පතොක් මල් පිපිලා... ඉරබට තරුව ආයෙමත් පායලා... | Page 8 | සිළුමිණ

පතොක් මල් පිපිලා... ඉරබට තරුව ආයෙමත් පායලා...

 අඳුර ලෝකයම වෙළා ගන්නා තෙක් බලාපොරොත්තුව දෑතින් ගුළි කරගෙන උන්නු ඔබ රාත්‍රියේ එළියට ඇවිදින්, රාත්‍රිය මනරම් කියලා ඒ රාත්‍රියට පෙම් බඳිනවා. මේ අන්ධකාරය මැද්දෙන් කොහෙට, කොහොම යන්න ද...?

සේපාලිකා මල් සුවඳ එක්ක නැවුම් උඩු හුළඟ ඔබ හොයනවා. එක පාරටම ඔවුන්ට ඔබ ඉන්න ඉසව්ව හොයා ගන්න බැහැ. ඒත් ඔබ ඔවුන් හොයාන යාවි තව මොහොතකින්. මමත් දැක්කා ඉරබට තරුව පායලා බටහිර අහසේ, දීප්තියෙන් දිදුලනවා. ඔබ පාර හොයන්නේ ඒ තරු එළියෙන් ද...? ඇරත් අවරගිර අහස දිහා බලාන...? මේ මොහොත වෙන තුරු ඔබේ හිත වාගෙම දාහක් හිත් රවටා ගත්තු ඒ තරුව මඟ පෙන්නාවි ද ක්‍ෂේම භූමියකට...? කවි හිත් අද්දරට වෙලා මොන තරම් අය තරුවෙන් පාර අහනවා ද...? ඒත් කවුද ඒ පාර හොයා ගත්තේ...? ඔබ තරු පිරුණු අහස දිහා බලාගෙන අඳුරට සිනහව පතුරවනවා. ඒත් සුසුම් තවරාගෙන. ඒ සිනහව මද පවනක් වෙන්නේ කලාතුරකින්. ඔබ හොයන උඩු හුළඟ කැමතියි ඒ සිනහව සුසුම් විතරක් ම වෙනවා නම්. ඒ සුසුම් මහා සැඩ මාරුතයක් කරගෙන හමාගෙන යන්න තියෙන කැමැත්ත නිසා.

ඇස් කෙවෙන තුරු ඔබ අහස දිහා දෑස දල්වන් බලාගෙන. ඉරබට තරුව නිවී යන වාරයක් පාසාම අන්ධකාරයේ වුණත් දිලිසෙන ඔබේ දෑස්වල බලාපොරොත්තු දාහක් වියැකෙනවා. ආපහු තරුව දැල්වෙද්දී ඔබේ බලාපොරොත්තු උපදිනවා, දස දහස් වාරයක්...

සුළඟ හතර වටෙන්ම ඔබේ මුළු ගතම වෙළා ගන්නවා. ඒත් ඔබ නිහඬයි. ඒ හුළඟට බැහැ ඔබ අවදි කරන්න. අඩු තරමින් ඒත් එක්ක දැවටුණු සේපාලිකා මල් පුසුඹවත් ඔබට දැනෙන්නේ නැහැ. මොන තරම් වාරයක් හුළඟ ඔබට අඬ ගහනවා ද “එන්න මම පාර කියන්නම්. මගේ අතින් අල්ලා ගන්න.” ඒ හඬ ආරාධනාවකින් එහාට ගිහින්. දැන් ආයාචනයක්. තව මොහොතකින් හීන් කෙඳුරුමක් වේවි. අවසානයේ ඉකි බිඳින හඬ මටත් ඇහෙනවා. ඔබ බොහෝ දුරක් ඇවිදගෙන ඇවිත්. කඳු හෙල්වලින් විතරක්ම නෙවෙයි. සාගරය මතිනුත් ඇවිත්. වේදනාවෙන් රිදුම් දෙන දෙපා ගැටෙන හඬ හදවත්වලට පහර පිට පහර දෙනවා.

මොහොතකින් ලෝකය නවතිනවා. අහසම හොයපු ඔබේ දෙනෙත් බිමට බර වෙලා මොනවාද හොයනවා. මම මෙතුවක් පුංචි පිණි බින්ඳු වලට ඔබට කියන්නැයි කියූ පණිවිඩය ඔබට ඇහිලා. පතොක් පඳුරුවල කටු අග තැවරුණ පිනි කැට ඇඟිලි තුඩුවල දැවටෙනවා. තවත් ඇසිල්ලකින් දෙතොල් කෙළවර සුසුම්වලින් නැගෙන උණුසුම හොයාගෙන ඒ හුස්මට ගුලිවේවි. ඔබ අයිති ඒ පතොක් මල් පඳුරුවලට විතරමයි.

ඒ පිණි බිඳු අඬගහනවා ඔබට ආපසු යන්න එන්න කියලා. සත්තකින් ම ඔබට යන්න හැකි වේවි ආපහු මඟ වැරදුණු දෙමංසල අසලට. කබොක් ගල් කැට උඩින් ඔබ එද්දී පින්න තැවරුණු දෙපා සටහන් අපූරුවට ඇඳිලා. ඒ පියවරවල මුල්ම සිත්තම මැකෙන්න පටන් අරන්. ඒ මුල් සිත්තම ළඟ මම බලාගෙන ඉන්නවා. මගේ හිත කෑ ගහනවා ඇත්තටම ඔබ එනවා කියලා. දැන් නම් මටත් දැනෙනවා සේපාලිකා මල්වල සුවඳ.

ඒත් ඔබ වෙනුවෙන් මට ඉතිරි කර ගන්න පුළුවන් වුණේ මට ම විතරක් සුවඳ දැනෙන පතොක් මල් දෙකක් විතරමයි.

චමත්ක

Comments