
ශ්‍රී ලංකාවේ ආදිවාසී වැදි ජනතාවගේ සංගීතය සියවස් 5 කට අඩු කාලයක් මුළුල්ලේ විකාශනය වූ ප්‍රාථමික සංගීතයක් ලෙස හැඳින්විය හැකි ය. සීමිත වූ නාද මාලාවකින් හා පටු ස්වර පරාසයක වූ ගායනයක් බෙරය, හැරුණු කොට වාදන භාණ්ඩ භාවිතයෙන් තොරවීමත් ඊට හේතුවය. ජන ගී හා සැසඳීමේදී වැදි ජන ගීවල ආකෘතිය ඉතා සරල බව ‘The Vaddas’ නම් ග්‍රන්ථය රචනා කළ සෙලිග්මාන්වරුන්ගේ අදහස ය. වැදි ජනතාවගේ සංගීතය පිළිබඳව අධ්‍යයනයක යෙදී ඇති එම කතුවරුන් වැදි ප්‍රජාවගේ සංගීතය සතුන් උදෙසා කළ යාතුකර්ම ගායනයට හා දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් හා බද්ධ වූ ගායනා ලෙස හඳුන්වා තිබේ.
යාතුකර්ම ගායනාවන්ගෙන් වැදිජන සමාජයේ එක් පැතිකඩක් වන ඔවුන්ගේ ඇදහීම් හා විශ්වාසයන් පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි වුවත් දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් හා බද්ධ වූ ගායනා බොහෝ විට වැදිජන ප්‍රජාව තම අත්දැකීම් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමට හා විනෝදාස්වාදයක් ලබාගැනීම වැනි අරමුණු ඇතිව නිර්මාණය කිරීම නිසා එම ගීත වැදි ජනයාගේ සංගීතය ලෙස සෙලිග්මාන්වරුන් තීරණය කොට තිබේ. එහෙත් නිර්මාණාත්මක භාවිතයේදී යාතු කාර්මීය ගායනාවන්ගේ නාද මාලාවන් මෙන් ම බෙරය ද ආශ්‍රය කර ගැනීම කැපී පෙනේ.
ආදිවාසීන් හෙවත් වැදිජනයා ගේ සංගීතයේ නාද මාලාවන් පිළිබඳ අධ්‍යයනයක දී ඔවුන් ගේ පැරණි නාද මාලාවත් එලෙසින් ම රැක ගැනීමට උත්සාහ දරා ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ සිංහල ජන සමාජය හා වැදිජන සමාජය මිශ්‍ර වුවත් සිංහල ජන ගී නාද මාලාවන් හා වැදි ජන ගීතවල නාද මාලාවන් එකිනෙක මිශ්‍ර වූ බවත් දැකගත හැකි වන්නේ කලාතුරකිනි. වැදි ජන ගී නාද මාලාවන් හි සීමිත නාද මාලාවන් කිහිපයක් පමණක් දක්නට ලැබීමත් ඒ නාද මාලාවන් වුව ද පටු ස්වර පරාසයකින් යුක්තවීමත් බහුතරයක් වැදි ජන ගී මධ්‍යමය හෝ පංචමය ශ්රැති ස්වරයත් යොදා ගනිමින් ගායනා කිරීමත් හඳුනාගත හැකි ය.
එමෙන් ම ගායනයේදී ස්වර දෙකක් අතර ඇති ආසන්නම ස්වර ආශ්‍රය කර ගැනීම විශේෂ ලක්ෂණයකි. සෙලිග්මාන්වරුන්ගේ විග්රහයට අනුව බොහෝ වැදි ජන ගීතවලට ඇතුළත් වී ඇත්තේ සීමිත නාද මාලාවන් ය. වැදි ජන ගීවල නාද මාලාව ස්වර පහක් හෝ ඊට අඩු ප්‍රමාණයකින් නිර්මාණය වී තිබේ. දඹානේ ගුණවර්ධන විසින් රචිත ‘වැදි ගී විමසුම’ කෘතියේ වැදි ජන ගී නාද මාලාවන් පිළිබඳව සඳහන් කර ඇත්තේ දරු නැළවිලි ගීවලට අමතරව බොහෝ වැදිජන ගීවල පවතින විශේෂ ලක්ෂණය වන්නේ සෑම වැදිජන ගීතයකම ආරම්භයක් අවසානයක් සනිටුහන් වීමය.
ඒ සඳහා ඔවුන් යොදාගත් පද රටා කිහිපයකි. එනම් ‘තෙන තෙදිනානේ තෙදිනානේ’ (නාද මාලාව) තෙං තෙදි නා නා තෙදි නානා මෙන් ම නැගෙනහිර බින්තැන්න ප්‍රදේශයේ බහුලව භාවිතා වන ‘තදිනත් තන්දන තදිනානේ (නාද මාලාව ද) යනුවෙන් පද රටාවල හා නාද මාලාවේ සුළු වෙනසක් ඇති බව පෙනේ. මේ පද රටාවන් ආරම්භයට පෙර හේ බොල යනුවෙන් සුලබව භාවිතා වන බව ‘වැදි ගී විමසුම’ ග්‍රන්ථයේ සඳහන්.
වැදි ජන ගී බහුතරයක් ගැයෙන්නේ මෙකී නාද මාලාවෙනි. ඒ අතර ආදරය සහ විවාහය සම්බන්ධ ගී, සමාජීය සංසිද්ධීන් සම්බන්ධ ගී දඩයමේ යාමේදී වූ සිදුවීම් හා සම්බන්ධ ගී බඹර කැපීමට සම්බන්ධ ගී කැපී පෙනේ. වැදිජන ගී අතර සම්ප්‍රදායික දරු නැළවිලි ගීවල නාද මාලාව අනෙකුත් ගීවලට වඩා විශේෂත්වයක් ගනී. ඊට හේතුව අනෙකුත් සෑම ගීයකම පාහේ දක්නට ලැබෙන එකම නාද මාලාව වෙනුවට ගීයේ අර්ථය මෙන් ම තාල රූප ද සැකසී ඇත්තේ දරුවාගේ මානසික මට්ටම හා නිදාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව මනා සම්බන්ධතාවකින් බව දඹානේ ගුණවර්ධන විසින් රචිත ‘වැදි ගී විමසුම’ ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. ඒ නිසා සාම්ප්‍රදායික වැදිජන නැළවිලි ගීවල නාද මාලාවන් ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන කොටස් තුනකින් හෝ හතරකින් සමන්විත වන බව ද එම ග්‍රන්ථයේ සඳහන් ය.
“පැටී මොන්නට අඬාන්නේ
ගෝනල බොක්කිට අඬාන්නේ
ඒකත් දීපව් පැටීට
පැටී මොන්නට අඬාන්නේ
හිරතල බොක්කිට අඬාන්නේ
ඒකත් දීපව් පැටීට
පැටී මොන්නට අඬාන්නේ
කටුවල බොක්කිට අඬාන්නේ
ඒකත් දීපව් පැටීට”
වැදි ජන ගී අතර දඩයම් හා සම්බන්ධ ගීත රැසක් දැකගත හැකි ය. සතෙකු දඩයම් කළ ආකාරය පිළිබඳව හා වනයේ සිදුවූ සිදුවීමත් පිළිබඳව මෙන් ම දඩයමට යාමට පෙර ස්වාභාවික පරිසරය පිළිබඳව කරන විග්‍රහයක් ඒ ගීතයන්ට මුල් වී ඇති අතර බොහෝ වැදි ජන ගී වලට පාදක වී ඇති නාද මාලාවන්ට වඩා දඩයම් යන වැද්දකු ගේ ගමනේ රිද්මය අනුව සැකසුණු නාද මාලාවකට අනුව ඒ ගීත ගායනා කරනු ලැබේ.
“ඒ අච්චි ඒ දෙයියෝ - ඒ අම්මි ඒ දෙයියෝ
ඉර පොජ්ජ පට ඇරිලා - හඳ පොජ්ජ පට ඇරිලා
උස් විලලං බල බලා - මිටි විල්ලං බල බලා
යමු නෑනි යමු දෙන්නා - යමු කැකුළි යමු දෙන්නා
කං ඊඳයි දෝ - බල බලා යමු නෑනි
කබරාවන් ඊඳයි දෝ - බල බලා යමු නෑනි
මුන්දිවත් ඊඳයි දෝ - බල බලා යමු නෑනි
යමු නෑනි යමු දෙන්නා - යමු කැකුළි යමු දෙන්නා”
ආදි වාසී වැදිජන සංස්කෘතියේ ආරම්භක අවධියේ මෙන් ම නර්තනය සඳහා ද රිද්ම ප්රකාශනය කරනු ලැබුවේ බඩේ බෙර ගැසීමෙනි.
ඉන් අනතුරුව ගසක බෙනයක් හමකින් ආවරණය කොට එයට තට්ටු කිරීමෙන් කිසියම් හඬක් නිපදවා ගනු ලැබූ වැදි ජනයා පසුකාලීනව විවිධ ස්වරූපයෙන් යුත් බෙර භාවිතයට හුරු පුරුදු වූහ. සෙලිග්මාන්වරුන්ගේ විමර්ශනයට අනුව සීතල වන්නියේ වැදි ජනයා ජීවත්වූ කාලයේදී වුව ද කිසිදු බෙර භාවිතයක් නොකළ බවත් සිංහල ගැමි සමාජය හා සමීප සම්බන්ධතාවක් පැවැත්වූ බණ්ඩාරදුව වැදි ජනයා පසුකාලීනව සිංහල බෙර පදවලට සමාන බෙර අවස්ථානුකූලව භාවිතා කළ බවත් සඳහන් ය. එමෙන් ම වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්වූ වැදිජනයා (Coast Vaddas) මේ කාලවකවානුව තුළ ද්‍රවිඩ ජාතීන්ගේ බෙරයට සමාන බෙරයක් භාවිතා කළ බව The Vaddas ග්‍රන්ථයේ සඳහන් කර ඇති අතර වර්තමානයේදී වැදි ජනයා අතර ප්‍රධාන පෙළේ වාද්‍ය භාණ්ඩයක් ලෙස බෙරය පාවිච්චි කිරීමෙන් ඒ බව තහවුරු වී තිබේ.
ශ්‍රී ලංකාවේ වැදි ජන සංගීතයේ නව ප්රවණතාවන් පිළිබඳව කරන විමර්ශනයකදී ගීත සාහිත්‍ය නාද මාලාවන් සහ සංගීත භාණ්ඩ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙනේ. බෙරයේ රිද්ම ප්රකාශනය අනුව කරනු ලබන සාම්ප්‍රදායික වැදි ජන ගීතය ආකර්ෂණීයව සහ නව ස්වරූපයකින් යුතුව ඉදිරිපත් කිරීම මෙන් ම වැදිජන සංස්කෘතියේ අනන්‍යතාව තවදුරටත් රැක ගනිමින් එම කාර්යයේ යෙදීම වඩාත් කැපී පෙනේ. වැදිජන සංගීතයේ විකාශනය පිළිබඳව සැලකීමේදී ඒ සංගීත භාවිතය වැදි ජනයාගේ සංගීතයේ නව ප්රවණතා ලෙස සැලකිය හැකි ය. වැදිජන ප්‍රජාවගේ සංගීතයේ නව ප්රවණතා නිර්මාණයන්හි ගීතවල දරු නැළවීම, දඩයම, ළමා හැඟීම්, ආදරය වැනි දෛනික ජීවිතයේ අවස්ථාවන් අන්තර්ගත බව පැහැදිලිවේ.
ඒ ගීත රචනා කිරීමේදී වැදි ජන භාෂාව යෙදෙන වචන පමණක් බහුලව භාවිතා කිරීම වැදගත් ලක්ෂණයකි. එම පැරණි වැදිජන ගී බහුතරයක සිංහල වචන මිශ්‍රවූ ස්වභාවක් හඳුනාගත හැකි ය. නව ගීත රචනයේදී වැදිජනයාගේ භාෂාවම භාවිතා කිරීමෙන් සිය අනන්‍යතාව රැක ගැනීමට උත්සාහ කළ බව ගීත රචක දඹානේ ගුණවර්ධන ගේ අදහස ය.
වැදි ජන සංගීතයේ නාද මාලාවන් සාම්ප්‍රදායික ශාන්තිකර්ම, තනු හා නැළවිලි, දඩයම්, ප්‍රේමාන්විත ගීතයන්හි පැරණි නාද මාලාවන්, සතුන් උදෙසා වාදනය කරන බෙරය ද මෙන් ම පැල් කවි වැනි ජන ගී කවි ආභාසයෙන් නිර්මාණය කර ඇති බව පෙනේ. වැදි ජනයාගේ නව නිර්මාණ ගීත අතර යාතුකර්මීය ගායනාවන් හෙවත් යැදීම උදෙසා නිර්මාණය කර ඇති ගීත කිහිපයක් ද හඳුනාගත හැකි ය. වැදි ජන ඇදහීම් අතර යක් දෙවිවරුන් හා කිරි අම්මාවරුන් පිදීමට ප්රමුඛ ස්ථානයක් ලබාදෙන අතර ඔවුන් යැදීම වැදි ජනයා ගී ගැයීමෙන් සිදු කරති. ‘කළුවන් කම්බිලියත්’ ‘ඉඳිගොල්ලේ කිරි අම්මා’, ‘දීගාලේ කිරි අම්මා’ වැනි යැදුම් ගීත ලෙස හඳුන්වා දිය හැකි ය. වැදිජන සංගීතයේ එන යැදීම, පිදීම, නැටීම යන අංශ ත්‍රිත්වයෙන් ම වැදිජනයා ගේ යැදුම් සංගීතය සමන්විත වී තිබේ.
වැදිජන සංගීතයේ එන ‘කළුවන් කම්බිලියන්’ (යැදුම් ගීයක්) පහත සඳහන් කරන අතර එහි අර්ථය වන්නේ දඩයමේ යෙදීමේදී කොටින්, වලසුන් වැනි භයානක සතුන් මග හරවා පෘෂ්ටිමත් ගෝනුන් මුවන් වැනි සතුන් පහසුවෙන් ම තමා වෙත ළං කර දුනහොත් ඒ සතුන් විද මරා පුච්චා ගත් මස් බුලත් අතු උඩ තබා පූජා පවත්වන බව ය.
“කළුවන් කම්බිලියන් - ගල්ගවරුන් මාගල්ලන්
අම්බිරියන් යම්බිරියන් - මස් බරියන් තෙල්බරියන්
ගම්මාලා පුච්චාලා - පන අතුපිට අතුරාලා
කළුකුම්බර දෙන්නං මං - රං දලුමුර දෙඤ්ඤං මං”
වැදිජනයාගේ යක් දෙවියන් ඇදහීම සමඟ විකාසය වී ඇති තවත් ඇදහීමක් වන්නේ කිරි අම්මාවරුන් ඇදහීමය. වැදි ජනයාගේ බිරියබැද්ද කිරිඅම්මා, පුෂ්ප රාග කිරිඅම්මා උනාපාන කිරිඅම්මා, කොස්ගම කිරි අම්මා, බෝවලගෙදර කිරිඅම්මා, ගිනි ජල දේවතා කිරිඅම්මා වැනි කිරි අම්මාවරුන් අතරින් ගෞරවනීය ස්ථානයක් හිමිවී ඇත්තේ හිඳිගොල්ලේ කිරිඅම්මාට සහ කැකුළපොළ කිරිඅම්මාට ය.
මේ කිරි අම්මාවරුන් බොහෝ දෙනෙකු වැදිජනයාගේ යක් දෙවිවරුන්ගේ භාර්යාවන් ලෙස සලකනු ලැබේ. ඒ කිරි අම්මාවරුන්ට පුද සත්කාර කිරීමෙන් වැදිජනතාව අපේක්ෂා කරන්නේ එදිනෙදා ජීවිතයේ කාර්යයන්හිදී ඔවුන්ගේ ආරක්ෂාව, කුඩා ළමුන්ගේ ආරක්ෂාව, බව බෝග සම්පත් වැඩි වර්ධනය වීම යන කරුණු ය.
වැදි ජනයාගේ නව නිර්මාණාත්මක ගී අතර කිරි අම්මාවරුන් පිදීම සඳහා වනයේදී සිදුකරන යැදුම් ගීත ද භාවිතා කරයි.
වැදි ජනයාගේ නව නිර්මාණ ගීත අතර දරු නැළවිලි ගීත සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. නැළවිලි ගීතයේ අරමුණ දරුවා නිදිකරවා ගැනීම වුවත් ඒ ගීවල අරුත සහ නාද මාලාව වැඩිහිටි අයකුට වුව ද රස විඳිය හැකි නිර්මාණයකි.
“අම්මි ලෝලි ලෝලොයියා
අප්පි රෝරි රෝරොයියා
පැටී මොන්නට අඬාන්නේ
උයල මලට අඬාන්නේ”
මේ නැළවිලි ගීය වැදි ජනයාගේ සාම්ප්‍රදායික සංගීත නාද මාලාව යම් ආකාරයකින් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ය.
වැදිජනයාගේ වර්තමාන සංගීත භාණ්ඩ අතර බෙරයට අමතරව ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය වූ සංගීත භාණ්ඩ සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතා කරන බව පෙනේ. ඔවුන් ස්වර වාද්‍ය භාණ්ඩයක් ලෙස භාවිතා කරන්නේ වස් දණ්ඩ හෙවත් බට නළාව පමණකි. එහෙත් වත්මන් ආදිවාසීන් සංගීතයේ රිද්මය පවත්වා ගැනීමේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයක් ලෙස යොදා ගත්තේ බෙරය සහ දවුල ය.
වැදිජනයා බෙරය හඳුන්වන්නේ ‘කඳේ කොටන යමකය’ ලෙසිනි. සිංහල ජන සංගීතයේ භාවිතා කරන බුම්මැඩිය නම් වූ වාද්‍ය භාණ්ඩයේ ආභාසයෙන් නිර්මාණය කරන ලද වාද්‍ය භාණ්ඩයක් ද වත්මන් වැදිජනයා භාවිතා කරති. ‘බුම්මැඩිය’ නමින් වැදිජනයා හඳුන්වන මේ වාද්‍ය භාණ්ඩය කොතලයක් හෙවත් කුඩා කළයක් තලගොයි හෝ මුව හමකින් ආවරණය කර හඬ නිපදවා ගන්නා වාද්‍ය භාණ්ඩයකි. හමට ඇති කරන යම් තෙරපීමක් මඟින් විවිධ ශබ්ද නිර්මාණය කළ හැකි ය.
වැදි ජන ප්‍රජාව විවිධ සෙලවුම් උපකරණ (Rattles) භාවිතයෙන් කිසියම් සංගීතාත්මක හඬක් නිපදවා ගැනීම අතීතයේ සිටම සිදුකර තිබේ. වර්තමානයේ දී ද වැදිජනයා මෙවැනි සංගීතාත්මක හඬක් උපදවා ගැනීමට උපකරණ කිහිපයක් නිර්මාණය කොට ඇති බව දැකගත හැකි ය. ඒ අතර පොල් ගෙඩියක මදය ඉවත් කොට එය ඇතුළත ඉතා කුඩා හෝ තරමක විශාල ඇට වර්ග යොදා නිර්මාණය කරන ලද වාද්‍ය භාණ්ඩයක් භාවිතා කරති. ‘චා’ ගස්වල කරල් මිටියක් ලෙස බැඳ කිසියම් හඬක් නිපදවීමට කටයුතු කරති.
ඔවුන් සිය සංගීතමය කාර්යයන්වලදී ස්වාභාවික පරිසරයෙන් සොයාගත හැකි ඝන වස්තුන්වලින් ද සංගීතමය හඬක් නිර්මාණය කරති. එබඳු නිර්මාණ අතර කොටයක ඇතුළත හාරා මුව හම් කැබලි ටිකකින් ආඝාත කිරීමත් සිදු කැරේ.
ඔවුන් වර්තමානයේදී භාවිතා කරන සංගීත භාණ්ඩ අතර ස්වාභාවික පරිසරය වැඩීම සඳහා මෙන් ම විවිධ සතුන්ගේ හඬ ලබා ගැනීමට නිර්මාණය කළ ඒවා ද දක්නට ලැබේ. දඩයම, පාරිසරික වර්ණනා වැනි කරුණු වැදි ජන ගීතයට පාදකවීම නිසා මෙම වාද්‍ය භාණ්ඩ ඒ නිර්මාණයන්හි සජීවී බව මෙන් ම ප්රසාංගික බව ද රැක ගැනීමට වඩාත් හේතු වී තිබේ.
එම භාණ්ඩ අතර දිවුල් ගෙඩියේ මදය ඉවත් කොට නිර්මාණය කරන ලද භාණ්ඩයෙන් කුරුලු හඬ, අලින්ගේ හඬ වැනි ශබ්ද මතු කරගෙන තිබේ. පොල් කටු භාවිතයෙන් නිපදවා ඇති භාණ්ඩය ගෙම්බෙකුගේ හඬ උපද්දවා ගැනීමට භාවිතා කරනු ලැබේ.
මෙම භාණ්ඩය නිර්මාණය කොට ඇත්තේ කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් කෑලි දෙකකට පළා එක් පලුවක් දැති සහිතව කපා එහි යට පැත්ත රබර් පටලයකින් ආවරණය කිරීමෙනි. එහි හඬ උත්පාදනය කරන්නේ පොල් ගෙඩියේ දෙවන කෑල්ල දැති සහිතව නිර්මාණය කළ කොටසෙහි ඇතිල්ලීමෙනි. වැදි ජනයාගේ සංගීත නිර්මාණ අතර කොටියකු කෑ ගසන හඬ මතු කරගත හැකි භාණ්ඩයක් ද දැකගත හැකි ය.
එය නිපදවා ඇත්තේ මැටි බඳුනකට හමක් බැඳ ඒ හම මැදින් දුම්මල ආලේප කළ නූලකින් සවි කිරීමෙනි. ඔවුන් බට්ච්චා යනුවෙන් හඳුන්වන මේ සරල උපකරණය පරිසරයේ විවිධ වූ හඬවල් උත්පාදනය කිරීමට යොදා ගෙන තිබේ. වැදි ජනයාගේ සංගීත භාණ්ඩ අතර ඔස්ට්‍රේලියාවේ ඇබොර්ජින්වරු ද භාවිතා කරන වර්ගයේ ඩිඩ්රිඩෝ (Dideridoo) නම් වාද්‍ය භාණ්ඩයක් ද වෙයි. ලී භාවිතයෙන් නිර්මාණය කොට ඇති මෙම වාද්‍ය භාණ්ඩය වැදි ජනයා භාවිතා කරන්නේ ගැඹුරු හඬක් නිපදවා ගැනීමට මෙන් ම විවිධ සතුන්ගේ හා පරිසරයේ ශබ්ද උත්පාදනය කිරීම සඳහා ය.
ශ්‍රී ලංකාවේ ආදිවාසි වැදි ජනතාව පිළිබඳ පර්යේෂකයන් ගේ අවධානය යොමු වන්නේ 19 වැනි සියවසේ මුල් භාගයේදී ය. මෙතෙක් සිදුකර ඇති විවිධ පර්යේෂණ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාවේ වැදි ජනයාගේ සංගීත ක්රමයේ විකාශනය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදුවී නොමැති අතර සෙලිග්මාන්වරුන්, හියු නෙවිල්, සුගතපාල ද සිල්වා, නන්දේව විජේසේකර, ඊ.එම්. රත්නපාල වැනි දේශීය හා විදේශීය පර්යේෂකයන් වැදි ජන ගීත සටහන් කර තැබීමට උත්සාහ කළ ද වැදි ජන සංගීතය පිළිබඳව සාකච්ඡා කර ඇත්තේ සුළු වශයෙන් බව පිළිගත යුතු ය.
විශේෂ ස්තුතිය - (කැලණි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාට සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ බාහිර කතිකාචාර්ය හරේන්ද්‍ර දේශප්‍රිය මහතාට)