
අද කජු ගැන විශාල කතාබහක් දේශපාලන කරළියේ සේම සමාජ ජාල අඩවි තුළ සහ අන්තර්ජාතික මාධ්‍ය ඔස්සේද සිදු වෙමින් තිබේ. ඒ වෙනෙකක් නිසා නොව; ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි. ජනාධිපතිවරයා එහිදී මතු කළේ රටේ ජාතික ගුවන් සේවයේදී තමා වෙත පිළිගැන්වුණු තත්ත්වයෙන් බාල කජු පිළිබඳ කතාවකි. මේ කතාව ඔහු විසින් සිදු කරන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව ආමන්ත්‍රණය කරමින් සහ ඔවුන්ට එය අදාළ කරමිනි. කෙසේ වුවද මේ කතාවට රටේ ජාතික ගුවන් සේවයද සම්බන්ධ වීම නිසා ඒ ප්‍රකාශය ගුවන් යානයක් සේම ලෝකය පුරා සැණෙකින් ඉගිළ ගියේය. මේ ප්‍රකාශයට කවුරුන් කවර අර්ථකථන සපයන්නට උත්සාහ ගත්තද ජනාධිපතිවරයා විසින් මතු කරන ලද කාරණය ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳවම කාගේත් ඇස් ඇරවීමට තරම් සමත් වූ සැර ප්‍රකාශයක් බව පැහැදිලිය.
ජනාධිපතිවරයා හම්බන්තොට ගොවි ජනතාව හමුවේ කළ කතාව අන්තර්ජාතික මාධ්‍ය තදින් අල්ලාගත්තේ එයට රටේ ජාතික ගුවන් සේවයද සම්බන්ධ වීම හේතුවෙනි. මේ කතාබහට හුදෙක් පදනම වී ඇත්තේ පසුගිය රජය සමයේ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනාගේ සභාපතිත්වයෙන් සිදු කෙරුණු ක්‍රියාකලාපයන් හේතුවෙන් විඳින්නට සිදුව ඇති කෝටි ගණන් පාඩුය. මේ පාඩු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ කොමිසන් සභාවේදී දිගහැරීමත් සමඟ මේ වන විට ලෝකයේ ගුවන් ගමන් කර්මාන්තය තුළ සේම ව්‍යාපාරික ලෝකය තුළද ඒ ගැන දැඩි කතාබහක් නිර්මාණය විය. එහිදී සභාපතිවරයාගේ තනි මතයට ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලින් පැය කිහිපයක් තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කෝටි ගණන් පාඩු සිදු වූවා පමණක් නොව, ගුවන් මඟීන් අතර අපකීර්තියට ලක් වීමටද හේතු විය. එය එක් කතාවකි.
ජනාධිපතිවරයාගේ මේ කජු පිළිබඳ කතාවෙන් අපේ ඇස් ඇරවන තවත් පැතිකඩක් අනාවරණය විය. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු ජාතික ගුවන් සේවය තමා වෙත කජු සපයන ඩුබායිහි සැපයුම්කරුවාගෙන් කජු ලබාගැනීම වහාම අත්හිටුවූ බව ප්‍රකාශ කිරීමත් සමඟය. ඇස් ඇරවන කරුණ නම්: ශ්‍රී ලංකාවේ කීර්තිමත් කජු නිෂ්පාදනයක් තිබියදී, රජයට අයත් කජු සංස්ථාවක් පමණක් නොව අන්තර්ජාතික මට්ටමේ කජු නිපදවන මෙන්ම ඇසුරුම් කරන නිෂ්පාදකයන් සිටියදී ඩුබාහි සැපයුම්කරුවකුගෙන් මිලට ගත් විදේශීය කජු අපේ ගුවන් සේවය තුළදී මඟීන් වෙත පිරිනැමීමය.
ජනපතිවරයාගේ මේ කජු පිළිබඳ කතාවට තවත් අරුතක් දුන් ඉන්දීය වෙබ් අඩවියක් ශ්‍රී ලංකාවේ වැවෙන කජුවල, ඉන්දීය නිෂ්පාදනද අබිබවා ගිය ගුණාත්මක බව ගැන සඳහන් කළේය. අපේ රටේ වැවෙන තේ, කජු, ගම්මිරිස්, කරාබු කුරුඳු ආදි බොහෝ බෝගවලට මේ ගුණාත්මක බවේ අනන්‍ය කීර්තියක් ඇත. එවැනි ගුණාත්මක දේ තිබියදී ජාතික ගුවන් සේවය තම අනන්‍යතා බිඳගෙන විදේශයකින් ගෙන්වූ කජු නිෂ්පාදන භාවිත කිරීම අප කෙසේ අර්ථ ගැන්විය යුතුද? ජාතික ගුවන් සේවාව බඳු අමිල සංචාරක ප්‍රචාරණ මාධ්‍යයක වැඩිවැඩියෙන් දේශීය නිෂ්පාදන ඉස්මතු කිරීම ප්‍රතිපත්තියක් ලෙස රටක් පිළිපැදිය යුතු කරුණක් බවටද මේ කජු කතාව අපගේ ඇස් අරවයි.
අපේ රටේ පසුගිය 2017 වසරේ කජු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 60කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කොට ඇති අතර, එයින් ලද ආදායම රුපියල් මිලියන 143.5කි. මේ අපනයනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මැද-පෙරදිගටද යැවෙයි. ඩුබායි වැනි රටවල සිටින ඇතැම් ව්‍යවසායකයෝ විදෙස්වලින් ගෙන්වනු ලබන කජු අලංකෘත ඇසුරුම්වල බහා අගය වැඩි කොට ප්‍රති-අපනයනය කරති. එය ඔවුන්ගේ රටට විශාල ආදායම් ගෙන-දෙන ව්‍යාපාර ක්ෂේත්‍රයකි. අපේ රටේ තේ නිෂ්පාදන පවා ඔවුහු තොග වශයෙන් රැගෙන ගොස් විවිධ සන්නාම යටතේ ලෝකය පුරා අලෙවි කරති. අපේ ගුවන් සේවයටද කජු ගෙනැවිත් තිබුණේ ඩුබායි සැපයුම්කරුවකුගෙනි. මෙහිදී අපේ ඇස් අරවන තවත් කරුණක් නම් අපේ නිෂ්පාදනවලට අපටම වැඩි අගයක් දී අපනයනය කිරීමේ පවතින අවස්ථා පිළිබඳවය.
අද රටක් ලෙස අපි විදේශ ණය බරින් මිරිකී හිඳින්නෙමු. අනෙක් අතට ලෝක ආර්ථික සාධක හමුවේ, ඇමෙරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ශක්තිමත් වීම හමුවේ දැවැන්ත විනිමය අභියෝගයකට රටක් ලෙස මුහුණ දී සිටින්නෙමු. මේ අභියෝග දෙක හමුවේම අපට ඇති හොඳම අවස්ථාවක් වන්නේ අපනයන ආදායම වැඩි කරවීමයි. කජු පමණක් නොව, අපේ රටේ පවතින ජෛව කෘෂි භෝග සම්පත් අද කාලයේ වෙළෙඳපොළේ ඩොලර ඉල්ලම් බවට පත් කළ හැකි තැන් බොහෝ තිබේ. ඒ ගැන මේ කජු කතාව ඇසුරෙන් අපට ගෙන එන්නේ බරපතළ පණිවිඩයකි.