අප්‍රමාණ මනුෂ්‍යයෙකුගේ නික්ම යෑම | සිළුමිණ

අප්‍රමාණ මනුෂ්‍යයෙකුගේ නික්ම යෑම

ප්‍රසන්න රත්නායක වරලත් වාස්තු විද්‍යාඥ, 
අධ්‍යක්ෂ වාස්තු විද්‍යා සංරක්ෂණ 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ප්‍රමාණ මනුෂ්‍යයෙකු නික්ම ගොස් ඇත. විෂය පිරිසිඳ දත්, ස්වකීය දැනුම් ක්ෂේත්‍රය තුළ උත්තුංග පෞරුෂයකින් හැසිරුණු මේ විශිෂ්ට මිනිසා ලෝ පතළ ලාංකික විද්වතුන් කීප දෙනා අතර සිටි ප්‍රමුඛයෙකි.

සෙම්බුකුට්ටි ආරච්චිලාගේ රෝලන්ඩ් සිල්වා මහතා උපන්නේ වර්ෂ 1933 දී ය. ගිරිඋල්ල ප්‍රදේශයේ ප්‍ර‍කට ව්‍යාපාරික පවුලක උපන් හෙතෙම කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන්නේය. වර්ෂ 1950 දී හේ වාස්තු විද්‍යාව පිළිබඳ අධ්‍යපනය හැදෑරීම සඳහා ලන්ඩන් වාස්තු විද්‍යාඥ පාසලට ඇතුළත්ව වාස්තු විද්‍යාඥයෙකු වශයෙන් රාජකීය වාස්තු විද්‍යාඥ සංගමයේ සාමාජිකත්වය ලබාගන්නේය. ඒ අතරවාරයේම ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනයෙන් පුරාවිද්‍යාව ද හදාරන ඔහු ඉතාලියේ රෝම විශ්වවිද්‍යාලයෙන් වාස්තු විද්‍යාත්මක සංරක්ෂණය ද හදාරා 1960 දී නැවත ලංකාවට පැමිණෙන්නේය.

ඉන් අනතුරුව සහකාර කොමසාරිස් ( වාස්තු විද්‍යාඥ) තනතුරෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳෙන එතුමා 1958 දී ඉතාලියේ රෝම නගරයේ පිහිටුවන ලබන උරුම සංරක්ෂණ අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයෙන් සංරක්ෂණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකාවේ සංරක්ෂණ කටයුතු නව මානයකට ගෙන යෑමේ අඩිතාලම දමයි.

යුනෙස්කෝ ආයතනයේ උපදේශකත්වය දරන ඉකොමොස් අන්තර්ජාතික ආයතනයේ මුල් පෙළේ සාමාජිකයෙකු බවට පත් වන මෙතුමා, ශ්‍රි ලංකාවේ ද එහි ජාතික ශාඛාවක් පිහිටුවීම මඟින්, සංරක්ෂණය පිළිබඳ විවිධ විද්‍යාත්මක සහ පර්යේෂණාත්මක කටයුතු ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශයන් වෙතද දියත් කිරීමේ පුරෝගාමීත්වය ලබා දුන්නේය.

1988 දි නෙදර්ලන්තයේ කීර්තිමත් ලෙයිඩන් විශ්ව විද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය ලබාගන්නා රෝලන්ඩ් සිල්වා මහතා, 1990 දී මුල්ම ආසියාතිකයා වශයෙන් ඉකොමොස් ජාත්‍යන්තරයේ සභාපති ධුරයට පත් වීම ශ්‍රී ලංකාවේ උරුම කළමනාකරණ ක්ෂේත්‍ර‍ය ලද ජයක් වූයේය. වර්ෂ 1990 සිට 1999 දක්වා පිට පිට තුන් වතාවක්ම එම තනතුර නිතරගයෙන් ලැබීමම එතුමා උරුම සංරක්ෂණ ක්ෂේත්‍රයට සිදු කරන ලද අන්තර්ජාතික සේවාව පිළිබඳ ඇති ඉහළම ඇගයිම ලෙස සැලකිය හැකිය. ‍විශේෂයෙන්ම ලෝක උරුම ස්ථාන නම් කිරීම පිළිබඳ යුනෙස්කෝ ආයතනයේ උපදේශක ආයතනයේ සභාපතිවරයා වශයෙන් ඔහු ලෝක උරුම ස්ථාන තුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් නම් කිරීමේ කාර්යට සක්‍රියව උරදෙනු ලැබුවේය. දැනට ශ්‍රී ලංකාව තුළ නම් කර ඇති සංස්කෘතික ලෝක උරුම ස්ථාන හයම එතුමාගේ අප්‍ර‍තිහත උත්සාහය නිසාම ශ්‍රී ලංකාව ලද දායාදයන්ය.

වර්ෂ 1993 දී ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ඉකෝමෝස් ජාත්‍යන්තර ආයතනය එහි මහ සභාව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම, මෙරට සංස්කෘතික උරුම ක්ෂේත්‍රයේ නොමැකෙන සන්ධිස්ථානයක් වශයෙන් සැලකිය හැකිය. එදා මෙදා තුළ ශ්‍රි ලංකාවේ පැවති උරුම සංරක්ෂණ ක්ෂේත්‍රයේ උත්කර්ෂවත්ම උලෙළ එය ය. ඉන් ශ්‍රී‍ ලංකාවේ උරුම රැකීමට ලද පිටිවහල අදටද වලංගු වන්නේය.

1981 දී එතුමාගේ සංකල්පයක් අනුව බිහි කළ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය අද වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල ලෙස අපේ ජාතික උරුමය රැකදීමේ මූල්‍ය ප්‍ර‍භවය ලෙස ක්‍රියාත්මක වේ. එදා මෙදා තුළ සෑම රජයකින්ම අවම සැලකීමක් ලද උරුම සංරක්ෂණ ක්ෂේත්‍ර‍ය, රජයේ ප්‍ර‍තිපාදන පසුපස නොයා සංරක්ෂණය කර රැකගැනීමට එයින් ලැබුණේ නොමඳ සේවයකි. අයහපත් කළමනාකරණය නිසා අද වන විට දුර්වල තත්ත්වයක පැවතියද, එතුමා එම ආයතනය ගොඩ නැංවූයේ තම මූලික පහසුකම් පිළිබඳ පවා තැකීමෙන් තොරවය. මුල්ම අවදියේ යුනෙස්කෝ සහ ලෝක ආහාර සංවිධානයන්හි සහයෝගයෙන් ක්‍රියාත්මක කළ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය පසු කලෙක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ කටයුතුවලට පවා ප්‍ර‍තිපාදන ලබාදීමට තරම් බල සම්පන්න ආයතනයක් බවට පත් වන්නේ එතුමා ඒ සදහා දැමූ ශක්තිමත් අඩිතාලම හේතුවෙනි.

1983 දී පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත් වන ආචාර්ය රෝලන්ඩ් සිල්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නව ප්‍ර‍තිසංස්කරණ රැසක් වෙත යොමු කළේය. වාස්තු විද්‍යාඥයෙකු, පුරාවිද්‍යාඥයෙකු පමණක් නොව ජ්‍යේෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු ද වූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා ඉහළ දේශපාලන බළඇණිය මෙන්ම පහළ නිලධාරි සහ සේවක බළ මුළුව ද ඉතා සුහදශීලීවත්, නිත්‍යනුකූලවත් හසුරුවාගැනීමේ විශිෂ්ට පරිචයකින් හෙබියේය. සෘජුව සිය මතවාදය ඕනෑම සභාවක ගෙනහැර දැක්වීමට ඇවැසි පෞරුෂය ද, එයට අන් අය නැඹුරු කරගැනීමට වූ සහජ හැකියා ව ද එතුමා ප්‍රකට කළේය. තම අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක සෑම වැඩබිමකටම දිවා රෑ නොබලා පෞද්ගලිකවම ගොස් අවශ්‍ය උපදෙස් ලබාදෙන එතුමා, තම සේවක මණ්ඩලය තමා විසින් රැකගත යුතුය යන හැඟීමෙන් ක්‍රියා කළ නිසා සේවකයෝද නොබියව තම කටයුතු සෘජුව ඉටු කළහ.

1990 වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල ගොඩනඟා එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා සියලු රාජ්‍ය නිලධාරීන්ට ආදර්ශයක් වෙමින් වයස අවුරුදු පනස් හතේදී රාජ්‍ය සේවයට සමු දුන්නේ, එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වී සිටි එම්. එච් සිරිසෝම මහතාට අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වීමේ අවස්ථාව ලබාදෙමිනි. එතැන් සිට 1997 දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදල එහි ස්වර්ණමය යුගය කරා ගෙන ගිය ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයෙන් පිදුම් ලැබුවේය.

ඒ මහතා විසින් විවිධ සංවිධානයන්හි දරන ලද තනතුරු රාශියකි. වර්ෂ 1972/73 වසර දී ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ ආයතනයේ සභාපති ලෙස පත් වීම, නැෂනල් ට්‍ර‍ස්ට් සංවිධානය පිහිටුවා එහි සභාපති ධුරයට පත්වීම, ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ සභාව පිහිටුවීම සඳහා පුරෝගාමී වීම යනාදිය ඉතා වැදගත්කොට සැලකිය හැකිය. එමෙන්ම වාස්තු විද්‍යාඥ වෘත්තිය රජයේ දීප ව්‍යාප්ත සේවාවක් බවට කිරීම ද ඒ මහතාගේ දැඩි උත්සාහය මත සිදු විය.

ලොව පුරා උරුම සංරක්ෂණ වෘත්තිකයන් ලංකාවට පැමිණි විට සොයායන්නේ එතුමාය. අප විදෙස් රටකට ගිය විට විමසන්නේ එතුමා ගැනය. එතුමා විසින් ලොව පුරා සිදු කරන ලද දේශන දහස් ගණනකි. රචනා කරන ලද ග්‍රන්ථ රාශියකි. එතුමාගේ වියෝවින් පසු රට රටවල සිට අප වෙත ගලා එන ශෝක ප්‍රකාශ හා ගුණ වැයුම් එතුමා උරුම සංරක්ෂණ ක්ෂේත්‍රයට මොන තරම් මෙහෙයයක් ඉටු කළේදැයි පසක් කරයි.

එතුමාගේ අභාවප්‍රාප්ත වීමට හරියටම මසකට පෙර ඉකොමොස් ශ්‍රී ලංකා ආයතනය හා එක්ව ආචාර්ය ගාමිණී විජේසූරිය මහතාගේ මූලිකත්වයෙන් විශේෂ උපහාර උලෙළක් සංවිධානය කළේය. දෙස් විදෙස් විද්වත් උරුම සංරක්ෂකයන්ගේ සහ එතුමා සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ පැරැන්නන්ගේ සහභාගීත්වයෙන් එම උලෙළ සංවිධානය විය. එම උලෙළ එතුමා අප්‍රමාණ තෘප්තියට පත් කළේය. මේ වාසනාවන්ත විශිෂ්ටයා අවසන් ගමන් ගියේ ඒ තෘප්තිය ද සිත් දරාගෙන බව විශ්වාස කරමි.

Comments