නැති ව්‍යවස්ථාව සහ ඇති අවශ්‍යතාව | Page 3 | සිළුමිණ

නැති ව්‍යවස්ථාව සහ ඇති අවශ්‍යතාව

රටේ ව්‍යවස්ථාව පිළිබඳව පසුගිය මාස දෙක-තුන තරම් පුළුල් ලෙස කතා-බහට ලක් වූ සමයක් අපට මතක ඇති කාලයක තිබුණේ නැත. ඒ තත්ත්වයට හේතු වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ දේශපාලන පෙරළියයි. එය කොතෙක් දුරට ව්‍යවස්ථාවට අනුගතද යන්න පිළිබඳව දැඩි කතා-බහක් ඇති වූ අතර, රටේ ව්‍යවස්ථාව ගැන හාංකවිසියක් වත් නොදැන සිටි හෝ දැනගැනීමේ වුවමනාවකින් නොසිටි තරුණ-තරුණියන් පවා ව්‍යවස්ථාවේ පිටු පෙරළන්නට ගැනීම එක් අතකින් රටක් ලෙස සුබ නිමිත්තකි. ඒ මන්ද යත්: රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අතිශය වැදගත්කම රටේම දැඩි අවධානයට ලක් වූ බැවිනි.

ඕනෑම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලියවිල්ල එරට උත්තරීතර නීතිය වන්නේය. රාජ්‍යයක් රැඳී පවත්නා කුලුනු දරා සිටින සවිමත් අත්තිවාරම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එබැවින් පසුගිය වසර අවසානයේ අප රට වෙවුලවා හමා-ගිය දේශපාලන කුණාටුව හමුවේ පවා රටක් ලෙස ව්‍යවස්ථාවක පවතින වටිනාකම කෙරෙහි අවධානය යොමු වීම රටේ අනාගතය ගැන සැලකීමේදී හොඳ ලකුණකි.

මේ ව්‍යවස්ථා මාතෘකාව ගැන යළිත් පසුගිය සතිය තුළ අවධානයට ලක් වන්නේ රටට අලුතින් සකස් කිරීමට යන ව්‍යවස්ථාව ගැන පැතිර-ගිය කතාවලිනි. මීට පදනම් වන්නේ නව ව්‍යවස්ථාවක් මඟින් රට බෙදීමේ සූදානමක් ගැන දේශපාලන කතාවක් නිර්මාණය වීමය. මෙය සැබැවින්ම ජාති ආලය අවුස්සන, රට බෙදීමක් ගැන කියූ කතාවකි. මේ කතාවලට පදනම වන්නේ දැනට කෙටුම්පත් වීමට යන අලුත් ව්‍යවස්ථාව පිළිබඳ පුවතයි.

රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද යන කාරණය සම්බන්ධයෙන් විවිධ මතවාද පැවතුණද, මේ වන විට රටේ ව්‍යවස්දායකය - එනම්: පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ-විපක්ෂ සැම දේශපාලන නියෝජනයක්ම රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ. රටේ සැම ජන කොටසකටම බලය හිමි වන, එහෙත් ඒකීය රාජ්‍යයක් මත පදනම් වූ ව්‍යවස්ථාවක අවශ්‍යතාව මේ පක්ෂ පසුගිය කාලය පුරා කතා-බහට ලක් කොට ඇත. ඇතැම් විට එය සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින් සේම තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් හෝ විය හැකිය. කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ රාජකාරිය ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන්නේ ඒ අනුවය.

ව්‍යවස්ථාදායක සභාව මේ සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය පුරා අවස්ථා ගණනාවකදී රැස් වූහ. ඒ අනුව අලුත් ව්‍යවස්ථාව සැකසීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාගැනීමට රටේ සැම දේශපාලන පක්ෂයකම යෝජනාවලට අනුව වි‍ශේෂඥ කමිටු හයක් පත් කෙරිණි. මේ විශේෂඥ කමිටුවලට සැම වෘත්තීය ක්ෂේත්‍රයකම නියෝජනයක් පැවතිණි. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ මේ විශේෂඥයන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාය. ඒ වාර්තා ඉදිරිපත් වුවද, 'අලුත් ව්‍යවස්ථාවක්' කියා කිසිදු ලියවිල්ලක් තව මත් කෙටුම්පත් වී නැත; කෙටුම්පත් වුවද එය නෛතික ලියවිල්ලක් බවට පත් වන්නේ රටේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මත වීමකින් අනතුරුව පමණි.

මේ ව්‍යවස්ථා සම්පාදනයටද මූලිකව කටයුතු කළ විශේෂඥයන් සේම පාර්ලිමේන්තුව නියෝජනය කරන නීති සම්පාදකයන්ද අවධාරණය කළේ ව්‍යවස්ථාව ෆෙඩ්රල් නොවන, ඒකීය රාජ්‍යයක ආකෘතිය තුළ පවත්නා බවය; එමෙන්ම එමඟින් බුදුදහමට ප්‍රමුඛස්ථානය හිමි වන බවය. මේ තුළ බලය බෙදීම සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් වනු ඇති බවද මේ විශේෂඥයන් සඳහන් කර ති‍බේ. මේ විශේෂඥයන් අතර වුව මෙකී මතයට එරෙහිව යන්නනන්ද සිටිය හැකිය.

කෙසේ වෙතත් තව මත් ව්‍යවස්ථා කෙටුම්පතකට අත වත් තබා නැත. අද ව්‍යවස්ථාව පිළිබඳව ජනතාව තුළ හුඹස් බියක් නිර්මාණය කිරීමට උත්සාහ කරන ප්‍රමුඛ පෙළේ දේශපාලකයන් පවා එවැනි ආකෘතියක් සහිත අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව පසුගිය කාලය පුරා අවධාරණය කරමින් සිටියා මිස, කිසිදු විටෙක දැනට පවතින ව්‍යවස්ථාවම ප්‍රමාණවත් යැයි කීවේ නැත.

එහෙත් අද සිදු වන්නේ විපක්ෂය තම දේශපාලන බල ව්‍යාපෘතියේ පළමු බල කොල්ලය අසාර්ථක බව අත්දැක, දැනට පහළව නැති ව්‍යවස්ථාවක් ගැන බොරු භීතියක් ජනතාව හමුවේ මවා-පෑමය.

සැබැවින්ම දැන් සිදු විය යුත්තේ මේ අඳුරු වර්තමානයෙන් අනාගතයට යන පැහැදිලි මඟක් සෙවීමය. රටක් ලෙස මේ ව්‍යවස්ථාව ඊට මඟපෙන්වීමක් කරගත යුත්තේ අපගේ අනාගත පරම්පරාවලට වත් අර්බුදවලින් තොර රටක් නිර්මාණය කිරීම සඳහාය.

Comments