මට විතරක් තිබුණ රසික ආදරේ බෙදිලා ගියා ඒකට මුලින්ම සතුටු වුණු මිනිහා මමයි | සිළුමිණ

මට විතරක් තිබුණ රසික ආදරේ බෙදිලා ගියා ඒකට මුලින්ම සතුටු වුණු මිනිහා මමයි

පසුගිය දිනෙක මිනුවන්ගොඩ ප්‍රසංගයකදී හරි අපූරු සිදුවීමක් සිදුව තිබුණා. මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණේ අයිඩියා අකේන් එන්ටර්ටේන්මන්ට් අධිපති සුසන්ත ප්‍රේමරත්න සහ පවන් ගුණසේකර. මෙම ප්‍රසංගය සඳහා ගීත ගැයීමට සේනානායක වේරලියද්ද, චාමර වීරසිංහ සහ දමිත් අසංක පැමිණ සිටි නිසා එදින ප්‍රසංගය නිවේදනය කර තිබූ මෝක්ෂ ප්‍රසාද් ඇතුළු සංවිධායක මණ්ඩලයට හිතිලා තියෙනවා මේ තිදෙනාටම එකම වේදිකාවක් මත එක ගීතයක් ගැයීමට සැලැස්වීමට. එහි ප්‍රතිඵලයක් මේ දිනවල සමාජ මාධ්‍යය තුළ ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන වීඩියෝව.

එදින මෝක්ෂ ප්‍රසාද්, සේනානායක වේරලියද්දයන් සිටින වේදිකාව මතට චාමර සහ අසංක කැඳවන්නේ,

“ඔයා බිහිකරපු යුගයෙන් පස්සේ, ඔයාගේ දිහා බලාගෙන, ඔයාගේ ආභාෂය අරගෙන ඔයාගේ ගීත ගායනා කරලා තව යුග දෙකක් නිර්මාණය වුණා. මේ පුදුමය සහ මේ අපූරු අවස්ථාව ශ්‍රී ලාංකීය ජනතාවට දකින්නට මිනුවන්ගොඩ ජනතාවට විඳින්නට මේ ඉඩ අවකාශය.” යනුවෙන් ඉන් පසු වේදිකාව මත ගැයෙන්නේ,

“මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා...

කෙලෙස හෝ වේදනාවෝ..

සඟවා තබා ගමී....“ ගීතයයි.

විශේෂත්වය නම් මේ ගීතය තිදෙනාම ගැයීමයි. ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට වේදිකාවක් මත එදා මෙදා තුර දැකපු ආදරණීයම දසුන බවට පත්වන්නට ගත වූයේ නිමේෂයකි. හදවතේ ගායකයෝ තිදෙනාම එකම වේදිකාවක් මත එක ගීතයක් ගැයූ ඒ අපූර්වතම රාත්‍රිය මේ වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් පවතින්නේ ජනතා සම්මාන ඉහළින්ම දිනා ගනිමින්.

මෙහි මහා වෘක්ෂය වන්නේ සේනානායක වේරලියද්දයන්. ඒ සොඳුරු අත්දැකීම ගැන වචන කිහිපයක් ගළපා ගන්න මුලින්ම අපි කතා කළේ ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පී සේනානායක වේරලියද්දයන්ට.

“කලා ක්ෂේත්‍රය තුළ කාලයක් ඉඳලා ප්‍රවීණයෙක් යැයි කියන්න තරම් මගේ සහෘද රසිකයෝ මට ආදරේ කළා. ඒ ආදරේ අපේ කලාකරුවන්ට බෙදා ගන්න හරි අමාරුයි.

දවසක් මම සියඹලාණ්ඩුවේ මංගල කටයුත්තකට ගියාම මට දමිත් මුණගැහුණා. එතැනදී මට කිව්වා මමත් කැසට් පටයකට කියන්න සින්දු ටිකක් තෝරාගෙන ඉන්නවා කියලා. මම කිව්වේ හොඳයි, හැබැයි ජීවිතේ විකිණෙන්න එපා කියන එක. මාව කාටවත් මුදලට ගන්න බැරි වුණා. ඒ කාලේ කැසට් බාර්වලින් කැසට් කළා. මම විකිණුනේ නැතත් මගේ නිර්මාණ ඒ අය කළා. ඒ නිර්මාණවලටත් මිනිස්සු ආදරේ කළා.

මට මතකයි චාමර මගේ ගීතවලට ආදරේ කරලා පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම එක්ක මගේ ගීත ගොඩක් ගායනා කළා. මට වගේම චාමරටත් මිනිස්සු ආදරේ කළා. ඒකෙන් පස්සේ දමිත් ආවා. එයාටත් මිනිස්සු ආදරේ කළා. අපි නිර්මාණ කළේ තනියම රසවිඳින්න නෙවෙයි. චාමර මගේ සින්දු කිව්වත් වේරලියද්ද වගේ කියලයි මිනිස්සු කිව්වේ. දමිත්ට කිව්වෙත් එහෙමයි. මට විතරක් තිබුණ රසික ආදරේ බෙදිලා ගියා. ඒකට මමයි මුලින්ම සතුටු වුණු මිනිහා. ගොඩක් අය කිව්වා චාමර සහ දමිත් මගේ නිර්මාණ කියද්දී විරුද්ධ වෙන්න නඩු දාන්න කියලා. මම කවදාවත් එහෙම කළේ නැහැ. මම දොස් කිව්වෙත් නැහැ.

මම එදා හිටිය තත්ත්වය සහ අද ඉන්න තත්ත්වය වෙනස්. දැන් මට අවුරුදු 63ක්. දැන් ඔවුනුත් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. මමත් තවම ඉන්නවා.

කාලයක් තිස්සේ බොහෝ සංවිධායකවරුන්ට අවශ්‍ය වුණා අපි තුන්දෙනා එක්ක ප්‍රසංගයක් කරන්න. එදා මිනුවන්ගොඩ ප්‍රසංගයට තුන් දෙනාම ඇවිත් හිටිය නිසා අපේ නිවේදක මෝක්ෂ ප්‍රසාද් ඇහුවා එක ගීතයක් තුන්දෙනාම ගයමුද කියලා. මම කිව්වා හරි, කියමු කියලා. ඒ ගීතයට තමයි මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්නේ.

මමත් ඒ අයගේ ගීත හරි ආදරෙන් රසවිඳිනවා. ඊට පස්සෙත් ජගත් නාත්තණ්ඩිගේ නයිනමඩමේ දී ප්‍රසංගයක් කළා. එහිදී අපි තුන්දෙනාගේම ගීත තුනක් අපි තුන්දෙනාම ගායනා කළා. චාමරගේ සහ දමිත්ගේ ගීතවල කොටස් මමත් ඒ වේදිකාවේ ගායනා කළා. ඒ ගැන මම අවංකවම සතුටු වෙනවා. මට ආදරේ කරපු රසිකයින් ඉදිරියේ බැබළෙන්න පුළුවන් වුණේ මගේ අම්මා තාත්තට, මගේ ගුරුවරුන්ට පිං සිද්ධ වෙන්න. මම බෙරයක් අරන් කොළඹ ආව මිනිහෙක්. බෙර වාදන ශිල්පියෙක්ට වඩා ගායකයෙක් විදියට ලෝකයේ සංචාරය කරන්න මට පුළුවන් වුණා. අදත් මට දැනෙන සතුට කොච්චරක් ද කියලා කියාගන්න බැහැ. ඒ තරම් සතුටක් තියෙන්නේ. මමත් සතුටින් චාමර සහ දමිත් සතුටින් ඊටත් වඩා අපිව ඔසවා තැබූ රසිකයින් සතුටින්. ඒක ධනයට වඩා හරි ප්‍රබලයි.“

සේනානයක වේරලියද්දයන්ගේ නිහතමානීත්වය ඒ විදියට සතුටු වචන බවට පත්වෙද්දී මේ ගැන චාමර වීරසිංහ සිය අද්දැකීම මුහුණුපොතේ මෙලෙස අකුරු කරලා තිබුණා.

“1997 වර්ෂයේ සිට පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම සමඟ එහි නියාමක ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කරන කාලය තුළ, සේනානායක වේරලියද්ද මහතාගේ ගීත මා ගායනා කරන විට කවදා හෝ දවසක මගේම ගීතයක් මට ආදරය කරන ආදරණීය රසිකයන් වෙනුවෙන් නිර්මාණය කිරීමට මහත් වූ ආශාවක් තිබුණා. ඒ බලාපොරොත්තුව 2000 වර්ෂයේ දී යතාර්ථයක් කරමින් “සිතින් විතරක්” කැසට් පටය එළිදැක්වීමට මට හැකි වුණා.

එදා සිට අද දක්වා සේනානායක වෙරලියද්ද මහතාගේ ගීත මා ගායනා කළ ද, ඒ මහා හඬ පෞරුෂයට සම කිරීමට නොහැකි බව මා දන්නවා. ඔබතුමාට හදවතින්ම ස්තුතියි මෙතුවක් දුර ඒමට මා හට දුන් ආශීර්වාදයට.”

දමිත් අසංක කියන්නේ මෙහෙම කතාවක්.

“ඕනෙම ගායකයෙක් මුලදී ගයන්නේ අනුන්ගේ ගීත. එතකොට මෙතන විශේෂත්වය වුණේ අපි තුන්දෙනාගේ හඬ ටිකක් එක සමාන වීම. මම ආධුනික කාලේ වෙනත් ගායකයෙක්ගේ ගීත ගයද්දී ලැබුණු ප්‍රතිචාර වලට වඩා සීයට සීයක්ම ප්‍රතිචාර ලැබුණු දෙන්නා වෙන්නේ වේරලියද්ද මහතාගේ සහ චාමර අයියාගේ ගීත. මම මුලින්ම ගායනා කළේ වේරලියද්ද මහතාගේ ගීතයක්. මා ගැයුව “පුංචි දඟකාරියේ“ ගීතයෙන් මාව ටිකක් හඳුනාගත්තේ. ඊට පස්සේ මම ප්‍රසංගවලට ගියාම මගෙන් ඒ සංවිධායකවරු ඉල්ලුවේ වේරලියද්ද මහතාගේ සහ චාමර අයියාගේ ගීත.

වැඩි කාලයක් මම එහෙම කිව්වේ නැහැ. මම මගේම නිර්මාණ කිහිපයක් කළා.

මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බා අපි තුන්දෙනාම එකතු වෙලා ප්‍රසංගයක් කරන්න. අපේ තියෙන කාර්යබහුලකම එක්ක ඒක තවම වුණේ නැහැ. ඔය අතරේ තමා මිනුවන්ගොඩ ප්‍රසංගයකට අපි තුන්දෙනාම ඇවිත් ඉන්න වෙලාවක මෝක්ෂ ප්‍රසාද් මේ අදහස දුන්නේ. එදා අපි වේරලියද්ද මහතාගේ ගීතයක් ගායනා කළා. ඒ ගීතය තමයි සමාජ මාධ්‍ය තුළ මේ දිනවල හුවමාරු වෙන්නේ.

ඊට පස්සෙ ජගත් නාත්තණ්ඩිගේ අයියා සංවිධානය කළ ප්‍රසංගයක අපි තුන්දෙනාම අපි තුන්දෙනාගේ ගීත ගායනා කළා. අපි ක්ෂේත්‍රයේ ළාබාල අය වෙලත් ප්‍රවීණ ගායකයෙකු වන වේරලියද්ද මහතා අපේ ගීතයක් ගයනා කරපු එක සුවිශේෂියි. මම ජීවිතේට දැකලා නැහැ වේරලියද්ද මහතා වෙන කෙනෙක්ගේ ගීතයක් කියනවා. ඒ නිසා එතුමා ගත්ත ඒ නිහතමානී තීරණය පැසසුමට ලක් කරන්න ඕනේ. ඒක මේ මුළු මහත් සමාජයටම ලොකු හරයක් දුන්නා. මම හැම වෙලාවෙම විශ්වාස කරන්නේ අපේ මේ කෙටි ජීවිතය තුළ මේ විදියට තුන් දෙනාම එක ට දකින්න ලැබුණු එක ප්‍රේක්ෂකයින්ට පවා දකින්න ලැබුණු භාග්‍යයක්. ඒ ගැන හදවතින්ම සතුටු වෙනවා.

මේ දෙක සිද්ධි දෙකක්. මිනුවන්ගොඩ ගයපු ගැයුමයි සමාජ මාධ්‍යය වල පැතිරෙන්නේ. නයිනමඩම ප්‍රසංගය විශේෂ වෙන්නේ එතුමා අපේ ගීතයක් ගැයීම. මතු අනාගතයේදී අපිටත් ලොකු ආදර්ශයක්. මේක සහයෝගයෙන් යන්න ඕනේ ගමනක්.

වේරලියද්ද මහතා කියන්නේ මේ ගායන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. එයා තමයි අපේ මේ ගමනේ මුල් පුරුක. එයා වේදිකාවේ දකින්නයි අපි ආස කළේ. අදටත් මම එයාව දැක්කම පුදුමයට පත්වෙනවා. අපිට නැති පිළිවෙලක් එයා ගාව තියෙනවා. මම කියන්නේ අපිට තාම එතැනට යන්න බැරි වුණා. ඒ නිසා ගීතය පමණක් නෙවෙයි එතුමාගේ ජීවිතෙන් පවා ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා.”

Comments