එක වහලක් යට ජීවත් වෙන එක හිතන තරම් ලේසි නෑ | සිළුමිණ

එක වහලක් යට ජීවත් වෙන එක හිතන තරම් ලේසි නෑ

මගෙ පුතා මාස හයකට කලින් කසාද බැන්දා, බඳින්න කලින් හැම මාසෙම පෝයට මාව පන්සල් එක්කන් ගියේ, බෙහෙත් ටික අරන් දෙන්න එක්කන් ගියේ මගෙ කොල්ලා, හදිස්සියට හන්දියට යන්න කතා කළත් බෑ නොකියා කාර් එක ස්ටාර්ට් කරගන්නවා. කසාද බැඳලා මාස හයක් ගියා විතරයි අච්චර හොඳට හිටපු මගේ කොල්ලා දැන් ගෙදර එන්නෙත් යලට මහට. මේ මාස හයට ඒ කෙල්ල මගෙ කොල්ලව වෙනස් කළා. මගේ පුතාට ඇත්ත තේරුම් කරලා දීලා මෙන්න මේ ගෑනිගෙන් මගෙ පුතාව ගලවලා දෙන්න“ කියලා උපදේශනයට ආපු අම්ම කෙනෙක් අඬ අඬ කියන්න ගත්තා.

ඇත්තටම ඒ අම්මගේ පැත්තෙන් බලනකොට තමන් පොඩි කාලේ ඉඳන් ලේ කිරි කරලා දීලා කන්න බොන්න දීලා ලොකු මහත් කරපු දරුවා විවාහයෙන් පස්සේ තමන්ව නොසලකා හරිනවා කියලා දැනෙනකොට ඒ එන ආවේගය දුක සහ කලකිරීම වැරැද්දක් නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්.

නමුත් මැද තැනක් ඉඳන් බලනකොට එතන වැරැද්දක් තියනවා.

ඔන්න ඔය වැරැද්ද පැහැදිලිව නිවැරදි කර නොගැනීම නිසා මවුපියෝ නොදැනීම මේ සමාජය ඇතුළේ හුඟක් දරුවන්ගේ ජීවිත විනාශ වෙලා, හානි වෙලා යනවා.

ඒක දරුවන්ටත් වඩා මවුපියෝ තේරුම් ගන්න ඕන යථාර්ථයක්.

කිසිම දරුවෙක් ඉල්ලුම් පත්‍ර දාලා අපේ ළඟට එන්නේ නැහැ. අපි අපේ කැමැත්තෙන් අපේ වුවමනාවට දරුවන්ව මේ ලෝකෙට උපද්දලා ඒ දරුවෝ ලොකු මහත් වෙනකම් පෝෂණය කළා, කියන එකේ තේරුම දරුවෝ එයාලගෙ මුළු ජීවිතයම අපි වෙනුවෙන් කැපකළ යුතුයි කියන එක නෙමෙයි .

දරුවෝ වැඩිමල් වෙලා ඉගෙන ගෙන, රස්සාවල් කරලා, තරුණ කාලෙට ආවට පස්සේ එයාලට ආවේණික හීන කියලා දේවල් ජීවිතවලට එකතු වෙනවා, ආසාවල් ඇති වෙනවා, බලාපොරොත්තු ඇති වෙනවා, ඒ වගේම ප්‍රේම සම්බන්ධකම් හැදෙනවා, ඔය හැම දේකටම පස්සේ එයාල එයාලගේ ජීවිත වලට ආවේණික බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන විවාහ ජීවිතවලට ඇතුළු වෙනවා.

ඒ වෙනකොට ඔවුන් ඒ ජීවිත අස්සේ ඔවුන් යන්න ආස ගමන්, ඉන්න ආස විදිහ, කතා බහ කරන්න කැමති දේවල්, එයාලගෙ බලාපොරොත්තු, එක්ක එයාලටම ආවේණික ජීවිත රටාවක් ඔවුන් විසින් නිර්මාණය කරගන්න උත්සාහ දරමින් ඔවුන් විවාහය කියන අලුත් ජීවිත රාමුවට අනුව ජීවිතය හැඩගස්වා ගන්න උත්සාහ දරමින් තමයි ඉන්නේ,.

ගෙවල් දෙකක, පරිසර දෙකක, සමාජ වටපිටාවල් දෙකක, වෙනස් මිනිස්සු විදිහට ඉපදිලා හැදිලා වැඩිලා ජීවිතේ මගක් හරියෙදි හමුවුන කෙනෙක් එක්ක එක වහලක් යට ජීවත් වෙන්න හුරුවෙනවා කියන්නේ ගැහැනු පිරිමි දෙපාර්ශවයටම හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි.

නුහුරු නුපුරුදු හැඟීම් එක්ක, නොගැළපීම් ගලපගෙන ඒ අළුත් ගමන යන්න හදනකොටම, වැඩිපුර නොහිතා උනත් දරුවන් තමන්ගෙන් ඈත් වෙයි කියා සිතින් මවාගත් බියක් හේතුකරගෙන ඒ ජීවිත මැදට පැනල අයිතිවාසිකම් ඉල්ලන එක, ඒ ජීවිත වලට බලපෑම් කරන එක, ඒ ජීවිත අස්සේ තමන්ට තියෙන තැන කොතනද කියලා ටෙස්ට් කරන්න උත්සහ කරන එක බොහෝ වැඩිහිටියන් අතින් සිදුවෙන එහෙත් නොවිය යුතු දෙයක්.

අලුත් කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගනිද්දී ,හිටපු කුටුම්බයෙන් මිදිලා අළුත් කුටුම්බයක ප්‍රධාන පුරුක් බවට පත්වෙද්දී, ඒ තියන් නුහුරු නුපුරුදු වටපිටාවත් එක්ක දරුවන් මවුපියන් සමඟ පෙර පැවති සම්බන්ධයේ යම් පරිමාණාත්මක ඈත්වීමක් ඇතිවීම ඉතාම සාමාන්‍යයි.

ඒ වගේම,

තමන්ගේ ජීවිතයේ වැඩිම කොටසක් වැය කරලා නිර්මාණය කරපු දරුවො වැඩිහිටියො වෙලා අලුත් ජීවිත පටන් අරන් තමන්ගෙන් ඈත්වෙලා ගියාම තමන් සමඟ හැසිරෙන කාලය අවම වුණාම, ඒ වෙනකොට විවේක සුවයෙන් ඉන්න මවුපියන්ට දරුවන්ගේ ඈත්වීම අහිමිවීමක් ලෙස පේන්න දැනෙන්න පටන් ගන්න එකත් සාමාන්‍යයි.

ඒක එහෙම වුණා කියලා, තමන්ට දැනෙන ඒ හැඟීමේ වරද තමන්ගේ පවුලට අලුතෙන් ආපු දුවට හෝ පුතාට චෝදනාවක ස්වරයෙන් පවරලා ඒ ජීවිතවලට ප්‍රශ්න හදලා දීලා, ඒ තරුණ හිත වේදනාවට පත් කරවලා, ඒ ජීවිත වල සහනය අවම කරලා ඔබේ දරුවන් ඔබට කොච්චර ආදරේද කියල හොයන්න හිතෙනව නම් අන්න ඒක තරමක් අසාමාන්‍යයි.

සොබාදහමට එක්තරා රටාවක් තියනවා. ගොක්කොළ මතුවෙනකොට පොල් කොළ මිය යනවා වගේ දරුවෝ ලොකු වෙනකොට එයාලට එයාලගේ ජීවිතවල අයිතිය බාරදීලා මවුපියන්ට හිත සතුටෙන් අඩියක් පස්සට ගන්න වෙනවා. මේ තියන සමාජ ආර්ථික අධි තරඟකාරී රටාවත් එක්ක හැප්පෙන එක ජීවිත ගේම් එක ගහන එක ඔබ තරුණ කාලේ තරම් ඔබේ දරුවන්ට ලේසි නැහැ.

ඒ අස්සේ මවුපියෝ විදිහට ඔබ අතින් ඔවුන්ගේ මනසට තවත් බරක් පටවන එකෙන් වෙන්නේ ඔවුන්ගේ තරුණ ජීවිත තව තවත් අවුල් ජාලාවක පැටලෙන එක විතරයි.

කුරුලු පැටියෙක් වුණත් තටු හයිය නැති කාළේ ළඟ තියාගෙන හිටියට තටු හයිය වෙලා තනියම පියාඹන්න පුළුවන් වුණදාට රිසි සේ පියාඹන්න අත ඇරලා දානවා. අන්න ඒ වගේ දරුවොත් පොඩි කාලේ ඇස් අස්සේ තියාගෙන ආදරෙන් හදලා වැඩිහිටියො වුණාට පස්සේ එයාලගේ ජීවිතවල අයිතිය එයාලට දීල නිදහස් කරලා දාන්න ඕන.

දරුවෝ වගේම මවුපියොත් මේ යථාර්ථවාදී ඇත්ත නිවැරදිව තේරුම් ගත්ත දාට මවුපියොත්, දරුවොත් දෙගොල්ලන්ට සතුටින් ඉන්න පුළුවන් වෙයි.

 

 

 

Comments