දූපතක් නෙමෙයි ලංකාව මහාද්වීපයක් | සිළුමිණ

දූපතක් නෙමෙයි ලංකාව මහාද්වීපයක්

 ‘මං හිතාගෙන හිටියේ ලංකාව කියන්නේ මගෙ ඔෆීස් එකයි ගෙදරයි විතරයි කියලා’

‘අවුරුදු කාලේ තමයි මට රටක් තියෙනවා කියලා දැනුණේ’

‘ටීවී එකෙන් රට දකිනවා වෙනුවට මං අවුරුදු කාලේ ඇස් දෙකෙන් රට දැක්කා’

‘ෆේස්බුක් කියන එක වැලිකඩටත් වඩා හිර ගෙදරක්’

‘ඒ හිරගෙදරින් නිදහස් වෙලා අවුරුදු කාලේ ළමයි ළපටි එක්ක රට පුරා පියාසර කෙරුවා’

‘සමහරු රට පුරා පියාසර කෙරුවේ ෆේස්බුක් එකට අමුද්‍රව්‍ය හොයා ගන්න’

‘රටපුරා ඇවිදිනකොට තමයි දැනුණේ මෙහෙම ඇවිදින්න තියෙන රටක් ලෝකේ කොහේවත් නැති බව’

’මුහුද නම් මුහුද, කඳුකරය නම් කඳුකරය, තැනිතලා නම් තැනිතලා, සිද්ධස්ථාන නම් සිද්ධස්ථාන. ලංකාව ඇතුළේ ලෝකයක් තියෙනවා’

’ඇත්තටම රට පුරා ඇවිදින කොට ප්‍රශ්නයක් ඇතිවෙනවා ලංකාව ලෝකයටත් වඩා විශාල ද කියලා’

‘එහෙම රටටත් සමහරු කියනවා දූපතක් කියලා’

‘දූපතක් නෙමෙයි ලංකාව මහාද්වීපයක්’

‘හුම්මානය වගේ තැනක් සිංගප්පූරුවේ තිබුණානම් අපේ හුම්මානය බලන්න එන සංචාරකයෝ වගේ දාස් ගුණයක් එතෙන්ට එනවා’

‘ලංකාවේ තියෙන හුම්මානය වීකිපිඩියා එකේ තියෙන විදිහට ලෝකේ දෙවන විශාලතම හුම්මානය’

‘ලෝකේ විශාලම එක තියෙන්නේ හවායිවල කියනවා’

‘ඒත් යූටියුබ් එකේ හවායි හුම්මානේ තියෙන වීඩියෝ බලද්දි මට හිතුණේ දික්වැල්ලේ හුම්මානය ඊට වඩා ලස්සනයි. ලොකුයි’

‘අපේ රටේ සම්පත්වලින් ගන්න පුළුවන් හරි ප්‍රයෝජනය තාමත් අපි ගන්නේ නෑ’

‘සුද්ද ලංකාව ගැන හිතපු විදිහටම තමයි අපි තාමත් අපේ රට ගැන හිතන්නේ’

‘සුද්දට ලංකාවේ ලස්සනට හා වැව්වලට වඩා වැදගත් වුණේ තේ දල්ල. රබර් කිරි’

‘චීන්නු චීනය ගැන හිතපු විදිහටත් ජපන්නු ජපානය ගැන හිතපු විදිහටත් රට ගැන හිතන්න අපට ඉගෙන ගන්න වෙයිද?’

‘අපි වැඩියෙන්ම ආදරේ රට අපේ රට නම් අපේ රටේ අනාගතය සුබයි’

‘රට සවාරි වෙනුවට මෙරට සවාරිවලට හුරුවෙන්න’

අවුරුදු කාලයේ රට පුරා සවාරියකින් පසුව සිහිනයෙන් මම මා සමඟ දොඩමලු වී ඇතිබව අවදි වූ පසු මට කල්පනා විය.

Comments