දුක්ඛදායක ප්‍රතිඵලයක් | සිළුමිණ

දුක්ඛදායක ප්‍රතිඵලයක්

පේ අසල්වැසි ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලට සාපයක් බවට පත්වූ කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ල දැන් අප සැමගේ නිවෙස්වල එළිපත්ත ළඟටම පැමිණ තිබේ. මෙවර පැමිණ තිබෙන කොරෝනා වසංගතය මෙතෙක් පැමිණි පළමු වන හා දෙවැනි රැළිවලටත් වඩා භයානකය. එය කොතරම් මාරාන්තික වසංගතයක් දැයි කිවහොත් තුන්වැනි රැල්ලත් සමඟ අප හමුවට පැමිණ තිබෙන කොරෝනා නව ප්‍රභේදය වතාශ්‍රයෙන් පවා තවකකුට බෝවීමට ඉඩ තිබේ.

මහා බ්‍රිතාන්‍යයෙන් මෙරටට සම්ප්‍රේෂණය වූ බවට අනුමාන කෙරෙන මේ නව කොරෝනා ප්‍රභේදය අතිශය මාරාන්තිකය. මෙම නව කොරෝනා ප්‍රභේදයේ ඇති විශේෂත්වය නම් ආසාදිතයන්ගේ මූලාශ්‍රය සොයා යාමටද අපහසු වීමයි.

මේ දිනවල රට පුරා පැතිර යමින් තිබෙන නව කොරෝනා ප්‍රභේදයේ ඇති අවදානම ගැන එසේ කියන්නේ අප නොව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා සහ අනුක විද්‍යා අධ්‍යයන අංශයේ මාහාචාර්ය නිලීකා මලවිගේයි. අප එතුමියගේ ප්‍රකාශය උපුටා දක්වන ලද්දේ අදාළ රෝග කාරක විෂබීජ පිළිබඳ හසළ දැනුමක් ඇති මහාචාර්යවරියකගේ මතය වැඩි පිරිසකගේ අවධානයට ලක් වන බැවිනි.

මේ වන විට මෙරට වෙසෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ප්‍රකට කරුණකි. එහි ඇති විශේෂත්වය වන්නේ මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙන්ම එම නිසා සිදු වන මරණ සංඛ්‍යාව ද ක්‍රමයෙන් ඉහළ යන බවක් පෙනෙන්නට තිබීමයි. දැනටමත් මෙරට ග්‍රාම නිලධාරි කොට්ඨාස 100 කට වැඩි සංඛ්‍යාවක් හුදෙකලා කර ඇත්තේ රෝගය පැතිරීම වළක්වා ගැනීමේ පියවරක් වශයෙනි.

වත්මන් ආණ්ඩුව කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ජනතාව අතර පැතිර යෑම අවම කර ගැනීම සඳහා දැඩි ආයාසයක් දරමින් සිටින බවක් පෙනෙන්ට තිබේ. මුළු රටේම සෞඛ්‍ය සේවා අංශ, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සහ දේශපාලන අධිකාරිය කොරෝනා මර්දනයට අත ගසා තිබෙන්නේ මෙරට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන්ගේද පූර්ණ සහයෝගය ලබා ගනිමිනි. එසේ වුවද මේ දක්වාම ඒ උත්සාහයේ ප්‍රමාණවත් ප්‍රතිඵලයක් ලැබී ඇති බවක් නොපෙනේ.

ඇතැම් විට ඒ සඳහා මුල් වූ එක් හේතුවක් වන්නේ කොරෝනා මර්දන බළකාය කොරෝනා වසංගතය තුරන් කිරීම සඳහා කොතරම් දැඩි උත්සාහයක් දැරුවද ඒ සඳහා ලැබෙන ජනතා සහයෝගය ප්‍රමාණවත් පරිදි නොලැබීම විය හැකිය. කොරෝනා පළමු රැල්ල පැතිර යද්දි මෙරට ජනතාවට ඒ පිළිබදව කිසිදු වැටහීමක් නොතිබුණද එම අවස්ථාවේ ඔවුන් වෙතින් ලැබුණේ අනගි සහයෝගයකි. ඔවුන් ඉතා සැලකිල්ලෙන් තම වගකීම ඉටු කළහ. ඒ අනුව කොරෝනා පළමු රැල්ල ඉතා කෙටි කලකින් ප්‍රශස්ථ ලෙස මැඬ පැවැත්වීමට රජයට හැකි විය.

එහි සාර්ථකත්වය කොපමණදැයි කිවහොත් පාර්ලිමේන්තු මහා මැතිවරණයක් පවා සාර්ථක ලෙස පවත්වා අවසන් කිරීමට ආණ්ඩුව සමත් වී තිබුණේය.

ඉන් අනතුරුව මෙරටට මුහුණ පෑමට සිදු වූ කොරෝනා දෙවැනි රැල්ල මඳක් කල් පසුවී හෝ මැඬ පවත්වනු ලැබුවේ ඒ සඳහා ද ජනතා සහයෝගය ලැබීමෙන් පසුවය. කෙසේ වෙතත් ඒ වන විට රටේ ජනතාවගේ පමණක් නොව ආණ්ඩුවේ ප්‍රධානීන් තුළද කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පිළිබඳව තිබූ බිය හා සැකය බොහෝ දුරට අඩුවී තිබුණේය.

කොරෝනා තුන්වන රැල්ල දෙගොඩ තලා ගෙන පැමිණෙමින් තිබුණේ ඉන් අනතුරුවය.

ඒ අතරතුර කොරෝනා වසංගතය කෙරෙහි ආණ්ඩුව මෙන්ම ජනතාව තුළත් පැවති බිය ජනක හැඟීමද ක්‍රමයෙන් තුරන් වී ගොස් තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ මුඛ ආවරණ පැලඳීම , නිතර දෑත් සෝදා පිරිසිදු කර ගැනීම, ඔවුනොවුන් අතර දුරස්ථභාවය රැක ගැනීම වැනි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මෙරට ජනතාව අතර තරමක උදාසීන බවක් ඇති වීමය.

මේ අතර පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයටත් පෙර සිටම කොරෝනා තුන්වන රැල්ල හමා එන පෙර නිමිති පහළ වෙමින් තිබු‍ණේය. එහිදි රජයේ සෞඛ්‍ය බලධාරින් ඒ පිළිබදව අනතුරු අගවමින් සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් නිකුත් කර තිබුණද මෙරට ජනතාව ඒ ගැන තඹ දොයිතුවක් තරම්වත් ගණන් නොගෙන තම සුපුරුදු ජීවන රටාව පවත්වා ගෙන ගියේය.

කෙසේ වෙතත් යම් වසංගත රෝගී තත්ත්වයක් විහිළුවට හෝ හෑල්ලුවට ගැනීම කිසිදා සිදු නොකළ යුතු කටයුත්තකි. මන්ද එවැනි අමනෝඥ ක්‍රියාවලියක දුක්ඛදායක ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවන්නේද ජනතාවට බැවිනි.

Comments