2020 අනාගතය ගැන බය හිතෙන අනාවැකි | Page 2 | සිළුමිණ

2020 අනාගතය ගැන බය හිතෙන අනාවැකි

මේ වන විට 2020 වසරින් අර්ධයක්ම ගෙවී ගොස් අවසන්ය. මේ ගත වූ මාස කිහිපයට මෙතෙක් මිනිස් වර්ගයා අත් නොවිඳි බොහෝ අත්දැකීම් ඔවුන් වෙත උරුම කර දීමට 2020 වසර සමත් වී තිබේ. එසේ වුවද Interesting Engineering වෙබ් අඩවියට අනුව 2020 යනු ලේසි පහසු වසරක් නොවේ. ඔවුන් පවසන්නේ හොඳ හොඳ සෙල්ලම් ඉදිරි මාස හයේදී දැක ගත හැකි වනු ඇති බවය.

අපේ රටේ මෙවැනි අනාවැකි පවසන්නේ ජ්‍යෝතිෂ්‍යවේදීන්ය. ඔවුන් පැවසූ දේ අතර සැබෑවූ අනාවැකි මෙන්ම බහුතරයක් සැබෑ නොවූ අනාවැකිද වේ. එමෙන්ම කොවිඩ් වසංගතය සම්බන්ධව අනාවැකි නොපැවසීම හේතුවෙන් අප රටේ ජනතාව අතර අප්‍රසාදයට පත්වූ ජ්‍යෝතිෂ්‍යවේදීන්ද රාශියකි.

කෙසේ වුවද 2020 වසර ආරම්භයේදී ඕස්ට්‍රේලියාවේ පැතිර ගිය අවාසනාවන්ත ලැව් ගිනි මෙන්ම, ලොවම වසා දැමීමට සමත් වූ, ලක්ෂ ගණනින් ජීවිත අහිමි කළ කොවිඩ් වසංගතය ගැනද කිසිවකුත් අනාවැකි කියන්නට සමත් වූයේ නැත. එහෙත් Interesting Engineering වෙබ් අඩවිය මේ වසරේදී සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති, එසේ නොවුනහොත් අනාගතයේ කිසියම් දවසක ලොවම පීඩාවට පත් කළහැකි ව්‍යසන කිහිපයක තොරතුරු දක්වා ඇත්තේ බොහෝ දෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමු කර ගනිමිනි. සැබවින්ම කොවිඩ් වැනි වසංගතයක් ලොව පුරා පැතිර යතැයි කිසිසේත් අනුමාන කළ නොහැකි වූවා මෙන්ම මේ පවසන අනාවැකි සත්‍ය නොවනු ඇතැයි කිසිසේත් පැවසිය නොහැකිය. ඊට හේතුව මේ ව්‍යසන සිදුවිමට ඇති ඉඩකඩ සම්බන්ධවද වෙබ් අඩවිය ඉතා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කර ඇති බැවිනි.

 

1. ලෝක ආර්ථික අර්බූදය

 

ව්‍යසන අතරින් ආසන්නයේම දක්වා ඇත්තේ සමස්ත ලෝකයටම මුහුණ දීමට සිදුවන දැවැන්ත ආර්ථික අර්බූදයකි. සැබවින්ම එය සිදුවීමට බෙහෙවින් ඉඩකඩ ඇති බව මේ වන විටත් මුළු ලෝකයම දැනුම්වත් වී තිබේ. ඊට හේතුව කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකයට මුහුණ දීමට සිදුවූ විසල් අවපාතයයි. ලොව පුරා රටවල් වසා දැමීමෙන් එම රටවල ආර්ථිකයන්ට විශාල හානි සිදුවූ අතර ව්‍යාපාර අඛණ්ඩව පාඩු ලැබීය. රටරටවල කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදුවූයේය. රැකියා ලක්ෂ ගණනින් අහිමි විය.

ආර්ථික විශේෂඥයන්ට අනුව සෑම වසර දහයකට වරක්ම ලෝක ආර්ථිකය යම් යම් අවප්‍රමාණයන්ට ගොදුරු වුවද කොවිඩ් වසංගතය හේතුවෙන් සිදුවූ හානිය සහ ඉදිරියේ මුහුණ දීමට ඇති අභියෝග තවමත් ගණනය කර හෝ නොමැති බව පැවසේ. එබැවින් ඉදිරි මාස කිහිපයේදී ආදායම් අහිමි වූ මිනිසුන් සහ අර්බූදකාරී ආර්ථිකයන් සහිත රටවල් ලොව පුරා කුසගින්න වර්ධනය කරනු ඇතැයි අනුමාන කෙ‍රේ.

 

2. අමෙරිකාවේ යෙලෝස්ටෝන් වනෝද්‍යානයේ ඕනෑම මොහොතක සිදුවිය හැකි ගිනිකඳු පිපිරීම

 

අමෙරිකාවේ අති සුන්දර යෙලෝස්ටෝන් වනෝද්‍යානය ගැන සැවොම අසා ඇතිවාට සැක නැත. සංචාරකයන් දහස් ගණනක ෙග් සිත් ඇද ගන්නා මේ වනෝද්‍යානය සුන්දර බිම්කඩක් වුවද එය පිහිටා ඇත්තේ මුළු ලෝකයම සුළු මොහොතකින් අක්‍රිය කර දැමිය හැකි තරමේ මහා ගිනි කන්දක් මතුයෙහිය. මේ ගිනි කන්ද ප්‍රමාණයෙන් කොතරම් විශාලද යත් එහි විශ්කම්භය කිලෝමීටර් සිය ගණනක් ලෙස දක්වා තිබේ. භූ විද්‍යාඥයන් සිදු කරන ලද වර්ගීකරණයන්ට අනුව මේ ගිනිකන්ද අයත් වන්නේ ‘සුපිරි ගිනිකඳු’ අතරටය.

මේ සුපිරි ගිනිකන්ද මේ වන විට සක්‍රිය මට්ටමේ පවතින අතර ඕනෑම මොහොතක පුපුරා යා හැකිය. ගිනිකඳු පිළිබඳ විශේෂඥයන් අනුමාන කරන අන්දමට මේ ගිනිකන්ද මීට පෙර මහා පිපිරුමක් සිදු කර ඇත්තේ අදින් වසර 6,30,000කට පෙරදීය. එහෙත් මේ වන විට යළිත් ගිනි කන්ද ඕනෑම මොහොතක විදාරණය විය හැකි බවට ලක්ෂණ පහළ වෙමින් තිබේ.

යම් හෙයකින් මේ යෙලෝස්ටෝන් ගිනිකන්ද විදාරණය වුවහොත් එමගින් අමෙරිකානු භූමියෙන් විශාල ප්‍රමාණයක් විනාශ වී යනු ඇති බවත්, එයින් නැගෙන දුමෙන් පෘථිවියේ තුනෙන් දෙකක පමණ අහස වැසී ගොස් වාතය විශාල ලෙස අපවිත්‍ර වීමෙන් එහි අතුරු බලපෑම් සමස්ත පෘථිවි වාසීන්ටම අත් විඳීමට සිදුවනු ඇති බවත් විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. කණගාටුවට කරුණ නම් මේ ව්‍යසනය ගෙවී යන ඕනෑම මොහොතක සිදුවීමට ඉඩකඩ පැවතීමය.

 

3. ඉන්දුනීසියාවේ ලේක් ටෝබා ගිනිකන්ද ඕනෑම මොහොතක පුපුරා යා හැකි වීම

 

ශ්‍රී ලංකාවට ගිනිකොන දිගින් පිහිටා ඇති දූපත් සිය ගණනකින් සමන්විත ඉන්දුනීසියාවේ එක් කොටසක් සුපිරි ගිනි කන්දක් මත පිහිටා ඇති බව ඔබ නොදන්නවා ඇත. එහෙත් ඉන්දුනීසියාවේ ටෝබා දූපත සම්පූර්ණයෙන්ම පිහිටා ඇත්තේ සුපිරි ගිනිකන්දක් මතය. භූ විද්‍යාඥයන් පවසන අන්දමට මේ ගිනිකන්ද මීට පෙර විදාරණය වී ඇත්තේ අදින් වසර හැත්තෑපන්දහසකට පමණ පෙරදීය. ඒ අනුව ගතවී යන ඕනෑම මොහොතකදී ටෝබා දූපත පුපුරා විනාශ වී ගොස් පෘථිවි ගෝලයෙන් බාගයක් ලාවාවලින් වැසී යෑමේ ඉඩකඩ පවතින බව භූ විද්‍යාඥයන් අනුමාන කර තිබේ. එය එසේ වන්නේ නම් ඉන්දියන් සාගරයේ ඉන්දුනීසියාවට තරමක් ආසන්නයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.

 

4. හවායි දූපත්හි සිදුවන  නායයෑම්වලින් ඇති විය හැකි මහා සුනාමි

 

හවායි දූපත් යැයි කී පමණින් අප මතකය නැගෙන්නේ සුන්දර වෙරළ තීරයක් සහිත දූපත් රැසකි. එහෙත් මේ දූපත් ගිනි කඳු හේතුවෙන් බිහිවූ අස්ථාවර දූපත්ය. පෘථිවි ගෝලය පුරා පිහිටා ඇති මෙවැනි දූපත් ඕනෑම මොහොතක බිඳ වැටීමට හැකි බව භූ විද්‍යාඥයන්ගේ අදහසයි. එවැනි බිඳ වැටීමකදී සාගරයට ඇද වැටෙන අති විශාල පස් කඳු හේතුවෙන් ඇති වන තෙරපුම නිසා මහා සුනාමි රළ පැන නැගී ආසන්න වෙරළ තීරයන්ට පහර දිය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. ‍ එවැනි මහා සුනාමි රළ පහරකින් අමෙරිකාවේ නැගෙනහිර වෙරළ සම්පූර්ණයෙන් සේදී යා හැකි බවට මේ වන විටත් අනතුරු අඟවා තිබේ.

 

5. අමෙරිකාවේ ශාන්ත ඇන්ඩ්‍රියා මහා විභේදනයේ ඕනෑම මොහොතක ඇති විය හැකි භූ කම්පන

 

මේ මහා කම්පන ඕනෑම මොහොතක ඇති විය හැකි බැවින් මෙය හැඳින්වීමට විද්‍යාඥයන් භාවිත කරන්නේ ‘ලොක්කා’ යන අර්ථය දෙන Big One යන වදනයි. ශාන්ත ඇන්ඩ්‍රියාස් භූ විභේදනය කිලෝමීටර් දහස් ගණනක් දුරට පැතිර පවතින්නේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ අඩක් වසා ගනිමිනි. මේ විභේදනයේ ඇතැම් තැන් කිලෝමීටර්යකටත් වඩා පළලින් යුතු වේ. මේ ප්‍රදේශයේ ඕනෑම මොහොතක රික්ටර් මාපක 8 ඉක්මවූ භූමි කම්පාවක් ඇති විය හැකි බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එසේ නම් කැලිෆෝර්නියාවේ අධික ජනගහනය සහ උසැති තට්ටු ගොඩනැගිලි ගැන දුක්වීමට සිදුවනු ඇත.

 

6. ඉදිරි දශකයේදී ඇති වේ යැයි අනුමාන කරන මහා සූර්ය කුණාටුව

 

සූර්යයා නොමැති නම් පෘථිමිය මත ජීවයක් නොමැති බව සැවොම දන්නා කරුණකි. එමෙන්ම එම ජීවය විනාශ කර දැමීමේ හැකියාවද සූර්යයා සතු වන බව අප දැන සිටියේ නැත. හිරුට ඇති කළ හැකි මහා කුණාටු එලෙස ජීවය විනාශ කර දැමීමේ ක්‍රම අතරින් එකක් පමණි. මෙහිදී ටොන් බිලියන ගණනක් බරැති වුම්භක බලැති ප්ලස්මාවක් නිකුත් කිරීමට හිරුට හැකියාව තිබේ. පෘථිවිය මෙවැනි ප්ලස්මාවක ඍජු ප්‍රහාරයට ලක් වූයේ නම් එය මිනිස් සංහතියේ පමණක් නොව පෘථිවිය මත ජීවයේ අවසානය වනු ඇත. ලොව පුරා ඇතැම් විද්‍යාඥයන් අනුමාන කරන්නේ ඉදිරි දශකය තුළ මෙවැනි සූර්ය කුණාටුවක් ඇති වීමට සියයට 12ක පමණ ඉඩක් පවතින බවයි.

 

7. සිරියානු අර්බූදය ගෝලීය අර්බුදයක් බවට පත්වේද?

 

කොවිඩ් හේතුවෙන් තාවකාලිකව යටපත් වුවද සිරියානු අර්බූදයට මේ දක්වා විසඳුමක් ලැබී නැත. ඇතැම් දෙනා අනුමාන කරන්නේ ලොව බලවත් රටවල් ක්‍රමයෙන් මේ අර්බූදයට අත දැමීමෙන් එය ගෝලීය අර්බුදයක් බවට පත් වීමට ඉඩ ඇති බවයි. එහෙත් කොවිඩ් වසංගතයෙන් පසු ලෝකය වෙනත් මගක ගමන් කිරීමට බෙහෙවින් ඉඩ ඇති බැවින් මේ ව්‍යසනය සිදුවීමට නම් ‍ඉඩකඩ මඳ බව පැවසිය හැකිය.

 

8. අමෙරිකා - චීන අර්බූදයක් ඇතිවේද?

 

කොවිඩ් පැතිරීමට පෙර අමෙරිකාව සහ චීනය සිටියේ අර්බූදයක පැටලීමට ඔන්න මෙන්න අවස්ථාවකය. වසංගතය හේතුවෙන් එය මදක් පසුවුවද, වසංගතය හේතුවෙන්ම එය වෙනස් ආකාරයකින් මතු වී ඒමට හැකි බවට සලකුණු පහළ වෙමින් තිබේ. මේ අර්බුදය කිනම් මුහුණුවරක් ගනු ඇතිදැයි අනුමාන කළ නොහැකිය. එය යුද්ධයක් හෝ වෙළෙඳ අර්බූදයක් හෝ මේ දෙකම හෝ දක්වා විය හැකිය. දැනට අමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සහ චීනයේ ප්‍රතිචාර අනුව මේ ව්‍යසනය සිදුවීමට නම් බෙහෙවින් ඉඩකඩ පවතින බව පැවසිය හැකිය.

 

9. යුරෝපා සංගමය බිඳ වැටේද?

 

විශාල ප්‍රයත්නයක් දැරීමෙන් පසු යුරෝපා සංගමයෙන් ඉවත් වීමට මේ වසර ආරම්භයේදී මහා බ්‍රිතාන්‍යයට හැකියාව ලැබිණි. ඒ සමගින් යුරෝපා සංගමය මහත් දෙදරීමකට ලක් විය. ප්‍රංශය, ඉතාලිය වැනි රටවලට එහි මුල් පුටුව හිමි වන බව පෙනුනද ඒ එකද රටක් හෝ යුරෝපා සංගමයට ශක්තියක් වීමට අසමත් බව පෙනේ. ඒ අනුව මේ වසරේදී යුරෝපා සංගමය බිඳ වැටීමට ලක් විය හැකි බවට පැවසෙන අනුමාන සත්‍ය වීමට බොහෝ ඉඩකඩ තිබේ.

 

10.කොවිඩ් වසංගතය යළි යළිත් හිස එසවීම

 

මේ වන විටත් කොවිඩ් දෙවැනි තුන්වැනි රැළි ඇතිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. එසේ වුවහොත් බොහෝ රටවලට තම ආර්ථිකයන් යළි යළිත් වසා දැමීමටත් විවෘත කිරීමටත් සිදුවනු ඇත. ඇතැම්විට බොහෝ මරණද වාර්තා වීමේ ඉඩක් පවතී. මේ වසරේ ඉදිරි මාස කිහිපයේදී මේ ව්‍යසනය සිදුවීමට විශාල ඉඩක් පවතින බවට විවාදයක් නැත.

Comments