මට මොනවා හරි කිව්වොත් අක්කලා අඬනවා | සිළුමිණ

මට මොනවා හරි කිව්වොත් අක්කලා අඬනවා

 

මේ දිනවල කාගේත් ආදරේ ආකර්ෂණය දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක් ශෙනායා ඇනීසා වැනොෆ්. හිත ළග හිනැහුනා ටෙලිනාට්‍යයේ කිරුළි විදියටත් සල්ලි පොකුරු නාට්‍යයේ පිංකි විදියටත් ඇය ප්‍රේක්ෂක ආදරේ ඉහළින්ම ලබන මොහොතක්. මේ සොඳුරු කතාබහ ශෙනායා වැනොෆ් සමඟයි.

පිංකිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වෙනස් චරිතයක් නිසා ප්‍රේක්ෂකයින් ආදරෙන් පිංකිව භාර ගෙන තියෙනවා කියන එකත් මේ කෙටි කාලය තුළ ලැබෙන ප්‍රතිචාර වලින් දැනෙනවා.

 

ඒ කියන්නේ කිරුළිට වඩා දැන් පිංකි ජනප්‍රියයි ද?

හිත ළඟ හිනැහුනා ටෙලිනාට්‍යයේ කිරුළි තමයි ශෙනායාව ප්‍රේක්ෂකයින් අතරට ගෙනාවේ. පිංකි තුළින් ඒ තිබුණු ප්‍රේක්ෂක ආදරේ වැඩි වුණා කිව්වොත් නිවැරදියි.

 

පිංකි, ශෙනායාට අභියෝගයක් වුණාද?

ඇත්තෙන්ම ඔව්. පිංකි කියන්නේ වත්තක හැදෙන කට සැර නිතරම කෑ ගහගෙන ඉන්න චරිතයක්. මට මේ චරිත ස්වභාවය අලුත්. මිට කලින් මම මේ වගේ චරිත රඟපාලත් නැහැ. වෙනස් අත්දැකීමක්. මට මමම දුන් අභියෝගයක් නිසා ආසාවෙන් කරන චරිතයක්.

 

කෙටි කාලයක් තුළ මේ තරම් කතාබහක් ඇති වෙයි කියලා හිතුවද?

ඇත්තටම නැහැ. ශිවා සර්ගේ සහ සද්ධා සර්ගේ වැඩක් නිසා ප්‍රේක්ෂකයින් ආදරේ කරයි කියලා හිතුණා.

 

ශිවා - සද්ධා කියන සුසංයෝගය එක්ක වැඩ කරන පළමු අවස්ථාවනේ, කොහොමද ඒ අත්දැකීම?

ඒ අත්දැකීම ගැන කියනවා නම් මම ගොඩක් සතුටින් මාරම ආසාවෙන් වැඩ කරන්නේ. මට මීට කලින් සැරයකුත් සද්ධා සර් කතා කළා. ඒ මම රංගනයට ආව මුල් කාලේ නිසා යන්න හම්බුණේ නැහැ. මම සර්ට කිව්වා ආයේ වැඩක් කරනවා නම් මට එන්න ඕනේ කියලා. ඒ තරම් ආසයි ශිවා සර්ගේ සහ සද්ධා සර්ගේ නිර්මාණ වලට. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. හැමදේම කියලා දෙනවා. ටේක් 10ක් ගියත් මම දැකලා නැහැ ශිවා සර්ට කේන්ති යනවා. ඒ තරම් හොඳ කෙනෙක්.

 

ශෙනායා කැමති චරිත මොනවද?

මම කැමති විවිධ පරාසයේ චරිත කරන්න. ඒක තමයි රංගනය කියන්නේ. මම ආසාවෙන් හිටිය චරිතයක් පිංකි. මගේ වාසනාවට ඒ චරිතය ලැබුණා.

 

ඉදිරියට තව නිර්මාණවලට ආරාධනා ලැබිලා ද තියෙන්නේ?

දැනට නැහැ. දැනට කරන්නේ හිත ළග හිනැහුනා සහ සල්ලි පොකුරු නාට්‍යය දෙක විතරයි. ඉදිරියේදී වෙනස් චරිතයකට ඇරයුම් ලැබුණොත් භාර ගන්නවා.

 

සිනමාවට ඇරයුම් ලැබුණේ නැද්ද?

ඇරයුම් ලැබුණා. දැනටමත් සොලෝ ටවුන් කියලා චිත්‍රපටයක වැඩ කරනවා. මේ දවස්වල එහි රූපගත කිරීම් කරගෙන යනවා.

 

ශෙනායාට සාරංග දිසාසේකරගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

සල්ලි පොකුරු එකට කලින් මියුසික් වීඩියෝ එකක වැඩ කළා. දැන් නම් ගොඩක් එකතුයි. එකින් එක හැමදේම මට කියලා දෙනවා. මම තවම අලුත් නිසා ගොඩක් දේවල් ඉගෙන ගන්නත් තියෙනවා. ඔහු ලොකු සහයෝගයක් දෙනවා චරිතය හොඳින් කරන්න.

 

අමතක නොවන දර්ශනය මොකක් ද?

පිංකි සහ චුටියා පැනලා යන වෙලාවේ එක දර්ශනයක් තියෙනවා චුටියා මාව කරේ තියන් යන. ඒ අවස්ථාවේ ලැම්බට් වෙඩි තියනවා. චුටියා නවතින්න කිව්වා විතරයි චුටියා මාව බිමටම අතහරිනවා. ඒ වෙලාවේ මගේ කකුල ගලකට වැදිලා ඉදිමෙන්න ගත්තා. ඒත් මට ඒ වේදනාව එක්කම තව ටිකක් දුර දුවන්න තිබ්බා. මම ඉතින් කකුලේ ලේ පෙරාගෙන ඒ ටිකත් කළා. ඒ සිද්ධිය නම් අමතක වෙන්නේ නැහැ.

 

පවුලේ විස්තර කොහොමද?

අම්මියි. තාත්තියි. අක්කලා තුන්දෙනයි. ලොකු අක්කා මොඩ්ලින් කළා, එයා බැඳලා ඉන්නේ සිරස සුපර් ස්ටාර් තරගයේ හිටිය අමිල පෙරේරාව. අනෙක් අක්කලත් විවාහ වෙලා ඉන්නේ. අම්මයි තාත්තයි මුලදි නම් කැමති වුණේ නැහැ මම රඟපාන්න එනවට. ගොඩක්ම අකමැති වුණේ තාත්තා. දැන් නම් තාත්තාගේත් අකමැත්තක් නැහැ. දැන් ගෙදර හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

කෙල්ලෝම හතරක් ඉන්න පවුලේ බාලයානේ කොහොමද ළමා කාලය?

අම්මෝ ඉතින් රණ්ඩුම තමයි. හැබැයි රණ්ඩු කරලා අන්තිමට මම මොනවා හරි කිව්වොත් අක්කලා අඬනවා. මොකද එයාලා තමා ගොඩක්ම මාව පොඩි කාලේ බලා ගත්තේ. ලොකු අක්කයි මායි අතර වයස් පරතරය අවුරුදු 17ක්. ඒ නිසා මම මොනවා හරි කිව්වොත් ඒ අයගේ හිත රිදෙනවා.

 

ලොකු මස්සිනා අමිල පෙරේරා එක්ක සින්දුවක් කරන්න අදහසක් නැද්ද?

එහෙම අදහසක් තියෙනවා. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒ දේ දකින්න ලැබෙයි.

 

අමිල අයියා මොන වගේ උපදෙසක් ද දුන්නේ

ඇත්තම කතාව මම මේ ක්ෂේත්‍රයට එනවට මුලදි එයත් කැමති වුණේ නැහැ. එයා හැමවෙලාවේම කියන්නේ පරිස්සමෙන් ඉන්න කියලා. දෙයක් කරන්න කලින් හිතලා බලන්න. එන හැමදෙයක්ම ඔළුවට දාගන්නේ නැතුව අවශ්‍ය දේ තෝරලා බලලා හොඳ දේ විතරක් කරන්න කියලා කියන්නේ.

 

ආදරවන්තියක් ද?

ඒ ගැන කියන්නම ඕනේ ද? ඔව්... මම ආදරවන්තියක්.

 

ශෙනායාට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති

මට හිතාගන්න බැරි විදියට ප්‍රේක්ෂකයින් මට ආදරේ කරන්නේ. ඒකට පිරිමි ගැහැනු කියලා භේදයක් නැහැ. හැමෝම මට ආදරෙයි. මමත් ඒ හැමෝටම ආදරෙයි. කියන්න තියෙන්නේ හැමදාම මට ආදරේ කරන්න. මාව කොහේදී හරි දැක්කොත් කතා කරන්න. හැමදාම මගේ නිර්මාණ එක්ක ඉන්න. ප්‍රේක්ෂකයින්ගේ ආදරේ නිසා තමයි ශෙනායා කෙනෙක් ඉන්නේ. ඒ ආදරේ තමයි මට තියෙන හයිය.

 

 

Comments