අපේ ගුහා චිත්‍ර ඇන්දේ වැද්දන් ද? | සිළුමිණ

අපේ ගුහා චිත්‍ර ඇන්දේ වැද්දන් ද?

කේ. උදේනි අරුණසිරි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රත්නපුර

ශ්‍රී ලාංකේය දෘශ්‍ය කලාවේ ප්‍රාග්-තාක්ෂණික පැතිකඩ පිළිබඳ විමසුමකි.

මෙරට සිතුවම් කලාව පිළිබඳ සෙනරත් පරණවිතාන, සේනක බණ්ඩාරනායක, සිරි ගුණසිංහ, එල්.ටී.පී. මංජුශ්‍රී, රීස් ඩේවිඩ්ස්, ආනන්ද කුමාරස්වාමි, ඩී.බී. ධනපාල, එස්.ඒ. වික්‍රමසිංහ, සිරිනිමල් ලක්දුසිංහ, එන්.බී.එම්. සෙනෙවිරත්න, නන්දසේන මුදියන්සේ, එම්.සෝමතිලක, රාජ් සෝමදේව ආදි විද්වතුන් පර්යේෂණය කර ඇත. එහි දී මෙරට සිතුවම් කලාවේ ආරම්භය, විකාශනය හා කලාත්මක මෙන් ම තාක්ෂණික ලක්ෂණ පිළිබඳ කරුණු දක්වා තිබේ. මෙරට සිතුවම් කලාවේ ආරම්භය හා විකාශනය හැදෑරීමේ දී මෙන්ම තොරතුරු ඉදිරිපත් කිරීමේ දී ද එය ඉතා පුළුල් පරාසයක් පුරා විහි දී යන බව පෙනේ.

ශ්‍රී ලාංකේය චිත්‍ර කලාව පිළිබඳ සජීවී සාධක අයත් වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මෑත අවධියකට වුව ද වර්ණ භාවිතය පිළිබඳ ඉතා ම පැරණි සාක්ෂ්‍යයක් කළුතර දිස්ත්‍රික්කයෙන් හමු වී තිබේ. පාහියන්ගල ලෙනේ කරන ලද කැණීම්වල දී සොයාගත් මිනිස් හිස්කබල් ඇතුළුව සත්ත්ව ඇටකටු, අයුධ හා සායම් තැවරුණු ගල් සමූහය ඊට සාක්ෂ්‍යය සපයයි. ඒවා වසර 31, 000 ක් තරම් පැරණි බව ද සොයාගෙන ඇත.

එසේම වසර 20, 000කට ඉහත ජීවත් වුණේ යැයි පිළිගැනෙන බළන්ගොඩ මානවයා විසින් පරිහරණය කරන ලද භාණ්ඩ අතර ගුරුගල් සායම් ආලේපිත හිස් කබලක් ද විය. මේ අනුව අපට පෙනී යන්නේ නැඟෙනහිර ස්පාඤ්ඤයේ, නිරිතදිග ප්‍රංසයේ හා උතුරු අප්‍රිකාවේ ගල්ගුහාවල ඇඳ තිබෙන වසර 10, 000කට එහා අතීතයක් ඇති ප්‍රාග් ඓතිහාසික ලෙන් චිත්‍ර ඇඳි කාලයට අයත් සිතුවම් මෙරට ලෙන් තුළින් හමු නොවූව ද ඊට සමකාලීනව මෙරට මානවයන්ට ද වර්ණ භාවිතය පිළිබඳ යම් දැනීමක් තිබූ බව ය. එස්.යු. දැරණියගල සඳහන් කරන්නේ බළන්ගොඩ මානවයා විසින් අඳින ලදැයි සැලකිය හැකි ගුහා චිත්‍රයක් හමුවී නැති බවය.

ඩබ්ලිව්.එච්. විජයපාල හා නන්දදේව විජේසේකරගේ අදහස වන්නේ ප්‍රාග් ඓතිහාසික යැයි නිසැකව කිව හැකි චිත්‍ර කිසිවක් මෙරටින් සොයාගෙන නැති බවය. මෙරට පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදු කළ එච්.සී.පී. බෙල් මෙන්ම වැදි ජනතාව පිළිබඳ මානව විද්‍යාත්මක අධ්‍යනයක් කළ චාල්ස් හා බ්‍රෙන්ඩා සෙලිග්මාන් යුවළ මෙරට ප්‍රාග් ඓතිහාසික කලාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළහ. එහි දී සෙලිග්මාන් යුවළ මෙරට වැද්දන් පිළිබඳ කළ පර්යේෂණයේ දී එම සිතුවම් වැද්දන් විසින් අඳින ලද සිතුවම් ලෙස හඳුන්වා තිබේ.

මෙරටින් හමු වන ප්‍රාග් ඓතිහාසික සිතුවම් පිළිබඳ උගතුන් අතර විවිධ මත පවතී. මෙරට ප්‍රාග් ඓතිහාසික සිතුවම් ක්‍රමයක් නැති බව සිරාන් දැරණියගල ප්‍රකාශ කරයි. සේනක බණ්ඩාරනායක මහතා එම සිතුවම් ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වශයෙන් ස්ථිරව සඳහන් නොකරන අතර ඒවා ප්‍රාග් ඓතිහාසික ගණයේ චිත්‍ර වශයෙන් සැලකීම වඩා යෝග්‍ය බව සඳහන් කරයි. නන්දදේව විජේසේකර මහතා ආඬියාගල, ගල් ඔය හා බින්තැන්න යන ස්ථානවල පිහිටි ලෙන් තුළ අඳින ලද සිතුවම් පශ්චාත් කාලීන කලාවට නෑකමක් නො දක්වන්නේ යැයි සඳහන් කර තිබෙන බව බිනරගම මහතා උපුටා දක්වයි. එම ගුහා සිතුවම්හි විකාශනය පිළිබඳ විවිධ මත තිබේ. ගවයන්ගේ කුරි ගැසීමේ දී සාම්ප්‍රදායික ව යොදා ගන්නා සංකේත ආදි මානව ගුහා සිතුවම් හා මහා ශිලා සුසාන ආශ්‍රිතව කැණීම්වලින් මතු කරගත් මැටි බඳුන් හා සුසාන නිර්මාණයේ දී යොදාගත් පාෂාණ පුවරු මතුපිට කොටා තිබූ සංකේතවලට බෙහෙවින් සමාන බව හඳුනාගෙන ඇත.

හබරකඩ වජිර හිමියන් සඳහන් කරන්නේ සිංහල අක්ෂර මාලාවේ ප්‍රභවය ප්‍රාග් ඓතිහාසික සිතුවම් විකාශනයෙන් සිදු වූ බවයි. පී.ඊ.පී. දැරණියගලගේ අදහසක් උපුටා දක්වන ජයම්පත් සේනානායක මෙරටින් හමු වී ඇති ප්‍රාථමික ලෙන් චිත්‍ර ඒවායේ වස්තු විෂය, තාක්ෂණය හා වාසස්ථාන අනුව පරිච්ජේද පහකට වෙන් කර ඇති බව පෙන්වා දෙයි.

1. ප්‍රාග් ඓතිහාසික - දොරවක, මොලගොඩ, නැව්ගල ( ca 28000-2600BC)

2. මූල ඓතිහාසික - ඌරාකන්ද, පදවිගම්පොළ (ca2600-2300BC)

3. ආදි ඓතිහාසික - බුදුගල, දිඹුලාගල (ca 2300-2000BC)

4. ඓතිහාසික - ආඬියාගල, බිල්ලෑව, මණඩගල්ගේ, ගොනාගොල්ල (ca 2000-1800BC)

5. වත්මන් යුගය - ගමනක්දගල්ගේ, පිහිල්ලේගොඩ ගල්ගේ, හිඟුරාන, මුදුනලූව ගල්ගේ (ca 200BC) (බ්‍රිතාන්‍ය යුගය දක්වා)

මෙරට ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් හා එවැනි සටහන් පිළිබඳ සිදු කරන ලද පර්යේෂණයන් අතරින් රාජ් සෝමදේවගේ Rock painting & Engraving site in Sri Lanka කෘතියට හිමි වන්නේ සුවිශේෂ තැනකි. මෙතෙක් මෙරට ප්‍රාග් ඓතිහාසික හෝ වැදි ගුහා චිත්‍රවල කාල නිර්ණය පිළිබඳ විධිමත් පර්යේෂණයක් සිදු වී නැත. නිශ්චිත කාල නිර්ණයක් පිළිබඳ ගැටලු ඇති බැවින් පැරැණි චිත්‍ර ලෙස ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වැදි ගුහා චිත්‍ර දැක්වීම සුදුසු නොවූ ද ලාංකේය ආදි ජන සමාජයන් විසින් නිර්මාණය කරන ලදැයි සැලකෙන ගුහා සිත්තම් ගණනාවක් මෙරට විවිධ ප්‍රදේශවලින් දැකගත හැකි බැවින් මෙරට සිතුවම් කලා ඉතිහාසයේ ප්‍රාථමික අවධිය නිශ්චය කරගත හැකි ව තිබේ.

ආදි මානව ගුහා සිතුවම් මෙරට ස්ථාන තිස්තුනක ව්‍යාප්ත වී පැවැති බව සේනක බණ්ඩාරනායකයන් සනාථ කර තිබේ. (Bandaranayake 1986:09). ඒ අනුව මෙරට ප්‍රාග් ඓතිහාසික හෝ වැදි සිතුවම් ලෙස සැලකිය හැකි ස්ථාන ලෙස නැඟෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයෙහි කදුරුපොකුණ, කිරි පොකුණ, අරංගොඩගල, ගමකන්ද ගල්ගේ, කුඩුම්බිගල, ලෙනම හා මහලෙනම යන නම්වලින් හැඳින්වෙන ලෙන් ද, අම්පාර දිස්ත්‍රික්කයෙහි බඹරගස්තලාව, ගණේගම, ගොනාගොල්ල, හුලංනුගේ, උඩුගේ කන්ද, මලයඩි කන්ද, පිහිල්ලේගොඩ හා රජගල යනා දි ලෙන් දැක්විය හැකිය. එසේ ම අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ආඬියාගල, බිල්ලව, තන්තිරිමලේ හා කෝමරිකාගල යන ස්ථානවලින්ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙහි කෝනත්තෙගොඩගල හා දිඹුලාගලින් ද, ඌව පළාතෙහි මොනරාගල දිස්ත්‍රික්කයේ අළුගල්ගේ, මණ්ඩගල්ගේ හා නාවාගල යන ස්ථානවලින් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ පුංචි කිරිඅම්මා ගල්ගේ යනුවෙන් හැඳින්වෙන ස්ථානයෙන් ද සාධක ලැබී තිබේ.

තව ද කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් දොරවක, ඌරාකන්ද හා රත්නපුර දිස්ත්‍රික්කයෙහි බුදුගලින් ද, වවුනියා දිස්ත්‍රික්කයෙහි කොන්ගාරයක්කුලමින් හා හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් හවලඑළිය යනුවෙන් හඳුන්වන ලෙන්වලින් එවැනි චිත්‍ර හමු වී ඇත. මේ ස්ථානවලට අමතරව ආදි මානව ගුහා සිතුවම් සහ එවැනි සටහන් හමු වන ස්ථාන 24ක් රාජ් සෝමදේව වාර්තා කර තිබේ. 2017 වර්ෂයේ දී සත්සර ඉලංගසිංහ විසින් ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර මැයෙන් කෘතියක් රචනා කරමින් ආදි මානව සිතුවම් මෙරට ස්ථාන 93කින් වාර්තා වී ඇති බව සඳහන් කර ඇත.

අතීත මානවයාගේ ප්‍රධාන වාසස්ථානය වන්නේ ස්වභාවික ගල් ලෙන් ය. එම නිසා ඔවුන්ගේ සිතුවම් තලය බවට පත් වූයේ ගල් ලෙනේ ඇතුළු පෘෂ්ඨයයි. එම පෘෂ්ඨය සිතුවම් නිර්මාණයකට උචිත ලෙස සකස් කරගැනීමක් නොකළ අතර රළු පෘෂ්ඨය මත වර්ණ තවරමින් තම සිතැඟි නිර්මාණය සඳහා එය තලය කරගෙන තිබේ.

එම යුගයේ සියලු චිත්‍රසටහන් ප්‍රධාන කොටස් 3 ක් යටතේ හඳුනාගත හැකි අතර ඒවා නම්,

1 ඒක වර්ණ ජායා මාත්‍රයක් සහිත චිත්‍ර ( Monochrome Silhouettes )

2 බහුවර්ණ භාවිත කළ චිත්‍ර (Polychrome Paintings )

3 කැටයම් ස්වරූපයෙන් නිම වුණු චිත්‍ර (Incised Representations )

එහි දී ඒකවර්ණ හා බහුවර්ණ යන ප්‍රධාන කොටස් දෙක පිළිබඳ අවධානය යොමු කිරීම වටී. නිදසුන් ලෙස මඩගල ගල් ගුහාවකින් හමු වී ඇති සිතුවම් ඒකවර්ණ චිත්‍ර ලෙස ද තන්තිරිමලේ හා බිල්ලව ප්‍රදේශයෙන් සොයාගෙන ඇති සිතුවම් බහුවර්ණ ලෙස ද හඳුනාගත හැකිය.

ඒ පිළිබඳ අදහස් දක්වන උල්ලූවිස්හේවා මෙරට ආදි මානවීය සිතුවම් ඇඳීමට භාවිත කළ ශිල්පක්‍රමය අනුව කොටස් 4 කට බෙදා තිබේ.

1 උත්කීර්ණ ක්‍රමය (Engraving )

2 වර්ණකයක් වියළි තත්ත්වයෙන් තැවරීම (Drawing)

3 වර්ණකයන් ද්‍රව තත්ත්වයෙන් තැවරීම (painting)

4 වස්තුවක් තවත් වස්තුවකින් ඇතිල්ලීම (Abrasion).

මීට අමතරව වර්ණක අත්ලේ තවරා අච්චුවක් මෙන් භාවිත කරමින් ගල්තලයේ අත්ලේ සටහන පිහිටුවීමෙන් ද නිර්මාණ කළ බවට සාධක තිබේ.

එම වර්ණ නිර්මාණය කරගැනීමේ තාක්ෂණය පිළිබඳ අවධානය යොමු කළ විට අපට හමුවන වැදගත් සාධකයක් වන්නේ පාහියන්ගල ලෙන තුළ සිදු කරන ලද කැණීමකින් හමු වී ඇති බළන්ගොඩ මානව සංස්කෘතියට අයත් මිනිස් හිස්කබල් කොටස හා අස්ථි රතු ගුරුගල් සායම්වලින් වර්ණවත් කර තිබීමයි. (Red Ochre – රත් හිරියල් විය යුතු යැයි අනුමාන කෙරේ). ගුරුගල්, රතුසායම් සකසාගත් ඇඹරුම් ගල් සහ අත්ගල් ද එම අස්ථි සමඟ තිබී හමු වී තිබේ. ඇමරිකාවේ බීටා ආයතනය විසින් කරන ලද කාල නිර්ණය මගින් ඒවායේ කාලය වසර 31000ක් බව නිගමනය කර ඇත. එම වර්ණ කුමන අරමුණකින් භාවිත කළේද යන්න පිළිබඳ උගතුන් අතර විවිධ මතවාද පවතින අතර කෙසේ නමුත් ඉන් අපට පෙනීයන්නේ වර්ණ නිර්මාණය කරගැනීිමේ තාක්ෂණයක් ඔවුන් හඳුනාගෙන තිබු බවයි. එසේම බළන්ගොඩ සංස්කෘතියට අයත් නොයෙක් මෙවලම් අතර නිතර නිතර දක්නට ලැබෙන ඇඹරුම් ගල් හා අත්ගල් ගුරුගල් ඇඹරූ බවට සාක්ෂි දරයි. රාවණ ඇල්ල ගල්ගෙයි තිබී හමුවූ උපරිම ප්ලෝයොස්ටෝසීන යුගයට අයත් හිස්කබලෙහි නළල් ඇටය රතු ගුරුගල් ආලේප කර තිබු බවත් ඒ සමඟ අර්ධ චන්ද්‍රාකාර මිටියක් සේ භාවිත කළ හිල් සහිත හා හිල් රහිත බෝලගල් හමුවීමෙන් ඒවා සායම් අඹරා ගැනීමට යොදාගන්නට ඇතැයි යන එස්.යු. දැරණියගලගේ අදහස බිනරගම උපුටා දක්වයි.

බටදොඹලෙන කැණීමෙන් හමු වී ඇති ඇඹරුම් ගල්වලට සමාන සිදුරු සහිත ගල් උඩපියන් ගල් ගෙයි කුරුටු චිත්‍රවල දක්නට ලැබෙන අතර එමඟින් වර්ණ සාදාගැනීමේ තාක්ෂණය ප්‍රාග් මානවයන් අතර හුවමාරු වී ඇති බව ද අනුමාන කළ හැකිය. ඇතැම් විට එම කුරුටු චිත්‍ර අහඹුවක්ද විය හැකිය.

තම සරල සිතුවම්කරණය සඳහා යොදාගත් වර්ණ ස්වභාවික පරිසරයෙන් සොයාගත් අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් නිපදවාගැනීමට අතීත මානවයා පෙලඹී ඇති අතර බොහෝ විට තමන් මරාගත් සතාගේ ලේ, ශාකවල කහට ආදිය ද මෙහි දී වර්ණ ලෙස භාවිත කර තිබේ. තවද පොළොවේ වර්ණය (Earth Colour), අළු පැහැය, ලා දුඹුරු හෝ සුදු, අඳුරු රතු හෝ මලකඩ පාට මැටිවලින් ලබාගත් ලා රතු මිශ්‍ර කහ වර්ණය (Plane Orange Colour ) එම චිත්‍ර සඳහා උපයෝගිකරගෙන ඇති බවට සාධක ඇත. ඒ පිළිබඳ සාරවත් විග්‍රහයක යෙදෙන රාජ් සෝමදේව මහතා ආදි මානවයන් තම සිතුවම් සඳහා සුදු, අළු (Munsell 5B 7/1), රතු (Munsell 5YR 6/8), රතු (Munsell 7.5R 4/8), කහ (Munsell 2.5YR 8/8), කොළ සහ කළු වර්ණ භාවිත කර ඇති බව පෙන්වා දෙයි.

කල් පැවැත්මෙන් අඩු එම වර්ණක අද වන විට බොහෝ දුරට හඳුනාගත නොහැකි තරමට අඳුරු පැහැයෙන් දැකගත හැකිය. එනම් දුර්වර්ණ වී ඇත. ප්‍රාග් මානවයාගේ සිතුවම් ඇඳීමේ උපකරණ පිළිබඳ සැලකීමේ දී වර්ණක ශිලා බිත්තියේ තැවරීම සඳහා භාවිත කර ඇත්තේ ඔවුන්ගේම දකුණු අතේ දඹර ඇඟිල්ල බවට උගතුන් අදහස් දක්වයි. එහි දී ඔවුන් අළු හෝ කොළ හෝ කිසියම් කහට වර්ගයක් වම් අත්ල මත තබා මිශ්‍ර කරගෙන දකුණතේ දඹර ඇඟිල්ලෙන් රේඛා කර්මයත් වර්ණ පූර්ණයත් කර ඇත. නමුත් එම්. සෝමතිලක සඳහන් කරන්නේ එම සිතුවම් බාහිර රේඛාකරණ කටයුතුවලට පමණක් සීමා වී ඇති බවය. එනම් වර්ණ පුර්ණයක් කර නැත. මතුපිට සීරිමෙන්ද මකුළු අළු භාවිතයෙන්ද සුදු හෝ එබඳු මැටි වර්ග භාවිතයෙන්ද යට කී චිත්‍ර නිර්මාණය කරන්නට ඇතැයි සේනක බණ්ඩාරනායකද පෙන්වා දෙයි. මෙසේ භාවිත කරන ලද වර්ණ ආලේපනයන්ගේ ගනකම මිලිමීටර 0.5-2 අතර වේ.

ප්‍රාග් මානවයන්ගේ සිතුවම් තාක්ෂණික ලක්ෂණ පිළිබඳ අධ්‍යනයේ දී ඔවුන් ඉතා සරල ශිල්ප ක්‍රමයන් භාවිත කර ඇති බව හඳුනාගත හැකිය. චිත්‍ර තලය සකසාගැනීමක් නොකළ ද යම්තාක් දුරට වර්ණ නිෂ්පාදනය කරගැනීමක් මෙන්ම වර්ණ නිෂ්පාදනය සඳහා උපකරණ භාවිතයක් ද තිබු බව සනාථ වේ. මානවයාගේ කපාල ධාරිතාව වර්ධනයවත්ම දියුණු උපකරණ නිපදවා ගැනීමට ඔවුහු පෙලඹුණාහ . පසුව ක්‍රමානුකූලව සිතුවම් කලාවක් ගොඩ නඟාගත්හ.

Comments