ටික් ටොක් හරහා ලෝකෙ වටේ ඉන්න ශ්‍රී ලාංකික ගායන තරුව සොයයි | සිළුමිණ

ටික් ටොක් හරහා ලෝකෙ වටේ ඉන්න ශ්‍රී ලාංකික ගායන තරුව සොයයි

මෑත කාලයේදී ලංකාවේ ජනප්‍රියත්වයෙන් ඉහළට ආ ගායක ගායිකාවෝ තම තමන්ගේ හැකියාවන් පෙන්වීමට “රියැලිටි“ වැඩසටහන් බෙහෙවින් ඉවහල් වූ බව අප දන්නා කරුණකි. අමෙරිකාවෙන් පටන් ගත් රියැලිටි ෂෝ යුරෝපය හරහා ආසියාව වැලඳ ගනිද්දී ඉන් පෙරට ආවේ භාරතීය සංගීතයයි. ඉන්දියාව මෙම රියැලිටි ෂෝ වලින් මුලින්ම තම රටේ සැගවී සිටි කලාකරුවන්ට පෙරට ඒමට මහඟු අවස්ථා ලබාදුන් බව නොරහසකි. කලක් යන විට අපේ රටට ද එය අනුකරණයක් සහ දේශීයත්වයෙන් යන දෙයාකාරයටම තරු බිහිකරන්නට සමත් විය. අපි මේ කියන්නට යන රියැලිටි ෂෝ කතාව ද ඒ අනුසාරයෙන් බිහිකරන්නට වෙර දරන තරුණ ගායකයෙකුගේ උත්සාහයක් පිළිබඳවයි.

ඔහු නමින් අයන්ත ප්‍රනාන්දු. අයන්තගේ ලංකාවේ පදිංචිය පන්නිපිටිය වීර මාවතය. අයන්තගේ පියා අනුර ප්‍රනාන්දු ද කලා ලොවේ නමක් දිනා සිටි ගායකයෙකි. අනුරගේ හදිසි වියෝවත් සමඟ අයන්ත තම පියාගේ අඩිපාරේ යමින් ගීත ගායනය සහ වාදනය යන දෙඅංශයෙන්ම ස්වඋත්සාහයෙන් ඉදිරියට ආ තරුණයෙකි. අයන්ත මීට කලකට පමණ පෙර ඉතාලිය බලා යන්නේ තාත්තා නොමැති පවුලේ බර තම උරමතට ගෙන ඔවුන්ගේ අනාගතය සුඛිත මුදිත කිරීමේ අරමුණිනි.

ඉතාලියේ හෝටල් ක්ෂේත්‍රය් රැකියාවක් කරන අතර තුර තමන්ගේ සංගීත දැණුම ද පුළුල් කර ගන්නේ මහත් ආයාසයෙනි.

ඒ අතරතුර ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගේ යෝජනාවකට අනුව ටික් ටොක් සමාජ ජාලයේ විවිධ නිර්මාණයන් පළ කිරීමට ද පෙළඹිණ. එහි අලුත්ම කතාව වන්නේ කුවේට්වලින් ලහිරු, ශාන්, සවුදිවල ධනු, කුවේට්වල ඩිලා සහ ලංකාවෙන් භාෂි යන හතර දෙනා එක්ව අයන්තට උදවු කිරීමට ඉදිරිපත් වීමය. ඒ අළුත්ම දෙයක් කිරීමටය. ලංකාවෙන් විදෙස් ගතවී සිටින සහෝදර සහෝදරියන් ඒ රටවල් තුළදී විවේක වේලාවන් සහ ප්‍රිය සම්භාෂණවලදී තම හැකියාවන් වීඩියෝ කර ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලයේ පළකරන්නේ තරගකාරීත්වයෙනි.

ඒ ගැන අයන්ත තම මිතුරන් සමඟ කතා බස් කරමින් ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා පළ කරන ගීත ගැයීමේ හැකියාවන් ඇති අය සඳහා කදිම වේදිකාවක් නිර්මාණය කර දෙන්නට තීරණය කළේය.

ඔහුගේ මෙම යෝජනාවට ජනප්‍රිය ගායක විශාරද රෝහණ බෝගෝඩ, ජනප්‍රිය ගායිකා අමිලා නදීශානි ස්ව කැමැත්තෙන්ම ඒ වේදිකාවේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස එක්විය. කලා ක්ෂේත්‍රයේ ගායකයන් සහ සංගීතඥයන් විශාල පිරිසක් මේ සඳහා ඔහුට උදවු කරනවා. මැද පෙරදිග සේවය කරන අයගේ හැකියාවන් විශාල ලෙස සමාජ මාධ්‍යයේ පළකිරීම සහ ඔවුන් විඳින දුක දෑසින්ම දැක ඇති රෝහණ බෝගොඩ සහ අමිලා නදීෂානියි මුලින්ම මෙහි ඇති මානුෂීය නිදහස සහ ආතතියට මකා ගැනීම වෙනුවෙන් යම් දෙයක් සංගීතය පැත්තෙන් අපි කරමු යන ස්ථාවරයට මුල තැබුවේ. ඒ වගේම ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයකු වන තිළිණ තුෂාර වෙල්ලාලගේ ද විශේෂ සහයෝගයක් දක්වනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව ද විදෙස් ගතව සිටින අපේ ලාංකික තරුණ තරුණියන්ගේ හැකියාවන් එළිදැක්වීමට අවස්ථාවක් ලබාදීමය.

අද වන විට රටවල් විශාල ප්‍රමාණයක සේවය කරන ලාංකික රසික රසිකාවියන් ගණනාවක් මේ තරගය සඳහා සහභාගි කරවා ගෙන ඇත. ඔවුන් තම රටින් බැහැරව ගොස් රැකියාවන් කරන්නේ තම මවුරටේ සිටින සිය පවුල සහ ඥාතීන්ගේ දියුණුව උදෙසාමය. ඒ අතරතුර ලැබෙන විවේක කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගෙන ටික් ටොක් හරහා තම දක්ෂතාවයන් දැක්වීම ද ඔවුන්ගේ මානසික ආතතිය යම් තරමකින් හෝ සමනය කරවා ගැනීමේ අරමුණිනි. අයන්තගේ අභිප්‍රාය වනුයේ මෙම දෙසැම්බර් මාසයේ දී තමන්ගේ පුද්ගලික මුදලින් ටික් ටොක් ගායකයෙක් හෝ ගායිකාවක් ඉදිරියට ගෙන, ලංකාවේ දක්ෂතම සංගීතඥයකු ලවා සංගීතය මුසු කොට ඒ වෙනුවෙන් මුදල් වැය කර හොඳ මට්ටමේ ගීතයක් එළිදැක්වීමය.

කුවේට්, ඕමාන්, ජපන්, ඩුබායි, නවසීලන්තය, ඔස්ට්‍රේලියා, කැනඩා, බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව, සවුදි අරාබිය, මෙන්ම රුමේනියා, ඊශ්‍රායලය, ඉතාලිය යන යුරෝපයේ තවත් රටවල් ගණනාවක තරුණ තරුණියන් සිය දක්ෂතා ගෙන හැර පා ඇත. ඒ සඳහා සූම් තාක්ෂණය මඟින් විනිශ්චය ලබා දෙන්නේ විශාරද රෝහණ බෝගොඩ සහ ජනප්‍රිය ගායිකා අමිලා නදීෂානිය. මෙම වැඩසටහන සෑම සෙනසුරාදා දිනයකම සූම් තාක්ෂණය ඔස්සේ නොකඩවා පවත්වාගෙන යනු ලබයි.

 

Comments