දේශප්‍රේමය හා මූල්‍ය විනය | Page 3 | සිළුමිණ

දේශප්‍රේමය හා මූල්‍ය විනය

 හැත්තෑවැනි නිදහස් සැමරුම් උලෙළ අවස්ථාවේ ජාතිය ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, දේශප්‍රේමය හා ආත්ම ආරක්ෂාව සම්බන්ධයෙන්

කාලෝචිත සිහිපත් කිරීමක් හා අමිල පණිවිඩයක් රටට ලබා දුන්නේය. දේශප්‍රේමය ලෙස රටේ මූල්‍ය විනය ආරක්ෂා කිරීමත් තම ආත්ම ආරක්ෂාව ලෙස දූෂණයට, වංචාවට එරෙහිවීමත්, සැලකිය යුතු බව එම සිහිපත් කිරීම හා පණිවිඩයයි. එහි ඇති පළල් අරුත විමසීම වටී.

දේශප්‍රේමය යනු තම රට හෝ තම ජාතිය හෝ අනෙකා හෝ වෙනුවෙන් කැපවීම වේ. ආත්ම ආරක්ෂාව යනු පෞද්ගලික ආරක්ෂාව වේ. අනෙකා වෙනුවෙන් හිතන දේශප්‍රේමය හා තමා වෙනුවෙන් හිතන ආත්ම ආරක්ෂාව මූල්‍ය විනයට හා දූෂණයට වංචාවට ගැළපෙන ආකාරය සසඳා බැලීම වැදගත් ය.

1818 ජාතික නිදහස් අරගලයේදී දේශප්‍රේමය මතු වූයේ යටත් විජිත පාලනයෙන් තම මවුබිම නිදහස් කර ගැනීම වෙනුවෙනි. එදා තිබුණේ රටට එරෙහි සෘජු ආක්‍රමණයකි. යටත් විජිත පාලකයන්ට එරෙහිව අරගලයකට අවතීර්ණ වූ අය රට හෝ ජාතිය වෙනුවෙන් තම ජීවිත පරදුවට තැබූහ.

මවුබිමට ආදරේ ඇති රට වැසියා රටට එරෙහිව එන අනතුර ජයගන්නට පෙලඹීම, නැතිනම් දේශප්‍රේමය මතු කිරීම සාමාන්‍ය සිදුවීමකි. එහෙත් එදා රට වැසියා බලාපොරොත්තු වූ ඒ ජාතික නිදහස වසර 200ට පසුව හෝ ලැබී ඇතිද යන්න තවමත් ගැටලුවක් බව මේ පිළිබඳව කෙරෙන සංවාද, සාකච්ඡාවලින් කියැවේ. අනෙක් අතට අපට නොපෙනී අපේ නිදහස අවුරා දමන අනතුරු ද මේ කාලය තුළ වැඩී ඇති බව වටහා ගත යුතු වේ. මූල්‍ය විනය පිරීහීම හා මහ පරිමාණ වංචා දූෂණ යනු රටම අනතුරට හෙළන, ඇසට නොපෙනී ඔඩු දුවා ඇති එවැනි ආක්‍රමණයකි.

රටේ මූල්‍ය විනය පිරිහීම, වංචා - දූෂණ, ඇතැම් විටෙක බාහිරින් එන ආක්‍රමණයකටත් වඩා භයානක විය හැකියි.

රටේ මූල්‍ය විනය බිඳ වැටීම යනු රටට ඇති මහා ආරක්ෂක පවුරක් බිඳ වැටීම ලෙසද ගත හැකියි. එමගින් විවර වන්නේ ඔනෑම සතුරකුට රහසින් පිවිසිය හැකි දොරටුවක් බැවිනි. එම සතුරා රටේ සමාජයේ පිරිහීමට මෙන් ම පුද්ගලයාගේ පිරිහීමට ද අල්ලස් දෙනු ඇත. එයින් ආරක්ෂා වීමේ වගකීම මුළු මහත් රටවැසියන්ට ම මිස නීතිය හෝ අදාළ ආයතනවලට පමණක් නොවේ. විසඳුම් සෙවිය යුතු වන්නේ එවැනි හැගීම් පෙරදැරිවයි. එය අද දවසේ දේශප්‍රේමයයි.

ජන සමාජය, පවුල, පුද්ගලයා වශයෙන් ගත් විට සිය ඉදිරි දියුණුව රඳා පවතින මූලික සාධකයක් වන්නේ විනයයි. එකිනෙකා අතර ගනුදෙනුව පමණක් නොව තමා, තමා සමඟ කරන ගනු දෙනුව ද විනයානුකූල නොවන විට ඇරඹෙන්නේ තමා පිරිහීමයි. පවුලේ, සමාජයේ කතාවද එයයි.

එම පිරිහීම බාහිරින් එන ආක්‍රමණයකට හෝ අනතුරකට වඩා භයානක විය හැකි අතර එම පිරිහීම ම ජනසමාජය, පවුල, පුද්ගලයා, ආක්‍රමණය කරන්නට, යටත් කරන්නට, නිදහස අහිමි කරන්නට, ඉනිමං බැඳීමක් ද වනු ඇත. එනම් තම තමන්ගේ නිදහස නොපෙනෙන බලවේගයකට සොරා ගන්නට හේතු වනු ඇත. සෑම තැනම වටිනාකම මනින මිම්ම මුදල වූ නූතන ලෝකයේ දී මුදල් පරිහරණය සම්බන්ධයෙන් මොනතරම් නම් විනයක් පවත්වා ගත යුතුද යන්න ඒ අනුව අමුතුවෙන් කිව යුතු නොවේ. පුද්ගලයාගේ සිට රාජ්‍ය හා පෞද්ගලික ආයතන දක්වා ඇති සියලු ආයතන සඳහා මෙය අදාළ වන අතර මූල්‍ය විනය පිරිහීම රටේ ඉදිරි ගමන අඩාළ කරන්නට හෝ මුළුමනින්ම නතර කරන්නට හෝ සෘජුව මෙන්ම තීරණාත්මකව ද බලපානු ඇත. අද දේශප්‍රේමය අවශ්‍ය වන්නේ ඒ ආක්‍රමණය වැලක්වීම සඳහාය.

දේශප්‍රේමය අවස්ථානුකූලව මතුවන සාමාන්‍ය හැඟීමකි. එහෙත් මුදල් පරිහරණය සම්බන්ධයෙන් විනයානුකූල වීම ගැන විශේෂයෙන් සිහිපත් කරන්නට සිදුවී ඇත්තේ එය ඇස්පනාපිට දකින්නට හැකි අනතුරක් නොවන බැවිනි.

එහෙත් සැඟවීගෙන මහත් විපතක් රටට සිදු කරන බැවිනි. රටට පිටින් ණය හෝ ආධාර ගැනීමේ දී ද රට ඇතුළේ සිදුවන මහපරිමාණ ගනු-දෙනුවලදී ද මූල්‍ය විනය පිරිහීම ජාතික නිදහස අහිමි කරන තරම්ම භයානකය. ඒ පිරිහීම ගැන හෝ ඒ නිසා රට වැටී ඇති ප්‍රපාතය ගැන හෝ හොඳින් දැක ගත හැකි වන්නේ මුදල් පරිහරණය සම්බන්ධයෙන් තම තමන්ම විනයානුකූල වන තරමටයි.

තම ආරක්ෂාව හෙවත් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් වත් වංචාවට දූෂණයට එරෙහිවන විට සමාජය එසේ විනයානුකූල දෙසට හැරෙනු ඇත.

Comments