අසේල ඔබ සැඟවී සිටියේ කොහිද? | Page 7 | සිළුමිණ

අසේල ඔබ සැඟවී සිටියේ කොහිද?

ඉන්ද්‍රචාපගේ සමීපරූපාවලිය 19 වැනි ඉරිදා හවස් යාමය සැරසුවේ අසේල සම්පත් ගුණරත්නයි. කවුද මේ අසේල ගුණරත්න? එක රැයකින්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නරඹන, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත තරුණ මහලු, ප්‍රේක්ෂකයන්ගේ වීරයා බවට පත්වෙමින්, ශ්‍රී ලංකාවේ අභිමානය, ක්‍රිකට් ලොව දසත පැතිර වූ අවුරුදු තිස් එකක් වයසැති මේ කොලු ගැටයා මෙපමණ දවසක් කොහි සිටියේදැයි, ප්‍රශ්න කරන්නට සිදුවේ.

තරුණ ක්‍රීඩකයන් කොළඹින් පමණක් ‍නොව නගරයෙන් ඈත උපනගර, ගම්දනව්වලින් සොයා ගන්නවා යයි පාරම්බාන අපේ රටේ තේරීම් කට්ටියට ක්‍රිකට් මණ්ඩලයට, අසේල ගුණරත්නගේ මුහුණ නොපෙනුනේ, ඔහු අගනුවර නොවන මහ නුවර පළාතේ, රෝයල්, සාන්ත ‍තෝමස්, ආනන්ද, නාලන්ද, ඩී.එස්., ට්‍රිනිටි, සාන්ත ජෝසෆ් හෝ සාන්ත පීතර ආදි ශිෂ්‍යයෙක් නොවී කටුගස්තොට රාහුල වැනි පුංචි විදුහලක කොලු ගැටයෙක් වූ නිසාද? නොවේ නම්, අවුරුදු දෙකකට වැඩි කාලයක් උපුල් තරංග වැනි දක්ෂ ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් කර තබන්නට තරම් ශක්ති සම්පන්න වූ ශ්‍රී ලංකා ක්‍රිකට් දේශපාලනය නිසාද? මැතිව්ස්ලා, චන්දිමාල්ලා, තිසරලා සමඟ උපුල් තරංගලා, අසේලලා ගේ සමීප රූප දකින්නට තිබුණේ කෙතරම් කාලයකට පෙරද? දෙවියන්ට ස්තුති ‍ෙව්වා, අද මේ මොහොත වන විට, සුදුස්සන් ගේ මුහුණ සමීප රූපයට එක්වේ. නුසුදුස්සන්ගේ මුහුණු දුර ඈත රූප අතරය.

ඉරිදා හවස මෙල්බර්න් නගරයේ සිට පැයක පමණ ගණනකින් ළඟාවීමට හැකි ඟීලොන්ග්හි කාර්ඩිනියා උද්‍යානය ආක්‍රමණය කොට සිටි ශ්‍රී ලාංකිකයන‍්ගේ සමීපරූප ඉන්ද්‍රචාපට පෙනේ. ප්‍රේක්ෂකාගාරය අතුරුසිදුරු නැතිව රැස්ව සිටි දහතුන්දහසකට වැඩි පිරිස අතර බහුතරය ශ්‍රී ලංකාවාසීන් වූ නිසා රෑ තරගය අවසන අසේල පවසා තිබුණේ, ඔහුට දැනුණේ ඔහු ශ්‍රී ලංකාවේදී තරගයක් ක්‍රීඩා කරනවා වගේය කියායි. ශ්‍රී ලාංකිකයන්ට ම ආවේණික පැපර සංගීතය ක්‍රී‍ඩාපිටිය පුරා විසිරෙන කල, ප්‍රීතිඝෝෂා, විසිල් හඬින් සවන් පිරෙන කල බැලූ බැලූ අතර, අභිමානවත් ශ්‍රී ලාංකික සිංහ ධජ දකින කල අසේලට සිතෙන්නට ඇත්තේ ඔහු ක්‍රීඩා කරන්නේ, ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෝ ගාලු ක්‍රීඩාපිටියේ කියා විය යුතුයි. ඔහු සැහැල්ලුවෙන්, වගකීමෙන්, ශ්‍රී ලංකාව ජයමාවතට ගෙන ආ අන්දම විස්මිතය. පන්දු 46දී හතරේ පහර හයක්, හයේ පහර පහක් සහිතව නොදැවී ලකුණු අසූහතරක් (84) ලබා ගැනීම නම්, ඉන්ද්‍රජාලිකයකුට මිස අන් කිසිවකුටත් කළ හැක්කක් නොවේය කියායි, ඉන්ද්‍රචාප සිතන්නේ. එහෙත් අසේල ගුණරත්න නම්, ඉන්ද්‍රජාලිකයා අවසන පන්දු දහඅටදී (18) අවශ්‍ය, ලකුණු හතළිස් අටත් (48) පන්දු දොළහකදී (12) අවශ්‍ය ලකුණු තිස් හයත් (36) අවසාන පන්දු හයේදී (6) අවශ්‍ය වූ ලකුණු දහහතරත් (14), දැඩී පීඩනය මැද කඩුලු දෙකක් දැවී ගියද, ලබාගෙන එකඑල්ලේ T20 තරග පහකදී ඔස්ට්‍රේලියානුවන්ට පරාජය ලබාදීමේ වාර්තාව දැනට පිහිටුවන්නට සමත්ව සිටී. අසේල, මුණවීර, කුලසේකර, මාලිංග කපුගෙදර, බණ්ඩාර දික්වැල්ල කණ්ඩායම ලද ජය ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන්ගේ නව ජවය පෙන්වන්නකි.

ශ්‍රී ලංකාව ඉරිදා වාර්තා කළ විස්මිත ජයග්‍රහණය පිළිබඳ සතුටු වන්නෝ, උදම් අනන්නෝ, නොඅඩුව සිටින බව ඉන්ද්‍රචාප දකී. කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ගේ සමීප රූප ඔවුන්ගේ ට්විටර් පණිවුඩ සමඟ ඉන්ද්‍රචාපට පෙනේ. විප්‍රවාසයේ සිටියද තමන් කලකට පෙර නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අමතක කළ නොහෙන අපට සිටි විශිෂ්ටතම ආරම්භක පිතිකරුවකුගේ සමීප රූපය මුහුණු පොත පෝස්ටුවක් සමඟ ඉන්ද්‍රචාප දකියි. 1992 නවසීලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ පිල ලබාගත් ලකුණු 312ට එරෙහිව හඹායෑමට මුල් වූ ආරම්භකයා ඔහු ය. අතුල සමර‍සේකර (75) ක් ලබා ගනිමින් රොෂාන් මහානාම සමඟ පැවැත්වූ සම්බන්ධතාවය ලකුණු 128කි. ඔහු තම මුහුණු පොතට, අසේලගේ ඉනිම පිළිබඳ එක්කළ පෝස්ටුව නිහතමානී ක්‍රීඩාශීලීත්වය පෙන්වන්නකි. I know with experience that anything could happen in Cricket, cause it’s One Ball game. But this was Just Unbelievable where was this guy hiding until?

අතුලට ඉන්ද්‍රචාප පවසන්නේ මෙපමණයි. ඔබට ද එබඳු ම අමිහිරි අත්දැකීම් සතු බව දනිමි. ඔබට, උපුල් තරංගට, උපුල් චන්දට, කල්පගේට, රොෂාන්ට එදා කළ කෙනෙහිලිකම් ඉන්ද්‍රචාපට මතකය. එහෙත් ක්‍රීඩකයන් මරා දැමීම අපහසු බව අසේල පෙන්වා දී හමාරයි. 

 

Comments