
ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජපක්ෂ කථිකාචාර්ය, බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
විපල්ලාස පිළිබඳ විවධ වර්ගීකරණ සූත්‍ර දේශනාවල විවිධ ආකාරවලින් දැක්වෙන අතර විපල්ලාස පිළිබඳ ත්‍රිවිධ වර්ගීකරණය අතිශය ගැඹුරු මෙන් ම සූත්‍ර සාහිත්‍යයෙහි සුලභ විවරණයක් බව කිව යුතු ය. එම ත්‍රිවිධ විපල්ලාස නම්,
1 සංජානනය හා විපල්ලාස (සඤ්ඤා විපල්ලාස)
2 චින්තනය හා විපල්ලාස (චිත්ත විපල්ලාස)
3 සංවේදනය හා විපල්ලාස (දිට්ඨි විපල්ලාස) යනු යි.
සංජානනය හා විපල්ලාස
(සඤ්ඤා විපල්ලාස)
පුද්ගලයා විෂය ලෝකය දෙස බලන අකාරය අනුව විපල්ලාස හටගැනීම යි. තවත් ආකාරයකින් දක්වන්නේ නම්, සංඥාවෙන් විපරීත බැවින් සංඥා විපල්ලාස වේ. (සඤ්ඤාවිපල්ලාසාති සඤ්ඤාය විපල්ලත්ථභාවා) දෙවියන් සහිත ලෝකයා සුව යැයි ගැනීම විපරීත සංඥාව යි.
සංඥා විපල්ලාස යනු සංඥාවගේ විපර්යාසයට පත් වීම යි. ඒ සඳහා විපරීත සංඥා යැයි ද කියයි. සංඥා විපල්ලාස සතර විධ ය. (චතුස්සො විපරීතසඤ්ඤායොති අත්ථො.) එනම්, සඤ්ඤා විපල්ලාස දුබල ය. එය හාත්පසින් ම යම් කිසිවක් නිත්‍යාදි ලෙස වරදවා හෝ අනිත්‍යාදි වශයෙන් සත්‍ය ලෙස හෝ ගැනීමට සමත් ධර්මයක් නොවේ. පඤ්චස්කන්ධය නිත්‍ය යැයි ගන්නා සිත හා එක් වීමෙන් ද දෘෂ්ටිය හා එක් වීමෙන් ද සංඥාව ද විපර්යාස යි.
I. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනීමෙන් ඇති කරගන්නා සඤ්ඤා විපල්ලාස
II. දුක්ඛ දෙය සුඛ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා සඤ්ඤා විපල්ලාස
III. අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීමෙන් ඇති කරගන්නා සඤ්ඤා විපල්ලාස
IV. අසුභ දෙය සුභ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා සඤ්ඤා විපල්ලාස
සංඥාව මෙන් උපදින මිථ්‍යාදෘෂ්ටීන් මෙන් උපදිනු ලබන භ්‍රාන්ත (විසිරුණු) සිතේ ස්වභාවය සඤ්ඤා විපල්ලාස යි. ‘විසඤ්ඤීනො’ යනු ද සඤ්ඤා විපල්ලාසයට යෙදෙන තවත් යෙදුමකි. සිතිවිලි වශයෙන් දුර්වල අකුසල් පාර්ශ්වයේ මුල්කොටගෙන සඤ්ඤා විපල්ලාස ක්‍රියාත්මක වේ. ලොව ගැටීම් හටගන්නේ, සඤ්ඤාව සහ දිට්ඨිය නිසා ය.
සංඥා විපල්ලාසවල ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන සංඥාවේ අවිපල්ලත්ථය ද සතර විධ ය. එනම්,
I. නිත්‍ය දෙය අනිත්‍ය ලෙස ගැනීමෙන් ඇති කරගන්නා සඤ්ඤා අවිපල්ලත්ථ
II. සුඛ දෙය දුක්ඛ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා සඤ්ඤා අවිපල්ලත්ථ
III. ආත්ම දෙය අනාත්ම ලෙස ගැනීමෙන් ඇති කරගන්නා සඤ්ඤා අවිපල්ලත්ථ
IV. සුභ දෙය අසුභ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා සඤ්ඤා අවිපල්ලත්ථ
අනිත්‍ය වස්තුවේ නිත්‍ය සංඥා ඇති දුක්ඛයේ සුඛ සංඥා ඇති අනාත්මයෙහි ආත්මය යැයි සංඥා ඇති අශූභයේ ශූභ සංඥා ඇති ව දෘෂ්ටි විපර්යාස වශයෙන් මිථ්‍යාදෘෂ්ටියට වැටුණු වික්ෂිප්ත සිත් ඇති සත්ත්වයා යෝගක්ෂේමය නො ලද හෙයින් මාරයාගේ යෝගයෙහි යුක්ත වන බව මෙහි දී පෙන්වා දෙයි. එම සත්ත්වයන් ජාති, ජරා, මරණ ආදිය කරා යන බවත් සංසාරගාමී වන බවත් ලොව පහළ වන බුදුවරුන් දුක් සන්සිඳවන සිවුසස් දහම් දෙසන බවත් ඉන් නැණ එළිය කරන චතුරාර්ය සත්‍ය පහළ වන අතර ප්‍රාඥයන් එම බුදුවරුන්ගෙන් දහම් අසා ස්වකීය චිත්තය පිරිසුදු කරගෙන අනිත්‍ය අනිත්‍ය වශයෙන් දුක් දුක් වශයෙන්, අනාත්මය අනාත්මය වශයෙන්, අශූභය අශූභය වශයෙන් දැක සම්යදර්ශනය වෙත පැමිණ සියලු සසර දුක් ඉක්මවන බවත් මෙහි දී අවධාරණය කෙරේ.
චින්තනය හා විපල්ලාස
(චිත්ත විපල්ලාස)
පුද්ගල අදහස් පදනම් කරගෙන විපල්ලාස හටගැනීම ය. චිත්ත විපල්ලාස යනු සිතින් හා සිතිවිලිවලින් විපර්යාසයට පත් වීම ය. ඒ සඳහා විපරීත චිත්ත යැයි ද කියයි. චිත්ත විපල්ලාස සතර විධ ය.
I. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනීමෙන් ඇති කරගන්නා චිත්ත විපල්ලාස
II. දුක්ඛ දෙය සුඛ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා චිත්ත විපල්ලාස
III. අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීමෙන් ඇති කරගන්නා චිත්ත විපල්ලාස
IV. අසුභ දෙය සුභ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා චිත්ත විපල්ලාස
චිත්ත විපල්ලාසවල ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන චිත්තයේ අවිපල්ලත්ථය ද සතරවිධ ය. එනම්,
I. නිත්‍ය දෙය අනිත්‍ය ලෙස ගැනීමෙන් ඇති කරගන්නා චිත්ත අවිපල්ලත්ථ
II. සුඛ දෙය දුක්ඛ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා චිත්ත අවිපල්ලත්ථ
III. ආත්ම දෙය අනාත්ම ලෙස ගැනීමෙන් ඇති කරගන්නා චිත්ත අවිපල්ලත්ථ
IV. සුභ දෙය අසුභ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා චිත්ත අවිපල්ලත්ථ
දෘෂ්ටි විරහිත දුර්වල අකුසල් චිත්ත පාර්ශ්වයේ මුල් කොටගෙන චිත්ත විපල්ලාස ක්‍රියාත්මක වේ.
සිත සත්ත්ව රූපවල බාහිර රූප, පරමාර්ථ රූප වෙන්කොට දැකීමට අසමත් වේ. සිත දකින්නේ එකට බැඳී ඝනව පවත්නා රූප කලාප සමූහයන් එක් එක් දෙයක් ලෙස ය. සවස් කාලයේ දල්වන ලද මධ්‍යම රාත්‍රියේ ද පවත්නා පහන් සිළුව එක දෙයක් ලෙස ය. උප්පත්තියේ සිට මරණය දක්වා පවත්නා සිත් පරම්පරාව එක් සිතක් ලෙස ය. සිත දකින්නේ නාමරූප ධර්ම පිළිබඳ සමූහ සන්තති ප්‍රඥප්ති ධර්ම දෙකය. එබැවින් සිතට වස්තු මිස ප්‍රඥ්ප්ති ධර්ම දැනෙන්නේ නැත. සන්තතිය මිස ඉපදීම පෙනෙන්නේ නැත. එබැවින් සිත අනිත්‍ය වූ නාමරූප ධර්ම නිත්‍ය ලෙස දකී.
සංවේදනය හා විපල්ලාස
(දිට්ඨි විපල්ලාස)
දෘෂ්ටි සම්ප්‍රයුක්ත සිත දිට්ඨි විපල්ලාස යි. පුද්ගලයාගේ හැඟීම් පදනම් කරගෙන විපල්ලාස හටගැනීම යි. සිත වරදවාගත් නාමරූප ධර්ම ‘මමය, සත්ත්වයාය, සත්ත්වයාගේ සාරය බලන තැනැත්තාය, අසන තැනැත්තාය” කියා වරදවා තදින්, ස්ථිර වශයෙන් ගන්නා දෘෂ්ටි ඇති වීම දිට්ඨි විපල්ලාස යි. දිට්ඨි විපල්ලාස යනු දෘෂ්ටියෙන් විපර්යාසයට පත් වීම යි. ඒ සඳහා විපරීත දිට්ඨි යැයි ද කියයි. දිට්ඨි විපල්ලාසය මිච්ඡා දිට්ඨිගතා යනුවෙන් ද හැඳින්වේ. දිට්ඨි විපල්ලාස සතරවිධ ය.
I. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනීමෙන් ඇති කරගන්නා දිට්ඨි විපල්ලාස
II. දුක්ඛ දෙය සුඛ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා දිට්ඨි විපල්ලාස
III. අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීමෙන් ඇති කරගන්නා දිට්ඨි විපල්ලාස
IV. අසුභ දෙය සුභ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා දිට්ඨි විපල්ලාස
දිට්ඨි විපල්ලාසවල ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන දිට්ඨියේ අවිපල්ලත්ථය ද සතර විධ ය. එනම්,
I. නිත්‍ය දෙය අනිත්‍ය ලෙස ගැනීමෙන් ඇති කරගන්නා දිට්ඨි අවිපල්ලත්ථ
II. සුඛ දෙය දුක්ඛ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා දිට්ඨි අවිපල්ලත්ථ
III. ආත්ම දෙය අනාත්ම ලෙස ගැනීමෙන් ඇති කරගන්නා දිට්ඨි අවිපල්ලත්ථ
IV. සුභ දෙය අසුභ ලෙස ගැනීමෙන් ඇති කරගන්නා දිට්ඨි අවිපල්ලත්ථ
පෙළෙහි අන්තර්ගත දිට්ඨි සංකල්පය පිළිබඳ විවිධ වර්ගීකරණ අතරින් මූලික වර්ගීකරණයක් ලෙස බහුලව යෙදෙන්නේ එම ද්වි ප්රභේදගත දිට්ඨි වර්ගීකරණයයි. එනම්,
1. සම්මාදිට්ඨි
2. මිච්ඡාදිටිඨි යනු යි.
එම පදවල අන්තර්ගත අරුත් හා අදහස් ඉහත දී ද සාකච්ඡා විය. පෙළෙහි එන බොහෝමයක් දිට්ඨි පිළිබඳ වර්ගීකරණයන් අයත් වන්නේ මිච්ඡාදිට්ඨිය සම්බන්ධවයි. දිට්ඨි පරාමර්ශනය හේතුවෙන් “ස්කන්ධ සංඛ්‍යාත ලෝකය ශාස්වතය, අශාස්වතය, අන්තවත්ය, අනන්තවත්ය, ජීවයත් එය ම ය, ශරීරයත් එය ම ය, ජීවය අනෙකකි, ශරීරය අනෙකකි. සත්ත්වයා මරණින් මතු වෙයි. සත්ත්වයා මරණින් මතු නොවෙයි. සත්ත්වයා මරණින් මතු වන්නේ ද වෙයි, නොවන්නේ ද වෙයි, සත්ත්වයා මරණින් මතු වන්නේ ද නොවෙයි, නොවන්නේ ද නොවෙයි” යනුවෙන් දස වැදෑරුම් පරිදි දෘෂ්ටි විපරීතකරණයට ලක් කරන අතර, පුද්ගලයා හා ලෝකය පිළිබඳ ඇති වන විපරීත දෘෂ්ටි සතරක් විපල්ලාස නමින් පෙළෙහි දැක්වේ. එනම්,
I. අසුභ වූ දෙය පිළිබඳ සුභය යන දෘෂ්ටිය
II. දුක් වූ දෙය පිළිබඳ සැපය යන දෘෂ්ටිය
III. අනිත්‍යය වූ දෙය පිළිබඳ නිත්‍ය ය යන දෘෂ්ටිය
IV. අනාත්ම වූ දෙය පිළිබඳ ආත්මය යන දෘෂ්ටිය යනු යි.
යමෙකු තුළ ආත්මයක පැවැත්ම පිළිබඳ යම් දෘෂ්ටියක් තිබේ නම්, එය පවතින්නේ පංචපාදානස්කන්ධය ඇසුරු කොට ගෙනය. ඊට හේතුව නම්, පංචස්කන්ධය හැර සත්ත්වයා පුද්ගලයා වශයෙන් පැනවිය හැකි අන් කිසිවක් පුද්ගලයා තුළ, සත්ත්වයා තුළ නැති බැවිනි. ආත්මවාදය බැහැර කිරීම සඳහා ස්කන්ධ, ආයතන, ධාතු ආදිය විග්‍රහ කොට ත්රිලක්ෂණය සමඟ විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරයි.
විපල්ලාසවල පවත්නා
අනුපූර්ව සබඳතාව
උක්ත කී ත්‍රිවිධ විපල්ලාසවල අනන්‍යතාව හා ප්‍රබලතාව සම්බන්ධයෙන් අට්ඨකථා හි තොරතුරු රැසක් හමු වේ. ඒ අනුව සඤ්ඤා විපල්ලාස, චිත්ත විපල්ලාස හා දිට්ඨි විපල්ලාස යන විපල්ලාසවල පවත්නා අනුපූර්ව සබඳතාව පදනම් කරගෙන එම පිළිවෙළ පෙළගසා ඇත. ප්‍රබලතාව අනුව සංඥා විපල්ලාස වඩා දුර්වල ය. චිත්ත විපල්ලාස සංඥා විපල්ලාසවලට වඩා තරමක් ප්‍රබල නමුත් දිට්ඨි විපල්ලාසවලට වඩා දුර්වල ය. විපල්ලාස අතරින් වඩාත්ම බලවත් දිට්ඨි විපල්ලාස යි.
මේ අනුව සඤ්ඤා විපල්ලාස, චිත්ත විපල්ලාස හා දිට්ඨි විපල්ලාස යන විපල්ලාසවල පවත්නා අනුපූර්ව සබඳතාව හා ප්‍රබලතාව මඟින් ඒ ඒ විපල්ලාසවල අනන්‍යතාව ද අටුවාවේ විස්තර වේ. සඤ්ඤාව නුවණ හටනොගත් දරුවෙකුගේ දැනුම මෙනි. අරමුණෙහි එළඹ සිටීම් මාත්‍රය ම ග්‍රහණය කරයි. චිත්තය ගැමි පුරුෂයෙකුගේ කහවණු දැක්ම මෙනි. ලක්ෂණ අවබෝධ කරගත හැකි ය. ඇතුළට කිඳා බැස, ස්පර්ශ කරන හෙයින් දෘෂ්ටිය ලෝකුරුවාගේ මහ අඬුවෙන් යකඩ ග්‍රහණය කිරීමට සමාන ය.
තවත් ආකාරයකින් දක්වන්නේ නම්, සඤ්ඤා විපල්ලාස සියලු විපල්ලාස අතුරින් වඩා මෘදු ය. තණ කොළවලින් සෑදු පුරුෂ රුවවලට සැබෑ පුරුෂයෙක් ය, යනුවෙන් මුව පොව්වන් තුළ ඇති වන හැඟීම අනිත්‍යාදී විෂයයේ මිථ්‍යා ආදියේ එළඹ සිටි ආකාරය ගැනීම ය. සඤ්ඤා විපල්ලාසවලට වඩා තරමක් බලවත් චිත්ත විපල්ලාස වනාහි මැණික් නො වන දේ විෂයෙහි මැණික් ආකාරයෙන් එළඹ නිත්‍යාදි වශයෙන් ගැනීම යි. විපල්ලාස අතරින් වඩාත් ම බලවත් දිට්ඨි විපල්ලාස යනු යම් අරමුණක් යම් ආකාරයකින් එළඹ සිටි ද එය ඒ ඒ ආකාරයෙන් ශාස්වත වශයෙන් ‘මෙය ම සත්‍ය ය, අනෙක්වා බොරු ය,’ යනුවෙන් ගැනීම යි.
නෙත්තිප්පකරට්ඨකථාවට අනුව සඤ්ඤා විපල්ලාස, චිත්ත විපල්ලාස හා දිට්ඨි විපල්ලාස යන විපල්ලාසවල පවත්නා අනුපූර්ව සබඳතාවගොඩනැඟෙන්නේ අතිශය ගැඹුරු පදනෙමිනි. එනම්, සඤ්ඤා විපල්ලාසවලට හේතුව චිත්ත විපල්ලාස යි. චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාසවලට හේතු වේ.
ත්‍රිවිධ විපල්ලාසවල අනුපූර්ව පිළිවෙළ රේරුකාණේ චන්දවිමල හිමි කෙළෙස් එක්දහස් පන්සියය නැමැති ග්‍රන්ථයේ දී සඤ්ඤා, චිත්ත හා දෘෂ්ටි යන විපල්ලාස දක්වන්නේ තරමක් වෙනස් අකාරයක සබඳතා පදනමක් මත ය.
පෙළෙහි සඤ්ඤා, චිත්ත හා දෘෂ්ටි යන විපල්ලාසවල සබඳතාව අනුපූර්ව පිළිවෙළ දැක්වෙනුයේ ක්රමානුකූල ව වර්ධනය වන විපල්ලාසවල ආදීනව ශීඝ්‍ර වන අන්දෙමිනි. සඤ්ඤා, චිත්ත හා දෘෂ්ටි යන විපල්ලාසවල සබඳතාව අනුපූර්ව පිළිවෙළ තරමක් අන්‍යාකාර වන අන්දමින් ඉදිරිපත් කරන රේරුකාණේ චන්දවිමල හිමි පෙන්වා දෙන්නේ විපල්ලාසවල සඤ්ඤා, චිත්ත හා දෘෂ්ටි යන පිළිවෙළ තුළ දිට්ඨි ප්රබලවෙතත් සඤ්ඤා විපල්ලාසයේ අනිවාර්ය ප්‍රතිඵලය චිත්ත විපල්ලාසය නො වන බව යි.
ඒ අනුව සඤ්ඤා විපල්ලාසය ඍජු ව ම දිට්ඨි විපල්ලාසයට කේන්ද්‍ර විය හැකි ය. අනෙත් අතට චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාසයට ඍජු ව ම බලපායි. යම්කිසි කරුණක් ගැන ඇති වූ සංඥාව මුලින් දුබල වුව ද කල්යෑමෙන් ස්ථිර වී දුරු කළ නො හැකි තත්ත්වයකට පත් වේ. එබැවින් සංඥා විපල්ලාසය ද ප්‍රබල ය. රේරුකාණේ චන්දවිමල හිමි කෙළෙස් එක්දහස් පන්සියය නැමැති ග්‍රන්ථයේ දී පෙන්වා දෙන්නේ මෙහි සඤ්ඤා, චිත්ත හා දිට්ඨි යන විපල්ලාස තුන පිළිවෙළින් එකිනෙකට බලවත් බව ය.