ඇත්තටම ඒ වගේ කතාවක් මං කිසිම තැනක කියල නෑ | සිළුමිණ

ඇත්තටම ඒ වගේ කතාවක් මං කිසිම තැනක කියල නෑ

- ශාරදාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිහා මං බලාගෙන ඉන්නවා
- දෙව්මි කියන්නෙ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය

නයනතාරා වික්‍රමාරච්චි කියන නමට වඩා බොහෝදෙනා ඇයව දන්නෙ දෙව්මි නමින්. අවුරුදු කිහිපයක්ම දෙව්මිගේ රුවින් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ඔබ හමුවට ආ ඇය සමඟ ඔබ බොහොම ළෙන්ගතුයි. පියාඹන මූනිස්සම්හි ද්විත්ව චරිතයකින් අමතක නොවන රංගනයක යෙදුණු ඇය අභියෝගාත්මක රංගනයක් තුළින් නැවතත් මේ දිනවල ඔබ හමුවේ පෙනී සිටින්නීය. ඒ පසුගියදා විකාශය ඇරැඹුණු “ජීවිතේ එක් දවසක්“ ටෙලි නිර්මාණයේ “ශාරදා“ නමැති දමිළ තරුණියක ලෙසිනි. 

නයනතාරා පහුගිය දවස්වල ලහි ලහියේ දමිළ භාෂාව ඉගෙනගත්තෙ ඇයි?

ලලිත් රත්නායකගේ අලුත්ම ටෙලි නාට්‍ය ජීවිතේ එක් දවසක් ටෙලි නාට්‍යය සඳහා තමයි මට හදිසියේම දමිළ භාෂාව ඉගෙන ගන්න වුණේ. ශාරදා කියන දමිළ යුවතියගේ චරිතය තමයි මං කරන්නේ. අගෝස්තු 12 වෙනිදා ඉඳන් ස්වාධීන රූපවාහිනී නාළිකාවේ රාත්‍රී 9ට සති අන්තයේ විකාශය ආරම්භ වුණා. ශාරදාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිහා මං බලාගෙන ඉන්නවා.

පොඩි කාලයකින් දමිළ භාෂාව ඉගෙන ගන්නව කියන එක ලේසි නෑ නේද?

ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණත් ලොකුවටම දැනුණෙ නැත්තෙ අපේ කණ්ඩායමේ තිබුණු එකමුතුකම සහ සහයෝගය නිසා. මාසයක් විතර අපි ගම්පහ ප්‍රදේශයේ නැවතිලා ඉඳන් ෂූටිං කළේ. ෂූටිං ඉවර වෙලා යද්දි ඇහැට කඳුළක් එක්කරන බැඳීමක් අපි අතරෙ ඇතිවෙලා තිබුණා. බිමල් අයියා, කළණි දොඩම්තැන්න අක්කා, සුදර්ශන් රවීන්ද්‍රන් අයියා, පුබුදු චතුරංග අයියා සුමින්ද සිරිසේන මහත්මයා විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ. සුදර්ශන් අයියා වගේම කළණි අක්කත් මට දමිළ භාෂාව ඉගෙන ගන්න ගොඩක් උදවු කළා. ඒ නිසා ඒ අභියෝගය සාර්ථකව ජය ගන්න හැකි වුණා කියල හිතෙනවා.

නයනතාරා කියන රංගන ශිල්පිනිය ප්‍රේක්ෂකයන් හඳුනගන්නෙ දෙව්මි නිසා. නමුත් ඔබ එක තැනක කියනව දෙව්මි වගේ චරිතයක් ආයිම කරන්නෑ කියලා. ඇයි එහෙම කිවුවෙ?

ඇත්තටම ඒ වගේ කතාවක් මං කිසිම තැනක කියල නෑ. පහුගිය දවස්වල සෝෂල් මීඩියාවල එහෙම ගොසිප් එකක් නම් ප්‍රචාරය වුණා. ඒ ඉතින් සෝෂල් මීඩියාවලට ආකර්ෂණය දිනාගන්න දාන දේවල්නෙ. දෙව්මි කියන්නෙ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. ප්‍රේක්ෂක මනාපයෙන් වසර කිහිපයක්ම ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණෙත් දෙවෙනි ඉනිමෙ දෙව්මිට.

දෙවෙනි ඉනිමට දැන් සෑහෙන කාලයක් නේද? අවසානය මොන වගේ වෙයිද?

දෙවෙනි ඉනිම අවුරුදු 7කටත් වැඩි කාලයක් එක දිගටම විකාශය වුණා. ඒ අතරෙ මං වෙන වෙන නිර්මාණවලටත් සම්බන්ධ වුණු නිසා මට ඒකෙ ඒකාකාරී බවක් දැනුණෙ නැහැ. ඉක්මනින්ම දෙවෙනි ඉනිමෙ හොඳ අවසානයක් දැක ගන්න ලැබේවි.

පියාඹන මූනිස්සම්හි ඔබ ද්විත්ව චරිතයක් නිරූපණය කරනවා. ද්විත්ව චරිතයක් කියන්නෙ ලොකු අභියෝගයක් කියල ඔබටත් දැනුණද?

ද්විත්ව චරිතයක් කියන්නෙ ඇත්තටම අභියෝගයක් තමයි. චරිත දෙකේ වෙනස පෙන්නන්නත් ඕන. එක චරිතෙක බොඩි ලැන්වේජ් එක අනිත් චරිතෙට ගෙනියන්නෙ නැතුව චරිත දෙක කරන එකම ලොකු අභියෝගයක් තමයි. ගොඩක් දුරට මං ගෙදරදි හොඳට රිහසල් කරනවා. ඒ නිසා සෙට් එකට ගියාම අනෙක් අයගෙ සපෝට් එකත් එක්ක හොඳට කරන්න පුළුවන්. පියාඹන මූනිස්සම් කණ්ඩායමත් ආදරෙන් මතක් කරන්න ඕනෙ. ඔවුන්ගෙන් ලොකු සහායක් ලැබුණා. 

ඔබ ක්ෂේත්‍රයට එන්නෙ දක්ෂ නිර්මාණකරුවන් දෙදෙනෙකුගේ සුසංයෝගයෙන් නිමැවුණු හොඳ නිර්මාණයකින්. එහෙම අවස්ථාවක් හැමෝටම ලැබෙන්නෙත් නෑ?

ඒක මට ලැබුණු හොඳ අවස්ථාවක්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්ධා මංගල සූරියබණ්ඩාර කියන දක්ෂ නිර්මාණකරුවන් දෙපළ වගේම ඉම්පාස් ආයතනයත් මෙහිදී ආදරයෙන් මතක් කරන්න ඕනෙ. ඒ සුසංයෝගයෙන් තමයි 2015දී හංස පිහාටු ටෙලි නාට්‍ය නිර්මාණය වෙන්නේ. එහි ප්‍රධාන චරිතයෙන් තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඊට පස්සෙ මීදුමෙන් එහා, එරන් ලන්දු, ප්‍රාණ වගේ නිර්මාණවලටත් දායක වුණා. දෙවෙනි ඉනිම තමයි දීර්ඝව විකාශය වුණු නිර්මාණය. ඒ වගේම 2018දී අනුරුද්ධ ජයසිංහගේ එක දවසක අපි සිනමා නිර්මාණය තුළින් මට සිනමාවට එන්නත් අවස්ථාව ලැබුණා. මේ වෙද්දි සිනමා පට 5ට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉදිරියෙදිත් චිත්‍රපට දෙකක් එන්න තියෙනවා.

නයනතාරා නිතරම ඉන්දියාවට යන්නෙ ඇයි?

යෝගවලට තමයි යන්නෙ. මං යෝග ඩිප්ලෝමා එක කරන්නෙ ඉන්දියාවෙ ආශ්‍රමයක. ඒ නිසා තමයි නිතරම ඉන්දියා යැවෙන්නෙ.

පහුගිය දවස්වල හෝලි සැමරුව නේද?

ඒ මාළඹේ රාහුල බාලිකාවෙ හෝලි උත්සවයට සහභාගි වුණා. ඒක තමයි ෂෙයාර් වෙලා තිබුණෙ. මගෙනුත් ගොඩක් අය ඇහුවා ඒ ගැන. මාත් එදා ගොඩක් සතුටු වුණා.

නයනතාරාගෙ හිනාවට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා. නයනතාරාට ආදරේ කෙනෙක් නැද්ද?

ආදරණීය අත්දැකීමක් තිබුණා. ආදරවන්තියක් වෙලත් හිටියා. ඒත් දැන් නම් මං ආදරවන්තියක් නෙවෙයි. ආදරය කියන්නෙ සුන්දර හැඟීමක්. මාව තේරුම් ගත්ත හොඳ කෙනෙක් ලැබුණොත් ඒ ගැන හිතල බලනවා.

Comments