
සහශ්‍ර දෙකකට අධික කාලයක් අවිච්චින්නව රැකගත් ශ්‍රී ලංකාවේ නිදහස් පාලනය 1815 මාර්තු මස 02 වැනි දින මහනුවර මඟුල් මඩුවේදී කියවා ප්‍රකාශ කරන්නට යෙදුන දැන්වීම් පත්‍රය අනුව අහෝසි වී ගියේය. එම දැන්වීම් පත්‍රයේ සඳහන් වගන්තිවලට ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් හා උඩරට රදළවරු අත්සන් කිරීමෙන් පසුව නිර්මිත වූ උඩරට ගිවිසුමෙන් මහා බ්‍රිතාන්‍යයේ රජු ශ්‍රී ලංකාවේ උඩරට ප්‍රදේශවල ද රජු ලෙස පිළිගන්නා ලදී.
ඇතැම් දේශීය හා විදේශීය ඉතිහාසඥයන් විසින් මහා පාවාදීමක් ලෙස සඳහන් කරන මෙම ගිවිසුම එසේ අවඥාවට ලක් කළ හැකි ලියැවිල්ලක් ද යන්න විමසා බැලිය හැක්කේ තත්කාලීනව ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීම් අපක්ෂපාතීව විමසිල්ලට ලක් කිරීමෙනි.
උඩරට වාතාවරණය
වර්ෂ 1815 පමණ වන විට උඩරට ගොඩනැගී තිබුණ වාතාවරණය ආරම්භ වන්නේ නායක්කර්වරුන් උඩරට සිංහාසනයට පත්වූ තැන් සිටය. පුරාණයේ ඇතැම් සිංහල රජවරු තමා සූර්ය වංශයට අයත් බව හුවා දැක්වීමට ඉන්දියාවෙන් කුමාරිකාවන් ගෙන්වා සරණ පාවා ගත්හ. කලක් යටපත් වී තිබුණ මෙම සිරිත යළි පණ ගන්වන ලද්දේ ක්‍රි.ව. 1604 – 1635 රජ කළ සෙනරත් රජු ය. හෙතෙම තම පුතාටත් ඉන්දියාවෙන් කුමාරියක් ගෙන්වා සරණ පාවා දෙන ලදී. ඒ අනුව යමින් දෙවන විමලධර්මසූරිය, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ යන රජවරුන් මධුරාපුරයෙන් කුමාරිකාවන් ගෙන්වා සරණ පාවා ගත්හ.
ලංකාවේ රජ කළ අන්තිම සිංහල රජතුමා වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට මධුරාපුරයෙන් ගෙන්වා සරණ පාවා ගත් ‘උදුමලේ’ දේවියටත් ඇගේ සොහොයුරියන් දෙදෙනාටවත් පුත්‍ර ලාභයක් නොවූයෙන් නායක්කාර් සිරිත අනුව රජතුමා සිය බිසවගේ සොහොයුරාට සිංහාසනය නම් කොට මිය ගියේ ය. ඒ අනුව එතුමාගෙන් පසු රජ වූයේ ශ්‍රී විජය රාජසිංහ රජු ය.
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් ඇසුරු කොට වැඩුණු හෙතෙම සිය බිසවද පිරිවර ද සමඟ බුද්ධාගම වැලඳ ගන්නට යෙදුණ හෙයින් රට වැසියෝ සතුටට පත් වූහ. උඩරට සිංහලයන්ට රජු හෙළ සිරිතට පාලනය කරන හා බෞද්ධ සිරිත් විරිත් පිළිපදින අයෙක් නම් ඔහුගේ ජනවාර්ගික පදනම කුමක් වුව ද එතරම් කරුණක් නොවීය. එහෙත් නායක්කර් රජවරු බිසෝවරුන් මධුරාපුරයෙන් ගෙන එන විට ඔවුන් සමඟ විශාල ඥාති සමූහයක් ද මෙරටට පැමිණි නිසා රජවාසල බලතල ඔවුන්ට අයත් වූවාක් මෙන් ම පදිංචියට මහනුවර විශාල ප්‍රදේශයක් වෙන් කිරීමට ද සිදුවිය. ඒ අනුව ‘කුමරුප්පේ වීදිය (මලබාර් වීදිය) ඔවුන්ටම අයත් වූවක් විය.
මෙලෙස බලවත් වූ නායක්කර්වරු සිංහලයා ගැණ නොසලකා කටයුතු කළහ. මේ නිසා කන්ද උඩරට ජනයා පරිහානිය කරා ගමන් කළ නමුත් රජතුමාට හා ඔහුගේ නෑයන්ට සැපසේ ජීවත්විය හැකි විය. ඇතැම් නායක්කර්වරු මහනුවර සිටි සිංහල රදලවරුන්ගේ ඉඩ කඩම් හා බඩු මුට්ටු උකසට ගැනීමේහිද මුදල් පොලියට දීමෙහි ද නිරත වූහ. මේ නිසා ඔවුන්ට සාරවත් ඉඩකඩම් හිමි කර ගැනීමේ අවස්ථාව සැලසුණි. මේ ආදිය නිසා සිංහලයන් තුළ නායක්කර්වරු කෙරේ ඇති වූයේ වෛරයකි.
නායක්කර්වරුන්ගේ බලපෑම් රජවාසල සිරිත් විරිත් වෙනස් කිරීමට ද බලපෑවේ ය. මේ පිළිබඳව ප්‍රකට ඉතිහාසඥයකු වන ඇස්. ජී. පෙරේරා පියතුමා සඳහන් කොට ඇත්තේ මෙසේ ය. “නායක්කර්වරුන් බලපෑම රජවාසල සිරිත් විරිත් වෙනස් කිරීමට පමණක් සීමා නොවී ය. සිංහාසන උරුමයට තරම් ඔවුහු බලවත් වූහ. මෙතෙක් සිංහල සිංහාසනය පිළිබඳ අයිතිය තීරණය කරන ලද්දේ උරුමය. තෝරා පත්කර ගැනීම යන කරුණු දෙක හා බැඳුන ක්රමයකිනි. ස්වර්ගස්ථ රජුගේ කිට්ටුම ඥාතියා සතු සිංහාසනය පිළිබඳ උරුමය මහජන අනුමැතියෙන් තහවුරු වූයේ ය.
යථෝක්ත අනුමැතිය ප්‍රකාශ කෙරුණේ මැති ඇමැතින්ගේ මාර්ගයෙනි. සමහර විට ඔවුන්ගේ කැමැත්තට අනුකූලව තමාගෙන් පසුව රජකම ලැබිය යුත්තා රජු විසින් නම් කරන ලදී. මේ පත් කිරීම සම්බන්ධයෙන් වැසියන් සිය කැමැත්ත අප්‍රමාදයෙන් පළ කළ යුතු විය. මේ දෙයාකාරයෙන් ම රජ කිරුළ පැවරුණේ රජුගේ ලේ නෑයෙකුට ය. එහෙත් මේ උරුම විදියෙහි වැදගත් වෙනසක් නායක්කර්වරුන් විසින් ඇති කරන ලද්දේ ය. යම්කිසි රජෙකුට සහජාත පුතෙකු හෝ දුවක නොවූ කල්හි සිහසුන රජුගේ බිසවගේ සොහොයුරාට පැවරිය යුතු බව ය.”
රාජාධි රාජසිංහ රජතුමාට ද බිසෝවරු පස් දෙනෙක් ම සිටි නමුත් ඔවුන්ට දරු ඵල නොවූහ. පළවෙනි හා තුන්වෙනි බිසෝවරුනට සහෝදරයන් හත් දෙනෙක් වූහ. මෙයින් රජකමට සුදුස්සා වූයේ මුත්තුසාමි ය.
මේ වනවිට මහත් බලයකින් සිටි පිලිමතලව්වේ මහ අදිකාරම්තුමා මේ අවස්ථාව නායක්කර් වංශිකයන්ගෙන් සිංහල සිංහාසනය බේරා ගැනීමට මේ හොඳ අවස්ථාවකැයි කල්පනා කළත් රජකමට පත්වන තැනැත්තා රාජවංශිකයෙකු ම විය යුතු යැයි සම්මතයක් පැවැති නිසාත්, ඔහුට විරුද්ධව නිලමේවරු පිරිසක් සිටි නිසාත්, මේ අදහස අතහැර “ අප කියන දෙයකට කැමති වන රට විනාශයකට පත් නොකරන කෙනෙක් රජතුමා වශයෙන් පත් කර ගනිමු” යයි රදළවරුන් සහ මහා සංඝයා සමඟ කතිකා කොට දහ අට හැවිරිදි කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජකමට පත් කර ගත්තේ පසුව මෙම කුමරු රජ පදවියෙන් ඉවත් කොට සිංහල රජ පෙළපත උඩරට සිහසුනට පත් කර ගැනීමේ බලාපොරොත්තු ඇතිව ය.
පසුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්තනෝමතික ලෙස කටයුතු කළ නිසා පිළිමතලව්වේ රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළේ ය. ඔහු ඉංග්‍රීසින් සමඟ සබඳතා පැවැත්වූයේ ඉංග්‍රීසීන්ගේ ආධාරයෙන් සිංහල රජ පෙළපතක් ඇති කිරීමට ය. පිළිමතලව්වගේ යටි කූට්ටු වැඩවලට රජතුමා වරක් සමාව දුන් නමුත් දෙවන වර 1811 දී ඔහුගේ හිස ගසා දැම්මේ ය. ඔහුගෙන් පසු මහ අදිකාරම් ධූරයට පත්වූයේ ඇහැලේපොල ය. ඔහු ද නායක්කාරවරුන්ගේ සිංහල පාලනය මුදාගෙන සිංහල රජ පෙළපත බිහි කිරීමේ අභිලාෂයෙන් කටයුතු කළේ ය. උඩරට රදලවරු බොහොමයක් ඇහැලේපොලට පක්ෂපාතව කටයුතු කළ නමුත් ඔහුට විරුද්ධ අය ද වූහ. රදළවරු දෙපිල බෙදී එකිනෙකාට විරුද්ධව කේලම් කීමට වන්හ. මේ නිසා රටේ අභ්‍යන්තරය අතිශයින් ම සංකාකූල විය. මේ තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ ජෝන් ඩොයිල් ය.
ඩොයිලිගේ කුමන්ත්‍රණය
ඇහැලේපොළ විවාහ වී සිටියේ පිළිමතලව්වේගේ සහෝදරියගේ දියණිය සමඟ ය. ඔහු මහ අධිකාරම් ධූරයට පත් කරන ලද නමුත් පිළිමතලව්වේගේ අභිලාෂය ඔහු තුළින් තිබුණි. එබැවින් හෙතෙම ද බ්‍රිතාන්‍යයන් සමඟ රහසිගත සාකච්ඡාවල යෙදුණේ ය. මේවා සැලවීමෙන් රජු ඇහැලේපොල සමඟ උරණ වී හෙතෙම සබරගමුවේ සිට මහනුවරට කැඳවූ නමුත් ඊට කීකරු නොවූ ඇහැලේපොල 1814 මාර්තු මාසයේදී සබරගමුවේ වැසියන් ලවා කැරැල්ලක් ඇති කරවීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දෙවැනි අධිකාරම් වූ මොල්ලිගොඩ ප්රමුඛ සේනාවක් සබරගමුවට යවා ඇහැලේපොල අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ නමුත් ඇහැල්පොල සබරගමුවෙන් කළුතරට ගොස් පසුව කොළඹට පැමිණ ඉංග්රීසින්ගේ රැකවරණ ලැබීය. එහෙත් ඇහැලේපොලගේ බිරිය සහ දරුවන් රජුගේ ග්‍රහණයට අසු විය. ඔවුන් 1814 මැයි 17 වැනි දින කෲර ලෙස ඝාතනයට ලක් කරන ලදින් මුළු උඩරට ජනතාව තුළම රජු කෙරේ මහත් වෛරයක් ඇති විය. මේ තත්ත්වයට රජු පත් කිරීමට කටයුතු කළේ ද ජෝන් ඩොයිල්ම ය. 1811 දී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන පළාත්වල ආණ්ඩුකාර ධූරයට පත්ව ආ ශ්‍රීමත් රොබට් බ්රවුන්රිග් ජෝන් ඩොයිල්ට පැවැරූයේ සිංහලේ කටයුතු පිළිබඳ චර පුරුෂ සේවයයි. තෙන්නකෝන් විමලානන්ද මහතා සඳහන් කරන පරිදි ඔහුගේ චරපුරුෂ සේවය කාර්ය කිහිපයකට අයත් විය. ඒවා මෙසේ ය.
1. රජුට විරුද්ධ වැදගත් උඩරට ප්‍රධානීන් නිසැකව දැනගෙන ඔවුන්ට අනුබලදීම.
2. රජුට පක්ෂපාත නිලමේවරුන් නිසැක ලෙස දැක ඔවුන්ගේ බල බිඳීම.
3. මුළු සංඝ සංහතියටම අනුග්‍රහ දක්වා ඔවුන්ගේ ආධාර ලබාගැනීම.
4. මුහුදුබඩ පළාත්වල සිට මහනුවර කරා වැටී ඇති විවිධ මාර්ග සොයා ගැනීම.
5. ඈත පෙදෙස්වල කැරලි ඇති කිරීම.
6. සිංහලේ පළාත්වල ප්‍රධාන පවුල් අතර පැවති තරග හා විරෝධතා සොයා ගැනීම.
7 රජුගේ සේනා බලයද ආහාරපාන, යුද්ධායුධ, වෙඩි බෙහෙත් ආදිය ද පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
8. හදිසි අවස්ථාවන්හි රජුගේ වස්තුව සගවන තැන් දැන ගැනීම.
9. යුද්ධ කාලවලදී රජු සැඟවී සිටින තැන් විමසා බැලීම.
10. අන්තිම වශයෙන්එහෙත් අගයෙන් අන්තිම නොවූ සෑම වර්ගයකටම අයත් බ්‍රිතාන්‍ය මත්පැන් නොයෙක් ක්‍රමවලින් රජුට යැවීම යන කාර්යයන්ය.
ජෝන් ඩොයිලි මෙරට බ්‍රිතාන්‍ය පාලනයට හවුල්වූ සිවිල් සේවකයෙකු වුව ද ඔහු එකල සිවිල් සේවකයන්ට පනවා තිබූ රෙගුලාසියක් වූ දේශීය භාෂා ඉගෙනීමට මහත් රුචියක් දැක්වීය. කරතොට ධම්මාරාම මොරතොට ධම්මබන්ධ යන උගත් ස්වාමීන් වහන්සේලාගෙන් සිංහල භාෂාව උගත් ඩොයිලි සිංහල සංස්කෘතිය මනාව හදාළේ ය. සිංහල පාලන ක්‍රමය පිළිබඳව මනාව හදාරා සිටි ඔහුගේ දැනුම ප්‍රයෝජනයට ගැනීමට සිතූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා උඩරට රාජ්‍ය ජය ගැනීමේ කූටෝපායන් සැකසීම මේ ලෙස ඔහුට බාරදෙන ලදී. ජෝන් ඩොයිලි මෙය අකුරටම ඉටු කළේ ය.
බේබදු රජතුමා
උඩරට රජු රදළවරුන්ගෙන් බිඳුවා අමනාප කිරීම ඔහු පළමුවෙන් කරන ලද කාර්යයයි. රදළවරු තමාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ යයි කෝපයට පත් රජු නිතරම මරණ බියෙන් යුක්තව දිවා රෑ ගත කළේ ය. එම නිසා ම ඔහු නින්ද නොයාමේ රෝගයෙන් පෙළෙන්නට විය. මෙලෙස බලවත් මානසික අසහනයෙන් පෙළුන රජු ඊට ප්‍රතිකාර ලෙස මධ්‍යසාරයට ඇබ්බැහි විය.
බ්‍රිතාන්‍ය හමුදා උඩ රටට කඩා වැදී රජ මාලිගය හාරා අවුස්සා බලන විට යුරෝපයේ සාදන ලද ‘හොෆ්මන්ගේ රතු බ්‍රැන්ඩි’ හිස් බෝතල් විශාල ප්‍රමාණයක් හමුවී ඇත. ජෝන් ඩොයිලි චරපුරුෂයන් මගින් මෙම මත් පැන් රජවාසලට යවන ලදී. තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා ඩොයිලි මාර්ගයෙන් තෑගි ලෙස රජු වෙත මධ්‍යසාර යැවූ බව ප්‍රසිද්ධය. අවසානයේ ඉංග්‍රීසින් කළේ කෲර රකුසෙකු ලෙසින් දිසි රජුගෙන් සහ ඔහුගේ මල්බාර් ඥාතීන්ගෙන් සිංහල දේශය මුදාගෙන මෙරට දැහැමෙන් සෙමින් පවත්වාගෙන යාමට උපකාරි වන බවට පොරොන්දු වීමයි.
උඩරට ආක්‍රමණය
මෙලෙස වාතාවරණය සකස් කිරීමෙන් පසු උඩරටට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සොයමින් සිටි ඉංග්‍රීසීන්ට පහතරට සිට උඩරටට වෙළෙඳාමේ ගිය සිංහල වෙළෙඳුන් 10 දෙනෙකුට චර පුරුෂයන් ලෙස සලකා මහනුවරට ගෙන ගොස් වද දී නැවත මුහුදු බඩ පළාත්වලට යැවීමේ සිද්ධිය මහඟු අවස්ථාවක් විය. මේ අතර උඩරට රජුගේ සේනාව සබරගමුවේ කැරලිකරුවෝ කීප දෙනෙක් බ්‍රිතාන්‍ය ප්‍රදේශවලට පලවා හරින ලද නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා 1814 ඔක්තෝබර් 01 වැනි දින උඩරට රජුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේ ය. 1815 ජනවාරි 10 දින ඔවුන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම ආක්‍රමණය පීඩාවට පත් උඩරට ජනතාව වෙනුවෙන් කරනු ලබන්නක් බව ය. සිංහල විශ්ව කෝෂයේ මෙම තත්ත්වය දක්වන්නේ මෙසේ ය.
“රදල ප්‍රධානීන්ගේ ආරාධනයෙන් මෙෙහයුම ලද බ්‍රිතාන්‍ය මහ රජාණන් වහන්සේගේ හමුදාවෝ මහ ජනතාව විසින් ජය ඝෝෂා නාදය මැද පිළිගනු ලැබීමෙන් උඩරට රාජ්‍ය ප්‍රදේශයට ඇතුළුව රාජධානියට වැදගත්හ” යනුවෙන් උඩරට රාජ්‍ය අයත්කර ගැනීම පිළිබඳ නිල නිවේදනයෙහි එන ප්රාරම්භක වාක්‍යයෙන් ඉංග්‍රීසීන් උඩරට රාජ්‍යයේ හිමියන් බවට පත් වූයේ සතුරු ජාතියකට විරුද්ධව කළ ආක්‍රමණයක ප්‍රතිඵලයක් වශයෙන් නොවන බව ද රදළ ප්රධානීන්ගේත් මහ ජනතාවගේත් වුවමනාව ඉල්ලීම හා කැමැත්ත පිට බව ද පැහැදිලිව පෙනී යයි.
මේ ලෙස බාධා රහිතව උඩරටට පැමිණි බ්‍රිතාන්‍ය සේනා 1815 පෙබරවාරි 12 වැනි දින මහනුවරට ඇතුළු විය. ඔවුන් මහනුවරට යනවිට එහි මිනිස් පුළුටක්වත් දක්නට නොලැබුණ බවත් නගරයට ගිණි තබා තිබුණ බවත් වෛද්‍ය හෙන්රි මාර්ෂල් සඳහන් කර ඇත.
මහනුවරින් පලා ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හා බිසෝවරු මැද මහනුවර බෝමුරේ උඩුපිටියේ ආරච්චිගේ නිවසේ සැඟවී සිටියදී එක්නැලිගොඩගේ පිරිස විසින් 1815 පෙබරවාරි 18 වැනි දින අල්ලා ගන්නා ලදී. එම අය රජුට සහ බිසෝවරුන්ට හිරිහැර කරන විට ඔවුන් සමඟ ගිය ඩයස් තෝල්ක මුදලි රජු සහ බිසෝවරු තමා බාරයට ගෙන ඩොයිලි වෙත බාර කළේ ය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමෙන් පසු උඩරට ප්‍රදේශ පාලනය පිළිබඳ සම්මතයක් ඇති කිරීමට කටයුතු සංවිධානය කරන ලදී. මෙය බාර වූයේ ජෝන් ඩොයිලිට ය. ඔහු උඩරට ගිවිසුමේ ඇතුළත් විය යුතු වගන්ති කෙටුම්පත් කළ බව තම දින පොත සඳහන් කර ඇත. මෙම ගිවිසුම සකස් කිරීමේදී උඩරට රදළවරුන්, අස්ගිරි විහාරයේ අනුනායක සුදුහුම්පොල විහාරාධිපති වාරියපොල සුමංගල හිමියනුත්, ජෝන් ඩොයිලිත් අතර විවාදාපන්න සාකච්ඡා සිදුවූ බව ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛණ්ඩ හිමියෝ සිය ‘හෙළ රජ කිරුළ දළදා වහන්සේ හා වාරියපොල මාහිමි” නමැති කෘතියේ සඳහන් කරති.
එහි සුමංගල හිමි මෙසේ පැවසූ බව සඳහන් වේ. “දැන් මේ තීරණාත්මක අවස්ථාවේ අප විසින් අපේ සිරිත් විරිත් ආගම ආරක්ෂා වන අන්දමින් අත්සන් සහිත ලිඛිත පොරොන්දුවක් ඉංග්‍රීසීන්ගෙන් ලබාගත යුතු ය. එවැනි පොරොන්දුවකට අත්සන් කරන තුරු ඔවුන්ගේ ඉංග්‍රීසි කොඩිය ඔසවන්නට කෙසේවත් ඉඩ දිය යුතු නොවේ” යනුවෙනි. එබැවින් ඩොයිලිට උඩරට සම්මුතිය සකස් කිරීමේදී එම කරුණු ඉවතලිය නොහැකි විය.
වාරියපොල සුමංගල හිමි ඉංග්‍රීසි කොඩිය බිම දැම්මා ද?
ක්‍රි.ව. 1815 මාර්තු 02 දින පස්වරු 4.00 ට මහනුවර මඟුල් මඩුවට රැස්වූ සිංහල ප්‍රධානීන් ඉදිරිපිට මෙම සම්මුතිය සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කියවා සිංහල ප්‍රධානීන්ට සහ වැසියන්ට පැහැදිලි කර දෙන ලදී.
එම ගිවිසුම වගන්ති 12 කින් සමන්විත විය. වගන්ති පැහැදිලි කර දුන් පසු ඉංග්‍රීසි කොඩිය උඩරට රජ මාලිගා භූමියේ ඔසවන ලදී. එම අවස්ථාවේ අභීතව නැගී සිටි වාරියපොල සුමංගල නාහිමි ඉංග්‍රීසි කොඩිය බිම හෙලූ පුවත සත්‍යයක් යයි පිළිගැනීමට අපේ ඇතැම් ඉතිහාසඥයන් මැලි වන්නේ එදා හැම සිද්ධියක් ම සටහන් කළ ජෝන් ඩොයිලි එවැනි සිද්ධියක් සිදුවූ බව සඳහන් නොකරන නිසා ය. ජෝන් ඩොයිලි මෙම සිද්ධිය වාර්තා කර නොමැත්තේ ඉංග්‍රීසි ජාතිකයෙක් වන ජෝන් ඩොයිලි ඉංග්රීසිනට මදි පුංචිකමක් වන සිද්ධියක් ඉතිහාසයට එකතු කිරීමට දැක්වූ අකැමැත්ත නිසා යැයි සිතිය හැකි බව පෙනේ. එසේ ම එම සිද්ධිය ගැන තත්කාලීන ලේඛනයක සටහනක් උපුටා දක්වන තුඹුල්ලේ සීලක්ඛණ්ඩ හිමියෝ එම සටහන අධිනීතිඥ වෝල්ටර් විමලචන්ද්‍ර මහතා ළඟ තිබූ පැරණි පුස්කොළ පොතකින් උපුටාගත් බව ද දක්වති. එම සටහන මෙසේය.
“බුද්ධ වර්ෂ දෙදහස් තුන්සිය පනස් අටේ නවම් මස පුර නවවක ලත් සෙනසුරාදා රෙහෙනේ නැකතින් රෑ වට තුන් පැයත් තියා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ඉංග්‍රීසීන්ට බාරදී ගිවිසුන් ලියාගෙන රාජ්‍ය බාර දුන්නාය. ගිවිසුමට අත්සන් තබන්නට පෙර ඉංග්‍රීසි කොඩිය ඇදපු තැනේදී වාරියපොළ නායක ස්වාමීන් වහන්සේ එය ඇද බිම දමා පාගාගෙන අස් කළ තැනේදී ඉංග්‍රීසි කොඩිය අදින්ට ඉඩ දුන්නාය. සිංහල කොඩිය බෑවා ය. එවෙලාවේදී දළදා වහන්සේ වාරියපොල නායක ස්වාමීන් වහන්සේ ළඟ තිබුණා ය. රට බාරදී දළදා වහන්සේ ගෙන දඹුලු කැලේ වැඩ සිටින ප්‍රස්ථාවේදී නව පැය වේලාවට අහර පූජාවට යමක් නැතිව සිටින ප්‍රස්ථාව... ගිරවකු විසින් ඒ ඉදිරිපිට දැමූ මී අඹ ඵලයෙන් පූජාව සිද්ධකර තමන් වහන්සේත් වැළැඳුවාය... දළදා වහන්සේ නැතුව සංඝයා සිර බාරයට ගෙන සිටින ප්‍රස්ථාව අන්තරාවක් නොවන බව දැන වදාරා බාර දුන්නා ය... සිඩම්”
මේ සමයේ දළදා තේවාව බාරව සිටියේ වාරියපොල සුමංගල හිමියන් ය. උන්වහන්සේ 1818 උඩරට කැරැල්ල අවස්ථාවේ දළදාව සඟවාගෙන කැලෑවැදී සිට පසුව එය ඉංග්‍රීසීන්ට බාරදීම පිළිබඳවත් සඳහන් වේ. මෙම ලේඛනයේ භාෂා විලාශය ගැන බැලුවත් එය තත්කාලීන ලේඛනයක් බව පැහැදිලි වේ.
වාරියපොල හිමියන්ට ඉංග්‍රීසි ආණ්ඩුව නඩු පැවරූ අවස්ථාවේ උන්වහන්සේට නැගූ චෝදනාව වූයේ 1818 කැරැල්ලේදී දළදාව මාළිගාවෙන් සොරකම් කරගෙන ගොස් කැරැලිකරුවන්ට එකතුවීමයි. ඉංග්‍රීසි කොඩිය බිම දමා පෑගීම පිළිබඳ චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වූයේ ගිවිසුම අත්සන් කිරීමට පෙර කොඩිය එසවීම ඉංග්‍රීසි භටයන් කළ වරදක් බව ඔවුන් දැන සිටි නිසා විය හැක.
ගිවිසුමේ වගන්ති
මෙහි මුලින් සඳහන් කළ පරිදි 1815 මාර්තු 2 දින ප්‍රකාශයට පත් කෙරුණ උඩරට ගිවිසුම වගන්ති දොළසකින් සමන්විත විය. එම වගන්ති 12 හේ සාරාංශය මෙසේ ය.
01. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහාසනයෙන් නෙරපා හරිනු ලැබ
02. ඔහුට හෝ ඔහුගේ ඥාති පරපුරට අයත් හැමටම සිංහාසනය පිළිබඳ ඇති අයිතිය අවලංගු කරනු ලැබේ.
03. රජුගේ ඥාතීන් සියලු දෙනා (පිරිමි) ලක්දිවින් පිටමං කළ යුතුය.
04. බ්‍රිතාන්‍ය මහ රජු සිංහල රාජ්‍යයේ ස්වාමියා වශයෙන් මෙතැන් සිට පත් කර ගනු ලැබේ. බ්‍රිතාන්‍ය රජතුමා ආණ්ඩුකාර තැනගේ මාර්ගයෙන් රට පාලනය කළ යුතු ය.
05. බුද්ධාගමට හානි වන කිසිවක් නොකොට ආගම ආරක්ෂා කළ යුතු ය. සංඝයා වහන්සේලා ද ආගමික වතාවත් ද විහාරස්ථානය ද ආරක්ෂා කරනු ලබන්නාහ.
06. අත්පා කැපීමාදී කෲර දඬුවම් සියල්ල අවලංගු කළ යුතු ය.
07. යම් කිසිවෙකු මරණ දඬුවමට භාජනය කළ හැක්කේ ආණ්ඩුකාර තැන විසින්
08. සිංහල රාජ්‍යයේ සිවිල් නඩු හා අපරාධ නඩු චිරාගත නීති හා චාරිත්‍ර ධර්ම අනුව සිංහල නිලධාරීන් විසින් විසඳීම කළ යුතු ය. අවශ්‍ය වුවහොත් ඒ නඩුවලට මැදිහත්වීමේ අයිතිය ඉංග්‍රීසි ආණ්ඩුව සතු ය.
09. සිංහල රාජ්‍යයට අයත් නොවන පහත රට සිංහලයන් පිළිබඳ නඩු ඉංග්‍රීසි නීතිය අනුව විසඳනු ලැබේ.
10. තුන් කෝරලය, සතර කෝරලය හා සබරගමුව පමණක් ඉංග්‍රීසීන් විසින් ඈදාගත් බවට මුලින් කළ ප්‍රකාශය අවලංගු කරනු ලැබේ.
11. බ්‍රිතාන්‍ය රජතුමාගේ නාමයෙන් ආණ්ඩුව නඩත්තු කිරීමේ කටයුතු සඳහා අයබදු අය කරනු ලැබේ.
12. නිදහස් ලෙස දෙරට අතර වෙළඳාම් කිරීමේ පහසුකම් ආණ්ඩුකාර තැන විසින් සලස්වනු ලැබේ.
උඩරට ගිවිසුම ප්‍රකාශයට පත් කළේ 1815 මාර්තු මස 2 වැනි දින වුවත් එයට අත්සන් කළේ මාර්තු මස 10 වැනි දිනදී ය. එදින ඉංග්‍රීසි පක්ෂය වෙනුවෙන් ශ්‍රීමත් රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරතුමා ද සිංහල පක්ෂය වෙනුවෙන් මොල්ලිගොඩ (ප්‍රථම අධිකාරම් හා සත්කෝරලේ දිසාව) පිළිමතලව්වේ (දෙවැනි අධිකාරම් සහ සබරගමුවේ දිසාව) මොනරවිල කැප්පෙටිපොල (ඌවේ දිසාව) රත්වත්තේ (මාතලේ දිසාව) මොල්ලිගොඩ (තුන් කෝරලේ දිසාව) දුල්ලෑව (වලපනේ දිසාව) මිල්ලෑව ( බින්තැන්නේ දිසාව) සහ ගලගම (තමන්කඩුව දිසාව) යන අය එදින අත්සන් කළහ.
ඇහැලේපොල මාර්තු 3 සිට 11 දින දක්වා අසනීපයෙන් පසුවූ බව ඩොයිලි සිය දින පොතේ සඳහන් කර ඇත. සිංහල පක්ෂයේ ප්‍රධානීන් තිදෙනෙකු වන ඇහැලේපොල ගලගොඩ (නුවර කලාවියේ දිසාව) සහ පිළිමතලාව (සතර කෝරලේ දිසාව) යළි හමුවූයේ මාර්තු 18 වැනි දින බව ඩොයිලි සඳහන් කරයි. එම අය ගිවිසුමට අත්සන් කළේ එදින බව ඩොයිලි දක්වයි.
ඇහැලේපොළගේ අස්සන
ගිවිසුමේ දැක්වෙන ඇහැලේපොලගේ අත්සන ඇහැලේපොලගේ වෙනත් ලියවිලිවල සඳහන් අත්සනට වඩා වෙනස් ය. එසේ වීමට හේතු ලෙස විවිධ අය විවිධ මත දක්වයි. මෙහි අත්සන් ගැන ප්‍රකට ඉතිහාසඥයකු වන පෝල් ඊ. පීරිස් මහතා සඳහන් කර ඇත්තේ මෙසේ ය.
“භාෂා දෙකෙන් ම පැහැදිලි පිටපත් දෙක බැගින් පිළියෙල කිරීමට සිදුවූ නිසා ලේඛනයට අත්සන් කිරීමට දින කීපයක්ම ගතවිය.
සිංහල අත්සන් කරුවන් වූයේ අතරතුර විරාමයේදී බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙන් පත්වීම් ලැබූ මහ දිසාපතිවරු හතර දෙනෙකුත් සුළු දිසාපතිවරු සය දෙනෙකුත් සහ මාර්තු 18 දින තම අත්සන ස්ථාපිත කළ ඇහැලේපොල දිසාවත් යන අය වෙති. යකඩ කූරක ආධාරයෙන් තල්පතක ලිවීමට පුරුදුව සිටි මේ පිරිසට පාත්තයෙකුගේ පිහාටුවක් තීන්තවල ඔබා කොළයක ලිවීම නුහුරු අත්දැකීමක් විය.
මොණරවිල, ගලගම සහ ගලගොඩ යන තිදෙනා සිංහල අක්ෂර යෙදූ අතර සෙසු අය සිංහල හා දෙමළ භාෂාවනට බොහෝ සමානකම් තිබෙන පසු කාලීන සමයේ රාජ්‍ය තන්ත්රයේ විලාසිතාවට පත් ‘ග්‍රන්ථෙ’ අකුරු භාවිතා කළහ.
‘ග්‍රන්ථෙ’ අක්ෂර ගැන පරණවිතාරණ මහතා සඳහන් කොට ඇත්තේ ‘ග්‍රන්ථෙ’ භාෂාවක් නොව එක් අතකින් දෙමළ අකුරුවලට ද අනෙක් අතින් සිංහල අකුරු වලට ද සමානකම් ඇති අකුරු ලිවීමේ ක්‍රමයක් කියා ය. උඩරට සමහර ප්‍රධානීන් දෙමළෙන් ගිවිසුමට අත්සන් කළේ යයි අවඥාවෙන් බලන අයට මෙය හොඳ පිළිතුරකි. ඔවුහු ගිවිසුමේ වැදගත්කම ගැන සලකා රාජ්‍ය තන්ත්රීය කටයුතුවලට යොදා ගත් ‘ග්‍රන්ථෙ’ අක්ෂරවලින් සිය අත්සන් යොදන්නට ඇත.
ඇහැලේපොලගේ සුපුරුදු අත්සනේ වෙනස්කමට හේතුව ඔහු හිතාමතාම කරන ලද්දක් යයි සිතේ. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා සඳහන් කොට ඇත්තේ උඩරට ගිවිසුම ඇහැලේපොලගේ බලාපොරොත්තු මහත් සේ කඩ කළ එකක් බවයි. එම නිසා ඔහුගේ අත්සනේ වෙනසට හේතුව ඔහු එම ගිවිසුමට හිත යටින් අකැමැති බවක් දැක්වූ නිසා විය හැක.
නෛතික තත්වය
මෙම ගිවිසුමේ නෛතික තත්ත්වය පිළිබඳව සිංහල විශ්වකෝෂ සටහනේ සඳහන් වන්නේ මෙසේය. “යට කී පරිදි උඩරට ප්‍රදේශ ඉංග්‍රීසීන්ට අයත් වූයේ කොන්දේසි උඩ යටත් කර ගැනීමකින් නොව කොන්දේසි උඩ බාරදෙනු ලැබීමෙනි. යටත් කර ගැනීමේදී ඇති කර ගන්නා ගිවිසුමක පවා කොන්දේසි වෙනස් කළ නොහැකි බව අධිකරණ තීරණ අනුව පෙනේ. ‘ග්රැන්ඩා’ ගිවිසුමේ යටත් වීමේ කොන්දේසි පිළිබඳව විභාග වුණු ‘කැම්බල්’ ට එරෙහි ‘පෝල්’ නඩුවේ තීන්දුව දීමේදී යටත්වීමේ ගිවිසුමක කොන්දේසි වෙනස් කළ නොහැකි බව ‘මෑන්ස්ෆීල්ඩ්’ විනිශ්චයකාරතුමා පැවැසීය. එසේ නම් පවරාදීමේ ගිවිසුමක කොන්දේසි එපමණටවත් වෙනස් කළ නොහැකි විය යුතු ය.
මහා බ්‍රිතාන්‍යයේ පාලකයා වෙනුවෙන් ගිවිසුමකට බැඳීමේ බලය සහිත ආණ්ඩුකාර තැන සුදුසු සාක්ෂිකරුවන් ඉදිරියේ උඩරට ගිවිසුමට අත්සන් තැබීම නිසා එය සහතික ලියැවිල්ලක් බවට පත්වූ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේද සාකච්ඡා වී කිරීටය විසින් පිළිගන්නා ලද නිසා එහි නෛතික වලංගු බව නොසෙල්වෙන තත්ත්වයට පැමිණියේ ය.”
තත්ත්වය එසේ වුවත් 1818 කැරැල්ලෙන් පසු ඉංග්‍රීසීහු මෙම ගිවිසුම නොසලකා හැර අත්තනෝමතික ලෙස ඒක පාක්ෂිකව ගිවිසුමේ කොන්දේසි සංශෝධනය කළහ. ඉංග්‍රීසීන් මුල සිටම ක්‍රියා කර ඇත්තේ අවංක ජාතියකට කොකා පෙන්නා මෙරට යටත් විජිතයක් කර ගැනීමටය.
සිංහලේ ජන නායකයන් විසින් රටේ උරුමයත්, ගෞරවයත්, අනන්‍යතාවයත්, සුරැකීමේ චේතනාවෙන් එකඟ වූ ගිවිසුම ගැන බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා නීතිය ගැන විශාරදයකු වූ ‘ශ්‍රීමත් ජේරි මුලර්’ සඳහන් කර ඇත්තේ මනා අත්දැකීම් ඇත්තාවූ ද, ජාති හිතෛෂි භාවයෙන් ඔද වැඩියා වූ ද රාජ්‍ය තාන්ත්‍රික ශිල්පයේ මනා කුසලතාවයක් පිළිබිඹු කළා වූ ද ගිවිසුමක්” බවයි.