බලධාරීන්ට ලණු දෙන ඇතැම් නිලධාරීන් | සිළුමිණ

බලධාරීන්ට ලණු දෙන ඇතැම් නිලධාරීන්

දිවංගත අග්‍රාමාත්‍යවරයකු වූ ඩඩ්ලි සේනානායකයන් 1965 වසරේ මෙරට බලයට පත්වූ අවස්ථාවේදී රට පුරා වගා සංග්‍රාමයක් අරඹන ලද්දේ පවිත්‍ර චේතනාවෙනි.

එතුමා එමගින් බලාපොරොත්තු වූයේ ජනතාවගේ දෛනික පරිභෝජනයට අවශ්‍ය වූ හැම භව බෝගයක්ම රට තුළ වගා කරවීමටය.

එහෙත් එතුමාගේ එම ඉලක්කය වැරදිණි. එම සිද්ධිය නිවැරදිව අර්ථකථනය කළහොත් වැරදුණා නොව වැරැද්දුවේ ය. ඒ සඳහා මුල්වී තිබුණේ එම කර්තව්‍ය බාරව සිටි ඇතැම් උසස් නිලධාරීන්ය. ඔවුන්ට අවශ්‍ය වූයේ අගමැතිතුමාගේ වගා සංග්‍රාමය සාර්ථක කරවීම නොව එමගින් තම තමන්ගේ ලකුණු වැඩි කර ගැනීමටය.

එහෙයින් අගමැතිතුමා වගා සංග්‍රාමයේ ප්‍රගතිය සහ අඩුලුහුඩුකම් ගැන විමසන හැම අවස්ථාවකදීම එම කුසීත නිලධාරීන් කියා සිටියේ —එව්රි තිංග් ඊස් ඕකේ.........˜ යනුවෙනි.

කෙසේ වෙතත් එකල සිටි හැම උසස් නිලධාරියකුම එලෙස කටයුතු නොකරන ලද බවද විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. ඔවුන් ඇතැමුන්ගේ කියුම් බස් දේව භාෂිතයක් මෙන් විශ්වාස කළ අගමැතිවරයා හෙලිකොප්ටරයෙන් ගොස් පහළින් පෙනුණු ගොවිබිම්වල ඡායාරූප පවා ගෙන තිබුණේය.

අන්තිමේදි බලන විට ඩඩ්ලි සේනානායක තමන්ගේ කරේ එල්ලා ගෙන ගිය කැමරාවෙන් — චුක් චුක් ˜ ගා පොටෝ ගසා තිබුණේ කලින්දා කොළඹින් ගෙනත් තිබූ ගෝවා , කැරට් සහ බීට්රූට් සිටුවන ලද මුඩුබිම් කඩවල්ය.

එය එකල විසූ ඇතැම් පරිපාලන නිලධාරින්ගේ සෙප්පඩ විජ්ජාවකි. එහි අවසන් ප්‍රථිඵලය වූයේ 1970 මහ මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායක ආණ්ඩුව අතුගෑවී ගොස් එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ සමගි පෙරමුණට තුනෙන් දෙකක ජයග්‍රහණයක් හිමි වීමයි.

එවැනි කපටි, වංචාකාර සහ කුසීත නිලධාරින් එදා සිට මේ දක්වා පහළ වූ හැම ආණ්ඩුවකම පාහේ සිටි බව නොරහසකි. තමන්ට සමීප වී බෙල්ල කැඩීයන ලණු දීමට සූදානම් වූ එවැනි නිලධාරීන්ගෙන් යන්තමින් හෝ ගැළවී සිටියේ කිහිප දෙනකු පමණි. ඉන් අනතුරුව බලයට පත්වූ රාජ්‍ය නායක නායිකාවයන් හැම දෙනෙකුම පාහේ තමන් වටා සිටී ඇතැම් උසස් නිලධාරින්ගේ දිරච්ච ලණු අඩු වැඩි වශයෙන් කෑහ.

වත්මන් රජයේ ඉහළ බලධාරීන්ටද මෙවැනි ලණු දෙන නිලධාරින් කිහිපදෙනෙක් සිටින බව බැලූ බැල්මට පෙනී යන කරුණකි. උදාහරණයක් වශයෙන් මෙරට සියලුම වගා කටයුතු සඳහා රසායනික පොහොර යෙදීම තහනම් කිරීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ගෙන තිබෙන ඉතා විශිෂ්ට හා කාලෝචිත තීරණයක් විය.

එහෙත් එම තීරණය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් එක්වරම ක්‍රියාත්මක කිරීමෙන් බලවත් අසීරු තත්ත්වයකට පත්වී ඇත්තේ කෘෂිකර්මාන්තයෙන් තම ජීවනෝපාය සලසා ගන්නා මෙරට ගම් මට්ටමේ ගොවි ජනතාවයි. ඊට හේතුව වී ඇත්තේ මෙරට ගොවි ජනතාවගේ කෘෂි අවශ්‍යතාවන්ට සරිලන අන්දමේ කාබනික පොහොර ප්‍රමාණයක් මෙරට තවමත් නිෂ්පාදනය නොවීමය. ගොවි ජනතාවගේ කෘෂි අස්වැන්න ප්‍රමාණය පහත වැටී ඔවුන්ගේ ආදායම් මාර්ග අඩුවීම එහි ඊළඟ ප්‍රථිඵලයය.

මින් ඉදිරියට රසායනික පොහොර ආනයනය නොකර ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයට පෙලඹවීම ඉතා කාලෝචිත ක්‍රියාවකි. එහෙත් රජයට එම තීරණය ක්‍රියාත්මක කිරීමට තිබුණේ ඒ සඳහා විකල්පයක් වශයෙන් ප්‍රමාණවත් පරිදි කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියක් ඇරඹීමෙන් පසුවය.

පසුගිය සතියේ මෙරට බොහෝ පෙදෙස් වල උග්‍ර ගෘහස්ථ ගෑස් හිඟයක් පැවතිණි. මෙරටට ගෑස් ආනයනය කරන එක් සමාගමක් තම පිරිවැය ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි කියමින් ඔවුන්ගේ ගෑස් නිෂ්පාදන කටයුතු නතර කිරීම එම ගෑස් හිඟයට මුල් වූ ප්‍රධානතම හේතුව විය.

ඒ ගැන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා කියා සිටියේ කහ වර්ණයේ ගෑස් සිලින්ඩරවලට තමන්ගේ ලිට්‍රෝ ගෑස් පුරවා දීමට තම සමාගම සූදානමින් සිටින බවය. ඒ නිසා තම කහ පාට ගෑස් සිලින්ඩරද ඔසවා ගෙන ලිට්‍රෝ ගෑස් සමාගමේ නියෝජිත ආයතන කරා ගිය ගෑස් පාරිභෝගිකයන්ට අසන්නනට ලැබුණේ එහෙත් එවැනි තීන්දුවක් ගෙන නැති බවයි.

කෝවිඩ් -19 හෙවත් කොරෝනා වසංගතය මෙරට බෝවීමට පටන් ගෙන දැන් වසර ඒක හමාරකටත් වැඩිය.

එහි පළමු රැල්ලත්, දෙවෙනි රැල්ලත් අවසානයේ අපට පෙනෙන්නට තිබූණේ මනා කළමණාකරණ වැඩ සටහනක් මගින් එම වසංගතය බෙහෝදුරට මැඬ පවත්වන ලද බවය.

එවිට ආණ්ඩුව විදේශිකයන්ට පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කළේය.

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවයද සමරනු ලැබීය. විදේශීය සංචාරකයන් සඳහා පනවා තිබු දැඩි නීති රීති ලිහිල් කර ඔවුන්ට රටේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට ඉඩ දුන්නේය.

රටේ පවතින අයහපත් වාතාවරණය පිළිබඳව තැකීමක් නොකර ටෙස්ට් ක්‍රිකට් සහ සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ රටේ විවිධ ප්‍රදේශයන් හි පැවැත්වීමට ඉඩ දුන්නේය. අන්තිමේදී සිදු වූයේ කොරෝනා තුන්වැනි රැල්ල වේගයෙන් පැමිණිමයි.

අපට පෙනෙන අන්දමට නම් ආණ්ඩුවේ ඇතැම් දේශපාලන බලධාරින්ගේ සවන්දීමේ ප්‍රවණතාව පවතින්නේ ඉතාමත් අඩු මට්ටමකය.

නැතහොත් ඔවුන් සවන් දෙන්නේ තමන් වටා සිටින උපදේශකයන් පිරිසකට පමණි.

එහෙත් ඔවුන් වෙතින් බලධාරීන්ට ලැබෙන තරමක් ලැබෙන්නේ වැරදි උපදෙස්ය. නැතහොත් කේවට්ටයන්ගේ හෝ අරිට්ඨකීවෙණ්ඩුලාගේ උපදෙස්ය.

Comments