බහුත්වවාදි සමාජයක් කරා... | සිළුමිණ

බහුත්වවාදි සමාජයක් කරා...

 බහුත්වවාදි ප්‍රජාතන්ත්‍රවාදි හැඩතලයන්ගෙන් පරිපූර්ණ විය යුතු ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය ඒකීයවාදි මූලධර්මවාදි හැඩයකින් යුක්ත ආක්‍රමණශීලිත්වයකට රූපාන්තරණය වූයේ ස්වයංසිද්ධව නොවේ. කාලාන්තරයක් තිස්සේ මෝරමින් පැවති ආර්ථික දේශපාලන ආකෘතියක් තව දුරටත් මෝරා යෑමට ඉඩකඩක් නොවීමේ කූටප්‍රාප්තිය වූයේ රාජ්‍යය මූලධර්මවාදි වීම බව පැහැදිලි කරුණකි. 1978දී හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථික දේශපාලන රාමුව ශ්‍රී ලංකා දේශපාලනයේ මේ ආන්තිකධ්‍රැවීකරණයට වැඩි දායකත්වයක් දරා ඇත. ලෝකය පුරාම දුප්පතුන් තවදුරටත් දුප්පත් කරමින්ද පොහොසතුන් තවදුරටත් පොහොසත් කරමින්ද සංවර්ධනය වූ නව ලිබරල් ආර්ථිකය ධනේශ්වර ක්‍රමයේම අභ්‍යන්තර සතුරකු බව ධනේශ්වර බුද්ධිමතුන් අතර සාකච්ඡා වෙමින් පවතී.

සමාජයේ බහුතරයකට දරාගැනීමට අපහසු ආර්ථික කම්පනයන් ඇති කරන නව ලිබරල්වාදය නිසා පීඩාවට පත් වූවන් විමුක්තිය සොයා වර්ගවාදි පිළිකනු කරා පසු බැස්සේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. බටහිර ධනපති ප්‍රබල රටවලත් ලෝකයේ අනෙකුත් රටවලත් ජාතිකවාදි නැඟීටීම් මතු වෙමින් සමාජය වෙනත් ආකෘතීන් සෙව්වේ නව ලිබරල්වාදයට එරෙහි අලුත් සමාජ සැකැස්මක් නිර්මාණය කරගැනීමට ය. එහෙත් කෙන්ද්‍රයේ රටවලත් පරිධියේ රටවලත් මේ ධ්රුවීකරණය සිදු වූයේ එකම ආකාරයෙන් නොවීමද විශේෂ සිදුවීමකි. නව ලිබරල්වාදයට එරෙහි සමාජ බලමුළුගැන්වීම් කේන්ද්‍රයේ රටවල දී ජාතිකවාදය මත පදනම් වෙමින් සිදුවූ අතර පරිධියේ රටවල දී වර්ගවාදය මත පදනම් වෙමින් සිදු වුණි. පරිධියේ රටවල වර්ගවාදි ප්‍රවණතා මතු වුවද ධනේශ්වර සංවර්ධනය විසින් ඇති කර තිබූ බුද්ධිමය සංස්කෘතිය ඒවා ජාතිකවාදි ප්‍රවණතා තුළ ශූන්‍ය කිරීමට සමත් විණි.

ආර්ථික අසමතුලිතතා ඇති වන්නේ ලෝකයේ සම්පත් ප්‍රබල ධනේශ්වරයේ සූරා කෑමට ලක් වීම නිසා බව මාක්ස්වාදයේ ප්‍රබුද්ධ මතවාදයයි. එහෙත් නව ලිබරල්වාදයෙන් පළමුව ආස්වාදයට පත්ව සිටි ජාතීන් පසුව ඉන් පීඩනයට පත් වන විට මෙම ප්‍රශ්නය විග්‍රහ කළේ වෙනස් අන්දමකිනි. 1978දී ආර්ථික ප්‍රතිසංස්කරණයන් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වූ ඇදහිය නොහැකි සංවර්ධනය නිසා පළමුව ලාංකික සමාජය වික්ෂිප්ත විණි. ඉන් අනතුරුව 1987 වර්ෂය පමණ වන විට ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ සමාජය පුරා පැතිරී යෑම ඇරඹිණි. මේ සමාජ අර්බුදය ඇති වන්නේ කෙසේදැයි විග්‍රහ කරගැනීමට ශක්තිමත් සමාජ දේශපාලන න්‍යායක් ලාංකික සමාජයේ ප්‍රබලව නොතිබිණි. එහෙත් මතු වෙමින් තිබූ අර්බූදයට ක්ෂණික විසදුමක් ද සමාජයට අවශ්‍ය විණි. ඒ නිසා බුර-බුරා පැන නැඟි ආර්ථික අර්බුදය ඇති වූයේ සුළු ජාතීන් විසින් සිංහල ජාතියේ සම්පත් උදුරාගැනීම නිසා යැයි සිංහල බෞද්ධ සමාජය තුළ මතයක් රෝපණය කිරීමට සමහර වර්ගවාදීන්ට හැකි විණි. ඒ මතය ප්‍රතිවිරුද්ධ ලෙස ඊටත් වඩා ප්‍රබලව දෙමළ වර්ගවාදීන් විසින්ද දෙමළ සමාජය තුළ ඒ වන විටත් රෝපණය කර තිබිණි. ජාතීන් දෙකේම වර්ගවාදීහු එකිනෙකාට එරෙහිව වර්ගවාදි මත තහවුරු කරමින් එකම කාර්යක නිරතවෙමින් ආර්ථික පීඩනයේ අර්බුදය විග්‍රහ කළහ.

ලෝකය පුරා පරිධියේ බොහෝ රටවල් නව ලිබරල්වාදයේ ආර්ථික අර්බුද කළමනාකරණය කරගැනීමට උපක්‍රම සෙව්වේ ශ්‍රී ලංකාවේ අත්දැකීම්වලට සමාන ලෙසයැයි පැවැසිය හැකිය. එහෙත් ධනේශ්වර දියුණු කේන්ද්‍රයේ රටවල් අර්බුද කළමනාකරණය කරගැනීමට උපක්‍රමයක් ලෙස භාවිත කළේ පරිධියේ රටවලට වෙනස් ක්‍රමයකි. ඔවුන් තම සතුරා දැක්කේ තම රට තුළින් නොවේ. ඔවුන් සතුරා ලෙස දැක්කේ තම කලාපයේ ආර්ථික බලවතාය. තමන් ආර්ථික දරිද්‍රතාවට පත් වන්නේ කලාපීය බලවතාගේ සූරාකෑම නිසා බවත්, ඒ අභියෝගයට මුහුණ දීමට ජාතියක් වශයෙන් නැඟී සිටිය යුතු බවත් ඔවුහු තේරුම් ගත්හ. ඒ නිසා බටහිර බොහෝ රටවල් නව ලිබරල්වාදයට මුහුණ දුන්නේ ජාතිකවාදය උපක්‍රමයක් ලෙස යොදාගනිමිනි.

ඉන්දියාව පවා අර්බුදයේ මූලයන් සෙව්වේ ඉන්දීය ජාතිකවාදය මුවහත් කරමිනි. භාරතීය ජනතා පක්ෂය පළමු වරට මුළුමනින්ම අසාර්ථක වූයේ එහි හරයාත්මක වර්ගවාදි පසුබිම නිසාය. එහෙත් ක්‍රමයට හානියක් නොවී උපා මඟින් ක්‍රමය ආර්ක්ෂා කිරීමට ඉන්දීය කොංග්‍රසය සමත් විය. ඉන්දියාව කලාපයේ බැබළෙන තරුව බවට පත් කරමින් ආචාර්ය මන්මෝහන් සිං විශිෂ්ට ධනපති නායකයකු ලෙස කීර්තියට පත් වූයේ ලෝකදේශපාලන උපමාරුද සමාජ උපාය උපක්‍රමයන්ද මනා ලෙස ප්‍රගුණ කර ඇති බැවිනි. ආචාර්ය මන්මෝහන් සිංගේ ප්‍රතිපත්තිය ඉන්දියාවේ මහා සංස්කෘතියේ දායාදයකි. ඒ විශාල ධනපති සංස්කෘතිය නොවැදගත් දේශපාලනඥයන්ගේ මොනර නැටුම්වලට ඉඩ දෙන්නේ නැත. ඒ නිසා බහුත්වවාදි, ප්‍රජාතාන්ත්‍රික හා සමෘද්ධිමත් ඉන්දීය රාජ්‍යය පෞරුෂවත් කේසර සිංහයකු සේ ලෝකයා අබිමුව නැඟී සිටී. අනතුරුව 2014දී බලයට ආ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සීරු මාරුවෙන් ක්‍රමය තේරුම් ගත්තේය. ඔහු මේ වන විට නව ලිබරල්වාදය සමග ගැටුම් ඇති කර නොගෙන ඉන්දියාවට නායකත්වය දෙමින් සිටී.

නිවැරදි නොවුණත් අවම වශයෙන් හෝ ජාතිකවාදි කතිකාවකින් අර්බුදයේ මූලයන් බේරුම් කරගැනීමට යෑම සදහා ශ්‍රී ලාංකික සමාජය සූදානම් නොවූයේ එවැනි දේශපාලන පරිණත භාවයක් අත් කරගැනීමට තරම් සමාජය මුහුකුරා ගොස් නොතිබූ බැවිනි. එහෙත් ශ්‍රී ලංකාවේ නොදියුණු ධනපති වෙළෙඳ පන්තියේ සිතිවිලි ශ්‍රී ලාංකික සමාජයේ වර්ගවාදි අතළොස්සකගේ නොමේරුම්කම හා මනා ලෙස ගැළපුණි. එහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂ රෙජීමය ශ්‍රී ලංකා රාජ්‍යයේ ආකෘතිය මූල ධර්මවාදීවාදි න්‍යායකින් වෙස් ගැන්වීමත් සමග රාජ්‍යයේ බහුත්වවාදි හා ප්‍රජාතන්ත්‍රවාදි හැඩතල ඉඳුරාම වෙනස් විණි. එමඟින් වෙනස්ව අලුත් රාජ්‍ය ආකෘතියක් නිර්මාණය කරගැනීම අද ශ්‍රී ලංකිකයා මුහුණ දෙන බරපතලම දේශපාලන අභියෝගයයි. එය සමාජ සංස්කෘතික විප්ලවයක ආරම්භක අභියෝගයක්ද වන්නේය.

අබරන්

Comments