වැවට පණ දෙමු | Page 3 | සිළුමිණ

වැවට පණ දෙමු

වාරි තාක්ෂණයේ සහ සංස්කෘතියේ න්‍යාය වුයේ ද ” අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මිස මුහුදට යෑමට ඉඩ නොදිය යුතුය” යන සංකල්පයයි.

කෘෂි කර්මාන්තයේ අංශ රැසක ප්‍රවර්ධනය වෙනුවෙන් වැව් දහසක් – ගම් දහසක් ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ ආණ්ඩුව විසින් ආරම්භකොට තිබේ. ඒ අනුව මෙරට වැව් පද්ධතිය තුළ ඇති කුඩා වැව් 13,000ට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 9000ක් රජය විසින් වෙන් කොට ඇත.

වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කඩිනමින් කෙරෙමින් පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මීට පෙර රඹකැන්ඔය ඉඩම් ඔප්පු ප්‍රදානයකදී පැවසීය. මෙය ක්‍රියාත්මක වනුයේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියට සමාන්තරව ය. වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍යායතනවල සහාය ලැබී තිබේ. මොරගහකන්ද කළුගඟ සහ වැව් 2400 වැඩසටහන රටේ සෑම ක්ෂේත්‍රයක ම සංවර්ධනයට පදනම වනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහසයි.

මෙයින් පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් වත්මන් රජය මඟින් ආරම්භ කර ඇති වැදගත් ව්‍යාපෘති පිළිබඳ ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදුවී නොමැති බව ය. එය රජය පාර්ශ්වයෙන් කැපී පෙනෙන අඩුපාඩුවකි.

මොරගහකන්ද කළුගඟ මහා ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන සැලැස්මේ කුටප්‍රාප්තිය ලෙස සැලකිය හැකිය. මෙහි වයඹ මහ ඇළ සහ උතුරු මැද මහ ඇළ දැවැන්ත නිර්මාණයකි. විශේෂයෙන් ම උතුරු මැද මහ ඇළ උතුරු පළාත දක්වා විහිදෙයි. මහවැලි යෝධ සැලැස්ම ක්‍රියාත්මක කිරීම මීට වඩා ඉක්මන් වූයේ නම් දකුණේ පාලකයන් උතුරට වෙනම හැන්දකින් බෙදන බවට ඇති චෝදනාව ද අහෝසි වන්නට ඉඩ තිබිණ. එහෙයින් මෙය යහපාලන රජය යටතේ ක්‍රියාත්මක වූ විශිෂ්ට වාරි නිර්මාණයක් ලෙස පිළිගත හැකිය.

මහා ජලාශ සහ අැළ මාර්ග සංවර්ධනය කිරීමට සමාන්තරව වැව් පිළිසකර කිරීම වැදගත් වන්නේ ඒවායින් බොහොමයක් පුරන්වෙමින් පවතින හෙයිනි. ජනාධිපතිවරයාගේ අදහස වන්නේ මෙතරම් වැව් සංඛ්‍යාවක් පිළිසකර කෙරෙන පළමු අවස්ථාව මෙය බවයි. මෙහිදී තවත් වැදගත් කරුණක් සිහිපත් කළ යුතුය. එනම් මෙතෙක් කල් ක්‍රියාත්මක වූ වැව් ප්‍රතිසංස්කරණ අසාර්ථක වූයේ මන්ද යන්න ය. ජවිපෙ වැව් දහස වැඩසටහන ආසන්නම අත්දැකීමයි. මෙය ක්‍රියාත්මක වූයේ පරිවාස ආණ්ඩු සමයෙහිදී ය. පිළිසකර කළ වැව් විශාල ගණනක් කෙටි කලකදී පරණ තත්ත්වයට පත් විය. වැව තනි ඒකකයක් හෙවත් ටැංකියක් ලෙස සලකා කටයුතු කිරීම මීට හේතුවයි. වැව යනු පද්ධතියක කොටසකි.

සිංහල සංස්කෘතියෙහි පදනම වැටුණේ ප්‍රථම වැව කැණවූ පණ්ඩුකාභයගෙන් යැයි මාර්ටින් වික්‍රමසිංහ පැවසීය. පොදු ජනකායක් හැටියට ලාංකිකයා එකට බැඳ තැබීමට වැව් හේතු වූ බව ඔහුගේ නිරීක්ෂණයයි. එදා තිබූ වැව් සංස්කෘතිය අද එලෙසම දක්නට නැත. එහෙත් ජන දිවියෙහි කෘෂිකාර්මික පදනම උඩුයටිකුරු වන වෙනසක් ද සිදු වී නැත. මෙරට ආර්ථිකයෙහි කෘෂිකාර්මික දායකත්වය සංඛ්‍යා දත්තවලින් එහාට ගිය එකකි. වැව් ගම්මානවල පොදු ලක්ෂණය වන්නේ ගොවිතැනට අමතරව තවත් ප්‍රයෝජන රාශියක් ඇති බවය.

වැව පද්ධතියක් ලෙස සැලකිය හැකි වන්නේ ඊට අනුබද්ධ ව පෝෂක හා පෝෂිත ප්‍රදේශ, රක්ෂිතය, කුළු වැව් යනාදී අංග රැසක් ඇති හෙයිනි. මෙය පරිසර පද්ධතියකි. වැවක් පිරෙන විට ඉහත්තාවේ පොල් ඉඩම් යටවීමෙන් පෙනෙන්නේ වැව තම මායිම ලකුණු කර ඇති බව හා වැව් රක්ෂිතය කලක් තිස්සේ දේශපාලන බලවතුන් ආධාරකරුවන්ට සැලකීම සඳහා භාවිත කර ඇති බව ය. වැව් රක්ෂිත වැනසීමෙන් කුළු වැව් විනාශ වීම නිසා කෙටි කලකදී වැව සිඳෙයි; සෝදා පාළුවට ලක් වෙයි. මේ නිසා වැව් පිළිසකර කිරීමේදී වැව හාරා පස් ගොඩ දැමීමෙන් පලක් නොවේ. දැඩි නීති පනවා වැවට අනුබද්ධ පරිසර පද්ධතිය ආරක්ෂා කළ යුතුය. වැව් පිළිසකර කිරීම සඳහා යොදන මුදල් සම්භාරය අර්ථවත් වන්නේ එවිට ය. ලංකාවේ සිදුවූ මුල් ම ආර්ය සංක්‍රමණය වන විජයාගමනයේ සිට සෑම සංක්‍රමණිකයකුම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිත ව ය. එනම් ආර්යයන් විසින් ඇරඹි ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම, උපතිස්ස ග්‍රාම, විජිත ග්‍රාම, ඌරුවෙල ජනපදය, දීඝායු, කතරගම, සඳුන්ගම, මාගම, රාමගොකණ්ණ, කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය, කලා ඔය, දැදුරු ඔය, මහවැලි ගඟ, ගල් ඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය,වලවේ ගඟ, කැලණි ගඟ යන ගංගා මිටියාවත් ආශ්‍රිතව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ බිහිවු වැව් ලොව කිසිම තැනක ජලය රඳවා ගන්නා ජලාශයකට සමාන නොවේ. එය විශිෂ්ට නිර්මාණයකි. සංස්කෘතියේ හා සභ්‍යත්වයේ මාහැඟි සංකලනයකි. එය ස්වරූපයෙන් මෙන්ම කාර්යයයෙන් ද වෙනස් විය. මහවැව්, ගම් වැව්, කුළු වැව් ඒ අතර වේ. “තලා”, “කුළු” හෙවත් “කුලම” යන නම්වලින් අතීතයේ දී වැව හඳුන්වනු ලැබුවා. “කුළු” යනු ඉහළින් පිහිටි යන්න ය. වැව් ජලය පරිහරණය කරන කෘෂිකාර්මික බිම් පෙදෙස්වල ඉහළින් ම පිහිටියේ වැව නිසා එය “කුළු” යන නමින් හඳුන්වන්නට පැරැණියන් පෙලඹෙන්නට ඇත. යනුවෙන්, 'අපේ ශිෂ්ටාචාරයේ පදනම වැටුණු වැව් පද්ධතිය 'කෘතියෙහි පවසයි. “වැව” යන සිංහල වදන පාලි හා සංස්කෘත භාෂාවල එන “වාපි” යන්නෙන් බිඳුණකි. පැරණි සෙල් ලිපිවල මෙය “වපි” හා “වචි” යනුවෙන් දැක්වේ. වැව් 2400 වැඩසටහන ඵල දැරීමට නම් වැව් හාරා පස් ගොඩ දැමීමෙන් ඔබ්බට ගොස් වැව හා අනුබද්ධ පරිසරය ආරක්ෂා කිරීමේ පියවර තැබිය යුතුය.

Comments