
‘සතුට සෝකේ ජය පරාදේ අපටමයි මේ ලෝකේ’
මැදමුලන පැත්තේ මහත්තයෙක් කියකියා ඇවිදිනවා.
‘මුල ඉඳලම ඔහොම හිතුවනං ඔබ තුමාට මෙහෙම වෙන්නේ නෑ’
එතකොට එතුමාට කවුදෝ කිව්වා. එතුමා සද්දේ ඇහුණ දිහාවේ බැලුවා. ඒත් කවුරුවත් පේන්න හිටියේ නෑ. ඒ පාර එතුමට හිතුණා සමහරවිට ඒ සද්දේ එන්න ඇත්තේ තමන්ගේ හිත ඇතුළෙන්මයි කියලා.
‘එක හිත ඇති අය දිනුවත් දිනුම් පැරදුණත් දිනුම්’
ආයෙත් එතුමට සද්දයක් ඇහුණා. වටපිට බැලුවට ඒ සද්දේ එන්නෙත් කොහෙන්ද කියලා එතුමට අල්ලා ගන්න බැරිවුණා.
‘අනුන්ගේ විශ්වාස ගැන හොයන්නේ ඔබතුමාට ඔබතුමා ගැන විශ්වාසයක් තියෙනවද?’ එතුමට ඇහෙන සද්දවල කෙළවරක් නෑ. එනතැනක් හොයාගන්නත් බෑ. ඒත් තමන් මොනවා කිව්වත් කවුරු හරි ඇත්ත දන්න කෙනෙක් ඉන්නවා කියලා මැදමුලන මහත්තයාට හිතුණා.
එතකොට ම කන්බීරි කරවන රතිඤ්ඤා සද්ද ඇහෙන්න වුණා. අපි පැරදුණාමත් මිනිස්සු රතිඤ්ඤා පත්තුකරනවද? මැදමුලන මහත්තයාට හිතාගන්න බැරිවුණා.
‘ඇයි ඔබතුමා හිතාගෙන ඉන්නේ රතිඤ්ඤා කියන්නේ ඔබතුමා වෙනුවෙන් විතරක් පත්තු කරන්න තියෙන දෙයක් කියලද?’
ආයෙත් එතුමාට සද්දයක් ඇහුණා. එතුමා අතින් ඒකට ඉබේ ම උත්තරයක් කියවුණා.
‘මං විතරක් නෙමෙයි මගෙ ලොකු පුතත් හිතාගෙන ඉන්නේ එහෙම තමයි’
එතකොට ආයෙත් සද්දයක් පිටින් ඇහුණා.
‘ඩෝං පටෝං පටෝං පටෝං’ කියලා සද්දයක්. හැබැයි රතිඤ්ඤා සද්දයක් නෙමෙයි කටින් කරන රතිඤ්ඤා සද්දයක්. ලොකුපුතා කටින් රතිඤ්ඤා පත්තු කරනවා. තමන් ළඟ ඉන්න ඔක්කොම කටින් රතිඤ්ඤා පත්තු කරන අය කියලා එතකොට එතුමාට හිතුණා. කටින් රතිඤ්ඤා පත්තු කරපු අයගේ ඔක්කොම සද්ද මිනිස්සු පත්තු කරපු ඇත්ත රතිඤ්ඤා සද්දෙන් මැකිලා ගියා නේද කියලා එතුමාට හිතුණ. එතුමාට ලොකු දුකක් දැනුණා. ආයෙත් හදාගන්න බැරි වැරැද්දක් තමන් අතින් වුණා නේද කියලා හිතුණා. කවදාහරි ඒකාබද්ධෙන් ඒකාධිපතිවීමේ සිහිනය කැඩිලා බිඳිලා යන හැටි එතුමාට පෙනුණා. ඒක දරාගන්න බැරිව එතුමාත් කටින් රතිඤ්ඤා පත්තු කරන්න ගත්තා. හැබැයි පුරුදු බොල් හඬම මිසක් වෙනත් හඬක් ඇහුණේ නෑ. පිපුණු ගමන් පරවුණු පොහොට්ටුවක් එතුමාට පෙනුණා.
මේ සේරම පෙනුණ දේවල් සිහිනයක් නෙෙමයි ඇත්තක් කියලා මට හිතුණා.