‘ඇමරිකාව හොයාගත්තේ කොලොම්බස්’
‘කොලොම්බස් ඇමරිකාව හොයාගත්ත කියන එක තහවුරු කරන්න ඕන නිසා ඊට පස්සේ එහෙ හිටිය රතු ඉන්දියන්කාරයෝ ඔක්කොම වගේ අතුරුදහන් කළා’
‘ ඕසට්‍රේලියාව හොයාගත්තේ කැප්ටන් කුක්’
‘ඒක තහවුරු කරන්න ඕනැ නිසා එහෙ හිටිය අයට ඇබරිජොන් කියලා නම දාලා අතුරුදහන් වෙන තත්ත්වෙට පත් කළා’
‘විදුලිය හොයාගත්තේ මයිකල් පැරඬේ’
‘විදුලි බල්බය සොයාගත්තේ තෝමස් අල්වා එඩිසන්’
‘රූපවාහිනිය සොයාගත්තේ ලොගී බෙයාඞ්’
‘සාපේක්ෂතාවාදය සොයාගත්තේ ඇල්බට් අයින්ස්ටයින්’
‘ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ අයිසැක් නිව්ටන්’
‘ඒක එයාට කියලා දුන්නේ ඇපල් ගෙඩියක්ලු’
‘දැන් ඇපල් කන ලංකාවේ අයටත් ගුරුත්වාකර්ෂණය දැනෙනවාලු’
‘මාලිමා යන්ත්‍රය හොයාගත්තේ චීන්නුලූ’
‘මාලිමා යන්ත්‍රය හොයාගත්ත චීන්නු ඔය කාටත් කලින් ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට ගිහිං තියෙනවාලු’
‘ඔව් හොයාගත්ත මාලිමා යන්ත්‍රය නිකං තියාගනීවියැ’
‘විල්බැරෝව හොයාගෙන චීන මහා ප්‍රාකාරය හැදුවා වගේ මාලිමාව සොයාගෙන ලෝකේ වටේ යන්න ඇති’
‘වෙඩි බේත් හොයාගත්තෙත් චීනෙලු’
‘මුද්‍රණ ශිල්පය හොයාගත්තෙත් චීනෙලු’
‘එච්චර දේවල් සොයාගත්ත චීනේ අයත් බුද්ධාගම හොයාගෙන ලංකාවට ඉන්දියාවට ආවා’
‘එතකොට සුද්දො ලංකාවටයි ඉන්දියාවටයි ආවෙත් බුද්ධාගම හොයාගෙන ද?’
‘නෑ කුළුබඩු හොයාගෙන’
‘තේ රබර් කෝපි හොයාගෙන’
‘එතකොට සුද්දො අප්‍රිකාවට ගියේ’
‘රත්තරනුයි වහල්ලූයි හොයාගෙන’
‘සුද්දො ආගම් හොයාගෙන ගියේ නැද්ද?’
‘ආගම් අරං ගියා කියලා තමයි කියන්නේ’
‘හොඳයි එතකොට සිංහල මිනිස්සු ලංකාවේ මිනිස්සු හොයාගත්ත කිසිදෙයක් නැද්ද?
‘ඇයි අලුත් අවුරුද්ද’
‘මේ වගේ උත්සවයක් මේ විදිහට පවත්වන්නේ ලංකාවේ අපි විතරයි’
‘ඒක කවුද හොයාගත්තේ’
‘තනි එක්කෙනෙක් නෙමෙයි. ලංකාවේ අපි ඔක්කොම එකතු වෙලා’
රතිඤ්ඤා හඬ නිසා ද කැවුම් කොකිස් සුවඳ නිසා ද මට මගේ සිහිනය දිගටම දැකීමට නොහැකි විය.