැත. ලේඛකයන්ට ලැබෙන සොච්චම් කර්තෘ භාගයට පමණක් නොව පන්සලේ පින් කැටයටද බදු ගැසූ ‘යහපාලන‘ ආණ්ඩුවකින් අසරණ ජනතාවට පිළිසරණක් බලාපොරොත්තු විය නොහැකි බවට තර්ක අවශ්‍ය නැත.
ජීවත් වන්නන් වාලේ ජීවත්වනවාට වඩා අභිමානයෙන් ජීවත් වීමට හැකි මාවතක් ගැන ජනතාව දෑස් දල්වා බලා සිටිති. සිය ඉඩකඩම් වැවිලි බෝගයන්ගෙන් සශ්‍රීකව දේශීය කර්මාන්තකරුවන්ට හොඳ කලදවසක් උදා වෙන හෙට ගැන ජනතාව සිහින මවති. ඒ සිහිනය සැබෑ කරන්නට අවැසි මූලික අවශ්‍යතා මේ වනවිට පූර්ණය වී අවසන්ය. රජය ඔබේ හෙට වෙනුවෙන්, ඔබේ දරුවන්ගේ හෙට වෙනුවෙන් ඉදිරි සැලසුම් දැනටමත් ආරම්භ කර ඇත. මේ උදාවී ඇත්තේ එය වඩාත් විධිමත්ව ඉටු කරන්නට රජයට ඔබේ සහය අත්‍යවශ්‍ය මොහොතයි!