
සකල ලෝවැසි සත්ත්වයාට මහා කරුණාවේ, මෛත්‍රියේ දැක්ම මැනවින් පසක් කරවූ ලොවුතුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා පරිනිවන් පෑම මහත් බැතියෙන් සමරනු ලබන අසිරිමත් වෙසක් පුන් පොහොයේ සඳරැස් ලක් දෙරණත සිපගනිමින් සිටියි. පුද්ගලයකුගේ ආධ්‍යාත්මික පරිශුද්ධත්වයට විසල් වටිනාකමක් අත් කර දෙන්නා වූත් ආර්ය අෂ්ටාංගික මාර්ගය හා අහිංසාවාදය මුල් කරගත් දැහැමි ජීවන දර්ශනයකට මඟ පෙන්වන්නා වූත් දැක්මක් බුදුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුළ ගැබ්ව පවතී. එයින් ලෝකෝත්තර ජීවිතයට මෙන්ම ලෞකික ජීවිතයටද අවැසි මඟපෙන්වීම අංගසම්පූර්ණව ලබා දෙන්නේ නවීන විද්‍යාව හමුවේද එකී ඉගැන්වීම් බැහැර කළ නොහැකි පරිද්දෙනි.
මේ ලෝකයේ ජීවත් වන අපට එහි පවතින යථාර්ථය මත ජීවත් වන්නට සිදු වෙයි. යුද ගැටුම්, සාගිනි, විපත් සේම ඉතා සාමකාමි සෞභාග්‍යවන්ත කාලවකවානුද පසු කරන්නේ මේ යථාර්ථයට අනුවය. බුදු රදුන් විසින් වදාරන ලද අෂ්ට ලෝක ධර්මයට අප කා හටත් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ අවනත වන්න සිදු වෙයි. මේ නිත්‍ය යථාර්ථය අනුව අපට නිසැකවම අභියෝගාත්මක වූත් අප ඇකැමැති වූත් අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙයි. එය වැළැක්විය නොහැක්කකි.
බුදුන් දෙසා වදාළ මේ අසිරිමත් දහමෙහි හරය වඩාත් සිතට ගත යුතු ප්රත්යක්ෂ කරගත යුතු කාලයකට අප මේ වන විට එළැඹ ඇත. කාගේ හෝ වරදකින් මේ දෙරණත පසුගිය සති කිහිපය තුළ ගිනියම්ව ගියේය. යම් උන්මත්තක භාවයක් කරා ගිය ඇතැම් ආගමික විශ්වාස සහිත මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් මොළය කුරුවලු කරගත් කිහිප දෙනකු නිසා රටේ පැවැති සාමය සහ සංහිඳියාවත් රටේ අහිසංක ජන ජීවිතයත් ඉකුත් මාසය පුරා දැවැන්ත බලපෑමකට ලක් විය. ඒ හේතුවෙන් මේ රටේ ජීවත් වන ප්‍රධාන ජාතීන් ත්‍රිත්වයේම ජනතාව මේ අර්බුදය මත පීඩා විඳින තත්ත්වයට පත්ව ඇත. වෙසෙසින් පසුගිය 21 වැනිදා පාස්කු ඉරිදාවේ ප්‍රහාරයෙන් වැඩිම හානියක් එල්ල වන්නේ සිංහල සහ දමිළ කිතුනු බැතිමතුන්ටය. මේ ප්‍රහාරවලට මුල් වන්නේ ඉස්ලාම් භක්තිකයන් බහුතරයක් නොපිළිගන්නා ඉස්ලාම් ආගමික අන්තවාදයෙන් ඔද්දල් වූ ත්රස්තවාදයයි. මේ දැවැන්ත ප්‍රහාරයෙන් ඇති වූ බිය-සැක තුරන් වී අදාළ ත්‍රස්තවාදි ජාලය කෙමෙන් දැලට හසු වද්දී දේශපාලනයෙන් උසිගන්වන ලද උමතු පිරිසක් වෛරි සහ හිංසාකාරි අරමුණින් යුතුව දියත් කළ ම්ලේච්ඡ ක්රියදාමය වෙසක් සඳරැසින් සිසිලනය වන්නට ගිය දේශයට උණුසුමක් එක් කළා වැනිය.
මෙය හුදෙක් නොදියුණු මිනිසුන් විසින් සිදු කරන ලද කෝපාන්විත ක්‍රියාවක් හමුවේ එකට එක කිරීමක් ලෙස පෙනෙන්නේ නැත. එසේ වී නම් එය සිදු වන්නට තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ දිනයේම හෝ ඊට පසු ගෙවුණු දින දෙක-තුන තුළදීය. එහෙත් එය සිදු වන්නේ මේ ප්‍රහාරය එල්ල වී සති දෙකකුත් ඉක්ම ගිය පසුවය. මෙසේ වී ඇත්තේ හුදෙක් වෛරී හැඟීම් අතික්‍රමණය කළ වෙනත් දේශපාලනික හෝ කුමන්ත්‍රණකාරි පිරිසක වුවමනාවට බව ඉතා පැහැදිලිය. විශේෂයෙන් වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇවිළුණු ඒ ම්ලේච්ඡත්වයේ ගිනි පසුපස සිට ඊට අවැසි අඩුම-කුඩුම සැපයූ අය දැන් කෙමෙන් හෙළි වෙමින් තිබේ. කාගේ අනුහසින් මේ ගිනි ඇවිළුණද අද ජාතියක් ලෙස අපට මේ සිදුවීම් හමුවේ ලෝකයෙන් මුහුණු වසාගන්නට තරමේ අපවාදයක් එල්ල වී ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් භක්තිකයන්ට හා ඔවුන්ගේ ආගමික නායකයන්ටද මෙරට ජනතාව හමුවේ දැඩි අපහසුතාවකින් සිටින්නට වූයේ ඔවුන්ගේ ප්‍රජාව නියෝජනය කරන එක්තරා උමතු පිරිසක් කළ ම්ලේච්ඡ ක්රියදාමය නිසාය.
කවුරුන් කවර අරමුණකින් මෙවැනි තිරශ්චීන ක්‍රියා සඳහා යොමු වුවද අවසාන වශයෙන් ඔවුන් කළ ප්‍රධාන කාර්ය දෙකක් තිබේ. එකක් නම්: මේ රටේ සමස්ත ජනතාව ලෝකය හමුවේ නින්දාවට ලක් කිරීමය. අනෙක: තවත් පිරිසක් ලෝකයටම මහත් හිසරදයක් වී ඇති ත්රස්තවාදයට තල්ලු කිරීමය; එසේ නැත හොත් එවැනි ත්‍රස්තවාදයකට පිවිසීම සමාජය හමුවේ සාධාරණීකරණය කිරීමකට පසුබිම නිර්මාණය කිරීමය. මෙයට අමතරව මෙකී ත්රස්තවාදයට උඩගෙඩි දෙන, ඔවුන්ට මූල්‍ය, අවි-ආයුධ සහ මතවාදිමය සහාය දෙන බාහිර කණ්ඩායම්වලට මෙබිම තුළ ඉඩ-කඩ වැපිරීමය. කවර දේශපාලන අභිලාශයක් වුවද සපිරෙන්නේ මේ අතිරේක ව්‍යසන ජාතිය හමුවේ නිරාවණය කිරීමෙනි.
කෙසේ වුවද අප සමාජයේ සැම දෙනකුම එකම අරමුණකින්, එකම අභිලාශයකින් හෝ එකම මානසික මට්ටමකකින් සිටින්නේ යැයි අදහස් කළ නොහැකිය. විවිධ මට්ටමේ මානසිකත්ව සහිත මේ මිනිසුන් විවිධ ආකාරයෙන් තම-තමන්ගේ මතවාද ක්‍රියාත්මක කිරීමට යත්න දැරීම අපට දැකිය හැකි තත්ත්වයකි. බුදු රජාණන් වහන්සේද තමන් අවබෝධ කරගත් ඒ විශිෂ්ට දහම එක් එක් පුද්ගලයාට අවබෝධ කරවීමේදී ඒ ඒ පුද්ගලයන්ගේ මානසික සහ බුද්ධි මට්ටම පිළිබඳ විනිශ්චයකින් යුතුව කටයුතු කර ඇති බව උන් වහන්සේගේ දේශනා විලාසය විමසීමේදී පෙනී යයි. මේ සමාජය හමුවේද එවැනි වූ සංවිධිත ස්වභාවයකින් වර්තමානයේ පවතින ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අවශ්‍ය වී ඇත.
කෙසේ වුවද අප එවැනි විසඳුම් සෙවිය යුතු වන්නේ මෛත්‍රිය පෙරදැරි කරගත්, නිවුණු සිතකින් ක්‍රියාත්මක වීමෙන් පමණකි. මේ උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ සමස්ත ලෝකයට බුදු දහමේ විශිෂ්ට හරය ප්‍රදර්ශනය කළ හැකි වන්නේද මේ මෛත්‍රී සහගත දූරදර්ශි ක්‍රියා පිළිවෙත වටා මෙරට සමස්ත බෞද්ධයන් ඒකරාශි වීමෙන් පමණකි. එයම ඒ මහා ශාස්තෘවරයාණන්ට කරනු ලබන උත්තම පූජාව වනු නිසැකය.