ලෝකයෙන් ලැබුණු සංචාරක සහතිකය | Page 3 | සිළුමිණ

ලෝකයෙන් ලැබුණු සංචාරක සහතිකය

කණ්ඩායම් හැටියට නොව, තනිවම හෝ දෙ-තුන් දෙනකු එක් වී හෝ ලෝකය වටේ යන සංචාරකයන් දැන් අපේ රටේද අඩුවක්-පාඩුවක් නැතිව දැකගත හැකිය. ඉස්සර වායුසමනය කළ සංචාරක බස් රථවලින් හෝ සුඛෝපභෝගි කාර්-වෑන්වල නැඟී අපේ රට මැදින් එහා-මෙහා ගිය සංචාරකයන් වෙනුවට අද දැකිය හැක්කේ එවැනි වාහනවල මෙන්ම බස් රිය, ත්‍රිරෝද රථ, දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවල අප විඳින අපහසුතාම අත්විඳිමින් යන සංචාරකයෝය. ඉස්සර සුපිරි හෝටලවල පමණක් දැකිය හැකි මේ සංචාරකයන් අද ගමේ හන්දියේ කඩේද සප්පායම් වනු දැකිය හැකිය. සංචාරක කර්මාන්තයේදී මෙවැනි සංචාරකයන් හඳුන්වන්නේ බැක් පැකර්ස් (Back Packers) ලෙසිනි. ලොව පුරා මෙලෙස ඇවිදින සංචාරකයන් ප්‍රමාණය මිලියන ... වන බව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය පවසයි. මේ සංචාරකයන් අතර වැඩියෙන්ම ප්‍රචලිත වෙබ් අඩවියක් වන්නේ ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) ය.

1970 සිට සංචාරක ක්ෂේත්‍රය සමඟ ගැටෙන ලෝන්ලි ප්ලැනට් ලොකයේම සංචාරකයන් අතර ජනප්‍රියත්වයක් උසුලන ඕස්ට්‍රේලියාව පාදක කරගත් ලෝකයේ පුමුඛ පෙළේ සංචාරක ප්‍රකාශන ආයතනයක් වන එය පසුගියදා ශ්‍රී ලංකාවට දිය හැකි උපරිම පිළිගැනීම ‍ගෙන දුන්නේය. ඉදිරි 2019 වසරේදී ලෝකයේ සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමෙනි. එය සැබැවින්ම රටක් ලෙස අප ලද දැවැන්ත අවස්ථාවකි. ඔවුන් මේ සමඟම ලෝකයේ සංචාරය කිරීමට හොඳම නගරය ලෙස ඩෙන්මාකයේ කෝපන්හේගන් නගරයත්, සංචාරය කිරීමට සුදුසුම පළාත ලෙස ඉතාලියේ හේගන් ප්‍රදේශයත් නම් කළේ ශ්‍රී ලංකාව පිළිබඳ ලෝකයේ ආකර්ෂණය වඩවන වීඩියෝ පටයක්ද මුදාහරිමිනි.

අද අපට පවතින ආර්ථික අභියෝග හමුවේ, සංචාරක ව්‍යාපාරය එයට මුහුණ දීම උදෙසා ස්වභාවධර්මය නිර්මාණය කළ ස්වර්ණමය අවස්ථාවකි. මේ අවස්ථාව මේ අයුරින් ලෝකයේ ඇගයීමට වර්ණනාවට ලක් වීම ජාතියක් ලෙස අප ලබන භාග්‍යයකි. පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අවධාරණය කළේ ලෝකය අපට දෙන මෙවැනි අවස්ථාවලින් උපරිම ප්‍රතිලාභ අත් කරගැනීමට අප ක්‍රමෝපායිකව කටයුතු කළ යුතු බවය. එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ 2015 වසරේ සිට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජය විසින් සකසන ලද ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළද අද ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ ලෝක ආකර්ෂණයට පාත්‍ර වීම කෙරෙහි දායකත්වයක් සලසා ඇති බවයි. එක් අතකින් සංචාරක ක්ෂේත්‍රයේ උන්නතියට අදාළ පසුබිම සැකසෙද්දී අද ශ්‍රී ලංකාව ලෝකය හමුවේ පිළිගන්නා රටක් ලෙස සටහන් වීමද එහිදී අපට එවැනි වර්ණනාවක් ලැබීමට බලපා ඇති සාධකයක් ලෙස නම් කළ හැකිය. එනම්: අද ලෝකයේ සංචාරය කරන්නන්ගේ නැඹුරුව හුදෙක් මානුෂවාදි, පරිසර හිතකාමි, ධරණීය වූ පිළිවෙතකට නැඹුරු වීමය. යම් රටක් කොතරම් සුන්දර වුවත් ඒ රට මානව හිමිකම් කඩ කරන්නේ නම්, පාරිසරික ප්‍රතිපත්ති උල්ලංඝනය කරන්නේ නම් වනජීවීන්ට අයුතු ලෙස සලකන්නේ නම් ඒ රටට යෑම ප්‍රතික්ෂේප කිරීම සංචාරකයන්ගේ පිළිවෙතයි.

පසුගිය රජය සමයේ පිබිදෙමින් පැවති සංචාරක ව්‍යාපාරය තංගල්ලේ සමුද්‍රතීර‍යෙන් මුහුදේ ගිල්වන තත්ත්වයක් ඇති කරනු ලැබිණි. ඒ, වෙරළාසන්න හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු ඝාතනය කොට, ඔහුගේ බිරිය දූෂණයට ලක් කිරීමේ සිද්ධිය හේතුවෙනි. එය සමස්ත ලෝක සංචාරක ප්‍රජාව තුළම ශ්‍රී ලංකාව දෙස ඇසක් හැර නොබලන මට්ටමේ පිළිකුලක් නිර්මාණය කළ සිදුවීමක් විය. මේ සිදුවීමට සම්බන්ධ එවකට රජයේ ඉහළම චරිතවල ආශීර්වාදය ලත් ප්‍රාදේශීය සභාපතිවරයෙක් අදටත් සිර දඬුවම් විඳියි. ඔහුට දුන් දඬුවම ප්‍රමාණවත් නොවන බව පවසා ඒ බ්‍රිතාන්‍ය සංචාරකයාගේ ඥාතීන් යළිත් වරක් මෙරට අධිකරණයේ පිහිට පතන්නට සූදානම් වන බව පසුගියදා වාර්තා වීමෙන් පෙනී යන්නේ ඔවුන් කෙරෙහි ශ්‍රී ලංකාව හා ඒ සිදුවීම කෙරෙහි කොතරම් අප්‍රසාදයක් තවමත් පවතින්නේද යන්නය.

කෙසේ වෙතත් අද රටක් ලෙස මෙරට නීතිය-රීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙයි; සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් මෑතකාලීනව විශාල වශයෙන් වර්ධනය වී ඇත. එහෙත් මිලියන ගණනක් වියදම් කර හෝ අපට අත් කරගත නොහැකි කීර්තිය සංචාරකයන් අතරේ රැකගැනීම තවදුරටත් අභියෝගයකි. මේ අභියෝගය තනිකරම සංචාරක ක්ෂේත්‍රය හසුරුවන පුද්ගලයන් මතම පැටවීම අසාධාරණය. ඒ මන්ද යත්: රාජ්‍ය තන්ත්‍රයේ සෙසු අංශ සේම රටක් ලෙස මෙරට සැම පුරවැසියකුම ඊට අදාළ පසුබිම සකස් කළ යුතු වීමය.

අද මේ රටේ සංචාරය කරන මෙවැනි සංචාරකයන් පෙළන දැවැන්ත ගැටලු තිබේ. පොදු ප්‍රවාහනය එක් ගැටලුවකි. ඔවුන්ට ඔවුන්ගේ රටවලට සාපෙක්ෂව නිශ්චිත ගමනාන්තයකට යෑම සඳහා අප රටේ බස් රියකට හෝ දුම්රියකට නැඟීම දැවැන්ත අභියෝගයකි. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල තවමත් සංචාරකයන්ට උචිත යටිතල පහසුකම් නිර්මාණය වී නැත. අනෙක් අතට මේ සංචාරකයන් කිසිදු අයුරකින් කිසිදු තැනකදී කිසිදු අපහසුතාවකට පත් නොකිරීමටත්, ඔවුන්ට උපරිම සත්කාරය සැලසීමටත් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාට සේම සමස්ත ජනතාවටම වගකීමක් ඇත. හේතුව: මේ අය තම පිටේ එල්ලාගෙන යන ගමන් මල්ලේ බරටත් මිලියන ගුණයක් වැඩියෙන් තිබෙන අපේ රටේ ණය බර මල්ල ඇතුළු දහසකුත් ප්‍රශ්න විසඳන රන් ආකර ඔවුන් විය හැකි නිසාය.

Comments