
කේ. උදේනි අරුණසිරි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රත්නපුර
ස්තූපයක මූලික කොටස් හඳුනාගැනීමේදී පේසාව මත ගර්භය, ගර්භය මත හතැරැස්කොටුව, හතැරැස්කොටුව මත දේවතාකොටුව, දේවතාකොටුව මත කොත්කැරැල්ල, කොත්කැරැල්ල මත කොත ආදී ලෙස පිළිවෙළින් දක්වනු ලැබේ. නමුත් යමෙකු පේසාව මත ගර්භයත් එම ගර්භය මත නැවත පේසාවක්ද එම පේසාව මත ගර්භයක් යැයි සඳහන් කළහොත් මහත් ප්‍රහේලිකාවක් වනු ඇත. මන්ද මෙරට ප්‍රචලිත ස්තූප හැඩ අතර එවැනි ආකෘතික නිර්මාණ සාධක පිළිබඳ මෙතෙක් කථිකාවක් ඇති නොවීමයි. නමුත් එවැනි ස්තූප ත්‍රිත්වයක සාධක හමු වී ඇත. මේ ඒ ඓතිහාසික වාස්තු විද්‍යාත්මක නිර්මාණය පිළිබඳ කථිකාවකි.
සාම්ප්‍රදායික ස්තූප
පුරාණ ස්තූපයක ප්‍රධාන අංග ලෙස තුන්මහල් පේසාව, ගර්භය, හර්මිකාව, යූපය හා ඡත්රාවලිය හඳුනාගත හැකිය. පසුකාලීනව හර්මිකාව හතරැස් කොටුව බවටත්, යූපය දේවතා කොටුව බවටත්, ඡත්රාවලිය කොත්කැරැල්ල බවටත් විකාශනය වී තිබේ. ස්තූපයක වාස්තු විද්‍යා අංග අතර ගර්භයට ප්‍රධාන තැනක් හිමි වේ. ස්තූපයක හැඩය තීරණය වන්නේ ගර්භයේ හැඩය අනුවය. වෛජයන්ත පොතේ ස්තූප හැඩ 6ක් දක්වා ඇත. ඝණ්ටාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, ආම්ලාකාර යන්න එම හැඩ වේ. මංජු ශ්‍රී භාෂිත වාස්තු විද්‍යා ශාස්ත්‍රයේ ඉහත ස්තූප හැඩවලට අමතරව ප්ලාණ්ඩවාකාර නමින් ලූනු ගෙඩියක හැඩය ඇති ස්තූප හැඩයක් සඳහන් කර ඇත. ඒ අනුව ස්තූපයක ගර්භයට පසුව පිහිටියේ හර්මිකාව හෝ හතැරැස් කොටුවයි.
ද්වී මහල් ස්තූප
එම කිසිදු වාස්තුවිද්‍යා ශාස්ත්‍රයක ගර්භයක් මත නැවතත් පේසාවළලු පිහිටුවා කුඩා පූර්ණ ස්තූපයක් නිර්මාණය කළ බවට සඳහන් නොවේ. නමුත් එවන් ස්තූප නිර්මාණයන් පිළිබඳ මෙරටින් පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත. ලක්දිව ස්තූප නිර්මාණ තාක්ෂණයේ අපූර්වතම අත්හදා බැලීමක් ලෙස එම සොයාගැනීම පෙන්වාදිය හැකිය. ඊට දැක්විය හැකි නිදර්ශන කීපයකි.
1. දාගැබක් මත දාගැබක් කරවූ “ද්වී-මහල් ස්තූප” 3ක් මෙරටින් හමුවීම
2. එම ද්වී-මහල් ස්තූප 3 පුරාණ ලක්දිව මූලික බෙදීම් වූ රුහුණු, මායා, පිහිටි යන ප්‍රදේශ පදනම් කරගෙන ගොඩනඟා තිබීම
3. එම ද්වී-මහල් ස්තූප 3ම එකම රාජ්‍ය පාලකයෙකු විසින් නිර්මාණය කර තිබීම
4. එම ද්වී-මහල් ස්තූප 3ම ආගමික අවශ්යතාවන්ගෙන් බැහැරව පෞද්ගලික ස්මරණයන් සඳහා ගොඩනඟා තිබීම
එම ද්වී-මහල් ස්තූප තුන වන්නේ දැදිගම සූතිඝර චේතිය, පොලොන්නරුවේ දෙමළ මහා සෑය හා මොනරාගල යුදගනාව ස්තූපයයි. එම අපූර්වතම ස්තූප ත්‍රිත්වයේ නිර්මාතෘවරයා පුලතිසිපුර රජ කළ මහා පරාක්‍රමබාහු රජුය.
මහා පරාක්‍රමබාහු රජු ඉදි කළ ස්තූප අතරින් පුරාණ මායා රටේ සූතිඝර සෑය, පුරාණ පිහිට රටේ කළ දෙමළ මහා සෑය හා පුරාණ රුහුණූ රටේ ඉදි කළ රත්නාවලී සෑය (වර්තමානයේ යුදගනාව සෑය ලෙස හැඳින්වේ) මෙරට ස්තූප කලාවේ අපූර්වතම නිර්මාණයෝ වෙති. එහිදී තුන්මහල් පේසාව ඉදි කර ඒ මත ගර්භයෙන් අඩක් ඉදි කර ඇත. අනතුරුව අඩක් නිම කළ ගර්භයේ සමතලා ගඩොල් ඇතුරුම මත නැවතත් කුඩා ප්‍රමාණයේ ස්තූපයක් නිර්මාණය කර ඇත. එම කුඩා ස්තූපයේද පේසාව, ගර්භය ආදීවූ ස්තූපයක මූලිකාංග පැවැති බවට සාධක ලැබී තිබේ. එම ස්තූප තුනෙන් පරාක්‍රමබාහු රජු විසින් පළමුව නිර්මාණය කරන්නට යෙදුණ දෙමළ මහා සෑය විශාලවත් ඉන් අනතුරුව නිර්මාණය කරන ලද යුදගනාව සෑය ඊට වඩා ප්‍රමාණයෙන් කුඩාවත් එයින් පසු නිර්මාණය කරන ලද සූතිඝර චේතිය ඊටත් වඩා ප්‍රමාණයෙන් කුඩා වන පරිදිත් නිර්මාණය කර ඇත.
මහා පරාක්‍රබාහු රජු තමන් උපන් දැදිගම පුරවරයේ තමන් උපන් ස්ථානයේ සූතිඝර චේතිය ඉදි කර තිබේ. කාලයාගේ ඇවෑමෙන් නටඹුන්ව පැවැති එම ස්තූපය පරාක්‍රමබාහු රජු විසින් තමන් උපන් ස්ථානයේ කරන ලද දාගැබ විය හැකි බව එච්.ඩබ්. කොඩ්රින්ටන් 1930 දී ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳ පර්යේෂණය කිරීමට 1947 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කැණීම් ආරම්භ කරන ලදී. එම ස්තූපයේ වටප්රමාණය අඩි 804ක් ලෙසත් උස අඩි 47ක් බවත් අනාවරණය විය. පේසාවළලු තුන මත අඩක් නිම කරන ලද ගර්භය මත වූ තැනිතලාවේ මධ්‍යයට ආසන්නයේ තවත් කුඩා ස්තූපයක නටඹුන් හමුවී තිබේ. එහි පේසාවළලුවල නටඹුන් තිබූ බව එම කැණීම් වාර්තාවේ සඳහන් වේ.
පරාක්‍රමබාහු රජ විසින් කරවන ලද දෙමළ මහා සෑය ලද යුද ජයග්‍රහණය ස්මරණය කරනු පිණිස ඉදිකරන ලද්දකි. එම දාගැබේද දැනට ලැබී ඇති සාධක අනුව පේසා නිමවා ඒ මත ගර්භයෙන් අඩක් නිර්මාණය කර ඒ මත වූ පැතැලි මළුව මත කුඩා ස්තූපයක් නිර්මාණය කර ඇති බවට අනාවරණය වේ.
හෙතෙම තෙවනුව කරන්නට යෙදුණු රත්නාවලී දාගැබ (වර්තමාන යුදගනාව) තම මව වූ රත්නාවලී කුමරිය ස්මරණය කරනු පිණිස නිර්මාණය කරන ලද්දකි. වර්තමානයේ එහි උස මීටර් 26ක් වන අතර වටප්රමාණය අඩි 1038 අඟල් 6කි. එම ස්තූපය නිර්මාණයේදීද පේසාව මත ගර්භයෙන් අඩක් නිමවා ඒ මත වූ සමතලා බිමෙහි කුඩා ස්තූපයක් ගොඩනංවා තිබූ බවට සාධක ඇත.
කොටවෙහෙර සම්ප්රදාය
එම ස්තූප 3 සම්බන්ධයෙන් විද්වතුන් අතර පවතින එක් මතයක් වන්නේ ඒවා කොටවෙහෙර සම්ප්රදායේ ස්තූප බවය. ඒ මතයට අනුව කොටවෙහෙර සම්ප්රදායේ ස්තූපවල කොත්කැරැල්ලක් නැත.
නමුත් ස්තූප නිර්මාණ තාක්ෂණය පිළිබඳ උපදෙස් සපයා ඇති කිසිදු ඓතිහාසික ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථයක එවැනි සම්ප්රදායක් හෝ හැඩයක් පිළිබඳ සඳහන් වී නැත. ඒ අනුව එම මතය විවාදයට තුඩුදේ. නමුත් මෙරටින් එම හැඩයෙන් යුතු තවත් ස්තූප ගණනාවක් (ලාහුගල කොටවෙහෙර, දැලිවල කොටවෙහෙර) හමුවීමෙන් එය නව ආකෘතියක අත්හදා බැලීමක්ද නැතොහෙත් ස්තූප නිර්මාණය අතරමග ඇනහිටීමක්ද යන්න විමසා බැලිය යුතු වේ.
නමුත් සූතිඝර, යුදගනාව හා දෙමළ මහා සෑවල දක්නට ලැබෙන ආකෘතිය කොටවෙහෙර සම්ප්රදාය යැයි පෙන්වාදෙන ආකෘතිය ඉක්මවා යෑමක් බව පෙනේ.
කොටවෙහෙර සම්ප්රදායක් පිළිබඳ ප්‍රබල කථිකාවක් ගොඩනොනඟන විද්වතුන් ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථවල සඳහන් හැඩ පමණක් මෙරට ශේෂවී ඇති නටඹුන් ස්තූපයන්ගෙන් දැකීමට උත්සාහ ගැනීම නිසා එම ස්තූප තුනෙහි වන විශේෂත්වය මඟහැරී ඇති බව පෙනේ. පොලොන්නරුව ශුද්ධ චතුරස්රයේ ඇති සත් මහල් ප්රාසාදයද මෙරට විශේෂ ආකෘතියකින් හෙබි ස්තූපයකි. නමුත් මෙරටින් හමු වී ඇති උක්ත ද්වී-මහල් ස්තූප ආකෘතිය පිළිබඳ මෙතෙක් විශේෂ අවධානයක් යොමු වී නැති බව පෙනේ.
මහා පරාක්‍රමබාහු රජතුමා මුළු ලක්දිවම එක්සේසත් කර පරාක්‍රම සමුද්‍රය වැනි මහා සාගර බදු වාරිකර්මාන්ත ඉදි කර මහා වෙනසක් සිදු කළා සේම මෙරට ස්තූප නිර්මාණ තාක්ෂණයට නව ආකෘතියක් හඳුන්වා දෙමින් යම් අත්හදා බැලීමක් කිරීමට උත්සාහ කළ බවට අනුමාන කිරීම යුක්ති සහගතය. ඒ පිළිබඳ පැහැදිලි නිගමනයකට එළඹීමට කථිකාවක් අවශ්‍යය.