
දුව -අහස පොළොව ළං කරන්න
හැකිවේ දෝ මට කියන්න
හේතුව කිමදෝ ඈත් වෙන්න අම්මේ
අහස දිහා පොළොව බලා ඉන්නේ
මව- රෝස මලට කටු ලැබෙන්නේ
රැක ගන්නලු දූ නොදන්නේ
හේතු නොමැති කිසිවක්
මේ ලොව නම් නොමැත්තේ
පොළොව දිහා අහස බලා ඉන්නේ...
දුව- හිරුයි සඳුයි හමුනොවන්නේ
මගෙ ලොව පාළුව මැවෙන්නේ
හේතු නොමැති දා කිසිවක් ලෝකේ
පුංචි මමත් හේතුවක් ද අම්මේ
මව - පුංචි කාලේ හරි ලොකුයිලු
ලොකු ලොකු දේවල් හිතෙයිලු
හේතු හොය හොයා නොහඬන් දෝණී
උත්තර නැති ප්‍රශ්න හුඟක් ඇත්තේ
ගායනය - විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්
විශාරද විදුනි ජයතුංග
පද රචනය - සුරංගි ද අල්විස්
සංගීතය - විශාරද එඩ්වඩ් ජයකොඩි
බාල වියේදි හිතට වද දුන් බොහෝ ප්‍රශ්නවලට උත්තර අපි ඇසුවේ අම්මාගෙන්. ඒ ඇසු හැම ප්‍රශ්නයකටම උත්තර ලැබුණ ද ඇතැම් කතාවලට උත්තර නොලැබිණි. ඒවාට උත්තර ලැබුණේ අප වැඩිහිටියන් වු පසුය. ඇතැම් කතා අම්මා මඟහැරියේ අපි එකල බාලවියේ සිටි නිසාම වන්නට ඇත.
“අහස පොළොව ළං කරන්න
හැකිවේ දෝ මට කියන්න
හේතු නොමැති දා කිසිවක් ලෝකේ
පුංචි මමත් හේතුවක් ද අම්මේ“
අපි හැමෝගෙම බාලවිය එක වගේ ගෙවුණේ නැත. සමවයස් වුවද ඇගේත් මගේත් බාල විය දෙකකි. එදවස සිටම හිතට වද දුන් ඒ ප්‍රශ්නය ඇය අදත් අසන්නේ අම්මාගෙනි. ඒ අහන්නේද ඊට උත්තරයක් බලාපොරොත්තුවෙන් නොවේ. හිතට වද දුන්, කිසිදා අම්මාගෙන් උත්තරයක් නොලැබුණ ඒ ප්‍රශ්නය ඇය ගීයකට ලියයි. ඒ ලියන්නේද ජීවිතයේ අමිහිරිම සිදුවීම වී වසර ගණනකට පසුවය. ඇය සුරංගී ද අල්විස්ය. එනම් ප්‍රකට සන්නිවේදකයකු, ගී පද රචකයකු වූ අකාලයේ අකාරුණික ලෙස සිය දිවි ගමන නිමා කරන්නට සිදු වූ ප්‍රේමකිර්තිද අල්විස්ගේ හා ප්‍රවීණ නිවේදිකා දයා ද අල්විස්ගේ එකම දියණියයි.
සුරංගී විසින් පද රචනය කරන ලද , විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් සංගීත නිර්මාණය කරන ලද මේ ගීතය ගයන්නේ විශාරද චරිතා ප්‍රියදර්ශනි පීරිස් හා විශාරද විදුනි ජයතුංග විසිනි.
මේ ගීතය පළමු වරට ඇසුණේ ඉකුත් බ්‍රහස්පතින්දාය. ඒ ජූලි 31 වනදාය
එය සුරංගීට කිසිදිනෙක අමතක නොවන දවසකි.
“මම තාත්තා කෙනෙකුගේ සෙනෙහස අහිමි වෙච්ච දරුවෙක්. තාත්තා එක්ක ගෙවපු ඒ කෙටිම කාලය වුණත් මගේ ජීවිතේ තිබුණ සොඳුරුම කාලයක් කියන්න පුළුවන්. මගෙ අම්මා කියන්නේ පුදුමාකාර දිරිමත් ගැහැනියක්. මට මතකයි මම පුංචිම කාලේ අම්මාගෙන් තාත්තා ගැන අහනවා. ඒ හැම වෙලාවකම ඇය වෙන වෙන දේවල් කියලා මම අහපු දේ මඟහරිනවා. අපේ අම්මයි තාත්තයි විවාහයෙන් වෙන්වෙලා හිටියට කවදාවත් ඒ දෙන්නා හතුරෝ වගේ ඉන්නවා මම දැක්කේ නැහැ. හමුවුණාම කතා කරනවා. ඒ දෙන්නා හරිම සුහදව කතාබහ කරලා හිටිය දෙන්නෙක්. කොහොම වුණත් මම තාත්තාගේ සෙනෙහස අහිමි වෙච්ච දුවෙක්. ඒ දුක හැමදාම මගේ හිතේ තිබුණා. මම බොහෝම කාලෙකට කලින් මේ ගීතය ලිව්වේ. ඒත් ඒක මගේම ලිපි ගොනුව තුළ බොහෝ කල් සැඟවිලා තිබුණා. එහෙම ඉන්න අතරේ තමයි විදුනි දුවගෙ අම්මා මගෙන් ගීතයක් ඉල්ලුවෙ. මම ඇයට මේ ගීතය දුන්නා. විදුනි දුව වගේම එයාගේ අම්මත් ගීතයට බොහෝම කැමැතියි කිව්වා. විදුනි දුවගේ සංගීත ආචාර්යවරයා තමයි එච්වඩ් ජයකොඩි මහතා. ඔවුන්ම තමයි ගීතය ගයන්න චරිතා ප්‍රියදර්ශනි මහත්මිය තෝරාගෙන තිබුණේ. ගීතය පළවෙනි වර ඇහුවාම මට මගේම ජීවිතේ ගැන ලියැවුණා නේද කියලා හිතුණා. මගේ ගීතයක් කෙරුණේ අවුරුදු හයකට විතර පස්සේ.
කොහොම වුණත් කවදාවත් මට උත්තර හොයගන්න බැරි ප්‍රශ්නයක් මගෙ හිතේ තිබුණා. ඒ ප්‍රශ්නය තමයි මම ලිව්වේ. ඒ්ක සාර්ථක ද නැද්ද කියන්න මට දැනෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් බාලවියේ සිට මගේ හිතට වද දුන්න ඒ හැඳුම දැන් මගේ රසිකයන්ට භාරයි.“ සුරංගි එහෙම කිව්වේ සිය පියා වෙනුවෙන් ලියැවුණ ගීතය ගැනයි.
“සුරංගීට දුක හිතුණා“ ප්‍රේමකීර්ති ද අල්විස් එහෙම ලියන්නේ තම සිඟිති දියණිය වෙනුවෙනි. ඒ එදවස සිදුවීමක් අලළා ලියැවුණ ඒ ගීතය අදද ගීත ලෝකයේ නොමැකුණු ගීත අතර වේ. 1947 ජූලි 03 වනදා උපන් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකිර්ති ද අල්විස් නම් වූ සන්නිවේදකයා, සොඳුරු ගී පද රචකයා ඝාතනයට ලක් වන්නේ 1989 ජූලි 31 දා රාත්‍රියේය. ඒ වන විට ඔහුගේ වැඩිමල් දියණිය වූ සුරංගීගේ වයස අවුරුදු දාසයකි. ඉකුත් ජූලි 31 වනදාට ප්‍රේම් නැති වී අවුරුදු අවුරුදු 43 ක් සම්පූර්ණ විය.