තමන් විසින් තමන්ව බාල්දුකර ගැනීම | සිළුමිණ

තමන් විසින් තමන්ව බාල්දුකර ගැනීම

ශ්‍රී ලංකාවට සුද්දන්ගෙන් නිදහස ලැබුණුදා සිට මේ දක්වා කාලය තුළ බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම විපක්ෂයේ සිටියදී මැතිවරණ වේදිකා දෙවනත් කරමින් ජනතාවට ලබා දුන් එක්තරා සුලබ ඡන්ද පොරොන්දුවක් තිබුණේය.

එනම් ඊළඟට පත්වන නව පක්ෂයේ ආණ්ඩුවක් මඟින් ජනතාවගේ ජීවන බර ඇඟට දැනෙන අන්දමින් අඩු කරන බවය.

එවැනි ඇතැම් පක්ෂ නායකයන් ඡන්ද රැස්වීම් වලදී එලෙස බෙරිහන් දී තිබුණේ පාන් ගෙඩියක්, පොල් බෑයක් හෝ ඝණ්ටාර මාක් සරම් කඩමාල්ලක් දෑතින්ම ඉහළට ඔසවා පෙන්වමිනි. ඒ ගැන අසන පාක්ෂිකයන් ඊළඟට කරන්නේ හුරේ දමමින් විසිල් ගැසීමය.

එහෙත් එකී දේශපාලන පක්ෂය එම මහ මැතිවරණයෙන් ජයගත් පසු එවැනි ඡන්ද පොරොන්දු දුන් කථිකයාට පමණක් නොව අලුතින් පත්වූ ආණ්ඩුවේ නායකයන්ට ද ඒ ගැන අමතක වේ.

1970 මහ මැතිවරණ සමයේදී සිරිමාවෝ මැතිනිය විසින් දෙන ලද "හඳෙන් හෝ හාල් ගෙන එන බවට" වූ පොරොන්දුව මෙන්ම 1977 දී ජේ. ආර්. විසින් ලබාදුන් ධාන්‍ය රාත්තල් අටේ පොරොන්දුව ද ඒ සඳහා දැක්විය හැකි කදිම උදාහරණ ය.

එපමණක්ද නොව 1994 දී චන්ද්‍රිකා මහත්මිය ද රුපියල් 3.50 කට පාන් ගෙඩියක් ලබාදෙන බවට පොරොන්දු වී තිබු‍ණේය.

ඉකුත් යහපාලන ආණ්ඩුව මෙන්ම වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද බලයට පත්වූයේ මෙවැනි ආකර්ෂණීය ඡන්ද පොරොන්දු රාශියක්ම ජනතාව හමුවේ තබමිනි.

එහෙත් ඒ ඡන්ද පොරොන්දු වලින් කොපමණ සංඛ්‍යාවක් ඉටුකර ඇත්දැයි මඳක් විමසා බැලිය යුතුය.

එහෙත් සත්‍ය තත්ත්වය නම් ඡන්ද කාලයේදී දෙන ලද ඡන්ද පොරොන්දු අතරින් දහයෙන් පංගුවක්වත් ඉටු කිරීමට ඒ කිසිදු ආණ්ඩුවකට නොහැකිවී ඇති බවය.

මෙහිදී ඇතැම් කෛරාටික දේශපාලනඥයන් විසින් සිදු කරනු ලබන එක්තරා උප්පරවැට්ටියක් තිබේ. එනම්, තමන් බලයට පත්වී ටික දවසක් ගතවනතුරු රටේ බඩු මිල අඩු කිරීමය.

1994 දී බලයට පත්වූ චන්ද්‍රිකා මැතිනිය මාසයක් හෝ දෙකක් පමණ ගතවන තුරු පාන් ගෙඩියක් රුපියල් 3.50 ට ලබා දීම ඒ සඳහා දැක්විය හැකි කදිම උදාහරණයකි.

එහෙත් එම මාස කීපය ගත වූ පසු පාන්මිල පමණක් නොව වෙනත් හැම පාරිභෝගික ද්‍රව්‍යයක මිල තුන් හතර ගුණයකින් වැඩි කෙරුණේය.

එහෙත් අද? ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 120 කටත් වැඩිය. පොල් ගෙඩියේ වට ප්‍රමාණය හෝ බර අනුව මිල නියම කිරීමේ ක්‍රමවේදය ද අද කොතැනකවත් ක්‍රියාත්මක නොවේ. හාල් මිල, ලොකු ලූණු මිල, පරිප්පු මිල ද අහස උසට ඉහළ ගොස් තිබේ.

ආණ්ඩු ඒ පිළිබඳව වරද පටවන්නේ කොරෝනා වසංගතයටය.

ඒ කොරෝනාව නිසා වරායේ බඩු ගොඩබෑම ප්‍රමාද වී ඇතැයි කියමිනි. කොරෝනා වයිරසය රටටත්, ජනතාවටත් බලවත් හානියක් සිදුකර තිබෙන බව සැබෑය.

ඒ නිසා රටේ ඉදිරි ගමන අඩපණවී තිබෙන බවද සත්‍යයකි. එහෙත් 145 කටත් වැඩි පාර්ලිමේන්තු බලයක් සහිත ප්‍රබල ආණ්ඩුවකට ඒ සියලු ප්‍රශ්න යම්තාක් දුරකට හෝ කළමනාකරණය කර ගැනීමට හැකිවිය යුතුය.

ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී හැට නම ලක්ෂයක් පමණ වන ජනතාව ආණ්ඩුවට මහ බලයක් ලබාදෙනු ලැබුවේ කවර අන්දමේ ව්‍යසනයකට වුවද රට මනා ලෙස කළමනාකරණය කර ගනු ඇතැයි යන විශ්වාසයෙනි. එපමණක් ද නොව පාර්ලිමේන්තුවේ දී 20 වැනි සංශෝධනය 2/3 ඡන්දයකින් සම්මත කර දුන්නේත් ආණ්ඩුවට තවත් අමතර බලයක් ලබාදී ජනාධිතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමටය.

ඒ අනුව වත්මන් ආණ්ඩුවට රටේ සහ ජනතාවගේ ප්‍රශ්න විසඳාලීම සඳහා ශක්තියක් නැතැයි කිසිවකුට හෝ කිව නොහැකිය.

අප එසේ කියන්නේ නිකම් කටට ආ පළියට නොව කරුණු කාරණා හරිහැටි ගළපා ගනිමිනි. කවර රටක වුවද ජනාධිපතිවරයා යනු ඒ රටේ රාජ්‍ය නායකයා බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ඔහු විසින් රට වෙනුවෙන් සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ යුතු විශාල වගකීම් සම්භාරයක් තිබේ.

එවන් සුවිශාල වගකීමක් ඇති රාජ්‍ය නායකයකුට රටේ හාල් මිල, පොල් මිල එසේත් නැත්නම් ලොකු ලූනු මිල ඉහළ යෑම ගැන පැමිණිලි කිරීමට යෑම ඔහුගේ වටිනා කාලය අපතේ යැවීමකි.

අපට සිතෙන හැටියට නම් මෙතරම් විශාල ඇමැති මණ්ඩලයක් පත්කර සිටින්නේ ඒ ගැන කටයුතු කිරීමටය.

එහෙයින් ඇමැති මණ්ඩලය මුලින් ම කළ යුත්තේ තමන් සතු කාර්යභාරය ඉටු කිරීම විනා බඩු මිල ඉහළ යෑම, ප්‍රවාහන දුෂ්කරතා වැනි සිල්ලර ප්‍රශ්න රාජ්‍ය නායකයාගේ කනේ තැබීම නොවේ.

එහෙයින් රටේ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම, ජනතාවගේ ජීවන බර අඩු කිරීම වැනි සිල්ලර ප්‍රශ්න වලට විසඳුම් සෙවීම ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය සතු වගකීමකි.

Comments