මා සියල්ල ජය ගත්තේ වැඩ කිරීමෙන්මයි | Page 11 | සිළුමිණ

මා සියල්ල ජය ගත්තේ වැඩ කිරීමෙන්මයි

ශ්‍රී ලංකා ඉංජි­නේරු ආය­ත­නයේ ප්‍රථම සභා­ප­තිනි වර­ලත් ඉංජි­නේරු ලංකා හතු­රු­සිංහ

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි සභාපති ධුරයටපත් වූ ප්‍රථම ඉංජිනේරුවරිය පසුගියදා අපට මුණගැසුණා. 1970 දී ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරියක ලෙස වෘත්තීය දිවිය අරඹා, 2004 වසරේදී මහවැලි සංවර්ධන මණ්ඩලයේ ඉංජිනේරු අධ්‍යක්ෂවරිය ලෙස විශ්‍රාම ලත් ඈ නමින් රන්ජනී ලංකා හතුරුසිංහ. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මෙරට බිහි වූ ‍බොහෝ වාරිමාර්ග ව්‍යාපෘති ඇරැඹීමට හා නිමැවීමේ කටයුතුවලට සිය දැනුමෙන්, ශ්‍රමයෙන් හා කාලයෙන් දායක වෙන්නට ලැබීම අද දවසේ එම ව්‍යාපෘතිවලින් ඵල නෙළා ගත් සංවර්ධිත ගම්මාන ඇස ගැසෙන විට විශාල ආත්මතෘප්තියක් ගෙන දෙන කරුණක් බව පවසමින් ඇය අප හා පිළිසඳරට එක් වුණා. ඉංජිනේරු ශිල්පය හුදු පිරිමින්ට පමණක් සීමා වී තිබුණු අවධියක කාන්තාවක ලෙසින් නිර්භයව ඒ සඳහා ඉදිරිපත් වී කටයුතු කිරීම එකල මහත් අභියෝගයක් වූ බවයි ඇය පවසන්නේ.

“උසස් පෙළ විභාගය සමත්වෙලා විශ්වවිද්‍යාලයට ඉල්ලුම් පත්‍ර යවන්නට සූදානම් වෙන විට ඒ කාලේ බොහෝ කාන්තාවන් ඉදිරිපත් නොවෙන ඉංජිනේරු අංශයට ඉල්ලුම් පත්‍රයක් යොමු කරන්නට මා තුළ ආසාවක් ඇති වුණා. ඒ සඳහා මා වඩාත් දිරිමත් කළේ මගේ බාල සොහොයුරියයි. ඒ සඳහා මගේ පියාගේ ආභාසයත් තරමක් දුරට බලපෑවා. එච්.ජේ.ඒ. පෙරේරා නම් වූ මගේ පියා රැකියාව කළේ විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්ෂකවරයකු ලෙස. ඔහුගේ ආභාසය නිසා අපේ නිවෙසේ කාටත් ඉංජිනේරු ශිල්පය පිළිබඳ තරමක හැඟීමක්, උනන්දුවක් තිබුණා. ඩී.එස්.ඩී. ජයනෙත්ති නම් වූ මගේ මව ගුරුවරියක්. අපේ පවුලේ ළමයින් හය දෙනෙක්. මම පවුලේ වැඩිමලා. නිවුන් සහෝදරයො දෙදෙනෙක්. ඉන්පසුව තව සහෝදරියක්. පවුලේ බාලයා මල්ලි. තාත්තා විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ රැකියාව කළ නිසා තාත්තා රැකිය‍ාවෙන් මාරුවක් ලබන විට ඒ ඒ ප්‍රදේශවලට අපේ පදිංචියත් මාරු වුණා.,, නිද‍හසේ අතීතාවර්ජනයේ යෙදෙන ඇයට මම මොහොතක් බාධා කළා.

එතකොට ඔබේ උපන්ගම කොහේද?

ඉපදුණේ මාතර. තාත්තාගේ ගම මීතොටමුල්ල. අම්මාගේ ගම වාද්දුව.

මූලික අධ්‍යාපනය ලැබුවේ?

මූලික අධ්‍යාපනය ලැබුවේ වාද්දුවේ ගමේ පාසලින්. හතර වැනි ශ්‍රේණියේදී පාණදුර බාලිකාවට ඇතුළු වෙලා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබුවා. උසස් පෙළ කරන්නට බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයට ආවා. ඒ 1954 දි.

උසස් පෙළ සඳහා ගණිත අංශයම තෝරා ගත්තේ ඇයි?

ඇත්තට ම මම ආසා කළේ වෛද්‍යවරියක් වීමටයි. ඒත් ජීව විද්‍යා විෂය සඳහා සතුන් කපන්න සිදුවන නිසා මම ඒ ආසාව අතහැරියා. මම ගණිතයට දක්ෂ නිසා ගණිත අංශය තෝරා ගන්නා ලෙස මට පාණදුර බාලිකාවේ හිටපු විදුහල්පතිතුමිය උපදෙස් දුන්නා.

ඒ දේවි බාලිකාවේ ආරම්භක අවධිය. සිසුවියන් කී දෙනෙක් උසස් පෙළ ගණිත අංශයේ ඉගෙනීම ලැබුවාද?

සිසුවියන් විසි දෙනෙකු ඉගෙනුම ලැබුවා. 1963 දි උසස්පෙළ විභාගයට ලිව්වා. අපි පස් දෙනෙක් ඉංජිනේරු අංශයට තේරුණා.

ඒ අය කවුද?

මම, චම්පා සිරිවර්ධන, කුසුමා සූරියආරච්චි, සුමිත්‍රා මුතුකුමාරණ සහ රෝහිණී කුරුවිට. ඒ කාලේ භෞතික විද්‍යා අංශයට වගේ ම වෛද්‍ය විද්‍යා අංශයට සිසුවියන් බොහෝ දෙනෙකු තේරුණා.

කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ?

හරිම සුන්දරයි. පළමු වසරේ අපි ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ. දෙවැනි වසරේදි ඉංජිනේරු අංශය පේරාදෙණියට ගෙන ගියා. විශ්විද්‍යාලෙ පරිසරය හරිම අලුත් අත්දැකීමක් වුණා.

එයට හේතුව?

දේවි බාලිකාවෙ අපි හැදී වැඩුණෙ බොහොම තද බල විනයානුකූල පසුබිමක. ඒ කාලේ ගුරුවරියන් හරිම සුහදයි, තරුණයි. අපි පාසල් බිමේදී ඇති තරම් විනෝද වුණා. සැහැල්ලුවෙන් හිටියා. ඒත් පාසලින් පිට සමාජයේදි අපි විශේෂයෙන් පරිස්සමින් හැසිරෙන්න පුරුදු පුහුණු වුණා. අපිට පිරිමි ළමයින් සමඟ නිදහසේ හැසිරෙන්නට ආශ්‍රය කරන්නට ප්‍රථම වරට අවස්ථාව ලැබුණේ සරසවියේදි.

ඒ අවස්ථාව බොහොම සුන්දර එකක් වෙන්න ඇති?

ඔව්. අපි හරි සුහදව පිරිමි ළමයින් ඇසුරු කළා. ඒ කාලේ පිරිමි ළමයිනුත් අදට වඩා වෙනස්. හොඳ හික්මීමක් තිබුණා. ගැහැනු ළමයින් වෙත ආචාරශීලීව හැසිරුණා. ලොකු සහෝදරත්වයක් අපි අතර තිබුණා.

නවක වධය, මල්සර උක්දඬු සරසවියට අමුතු දේ නොවෙයි මේවා සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් කෙබඳුද?

ඒ කාලේ නවකවධය බොහෝවිට පුංචි විහිළුවකින් කෙළවර වුණා. මගේ කණ්ඩායමේ පිරිමි ළමයින් 11 ක්. කණ්ඩායමේ හිටපු එකම ගැහැණු ළමයා මමයි. ඒත් මල්සර උක්දඬු හීසරවලින් හිරිහැරයක් එල්ල වුණේ නෑ. හරිම ස‍හෝදරත්වයෙන් සුහදව කටයුතු කළා. මම අධ්‍යාපනයට පළමු තැන දීලා කටයුතු කළ කෙනෙක්. පසු කලෙක ජීවිතයම රැකියාවට කැප කළා. ඉංජිනේරු වෘත්තිය හරියට කරන විට ගෘහ ජීවිතයේ බැඳීම්වලට බාධා වේය යන අදහස මා තුළ තිබුණා.

පළමු වැනි පත් වීම ලැබුණේ?

1970 දි ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවට. වසරක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පුහුණුව ලැබුවා. අනතුරුව මහවැලි සංවර්ධන මණ්ඩලයේ ඉංජිනේරුවරියක ලෙස වෘත්තිය ඇරැඹුවා. වාරිමාර්ග ඉංජිනේරු අංශයෙන් වැඩි දුර අධ්‍යාපනය සහ පුහුණුව ලැබුවා.

නවක ඉංජිනේරුවරියක වූ ඔබට මුහුණ දීමට සිදුවූ ලොකු ම අභියෝගය කුමක් ද?

මහවැලියේ වාරිමාර්ග ඉංජිනේරු අංශයට පත්වුණු මුල් ම කාන්තාව මමයි. එහි සේවය කළ ඇතැම් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් මෙන් ම වැඩ නියමුවන් හා කම්කරු සේවකයන් පවා මුලින්ම මගේ හැකියාව හා ශක්තිය පිළිගන්නට ඒ තරම් කැමති වුණේ නෑ. ඒ මම තරුණියක් නිසා. ඒ බෝවතැන්න ජලාශය ඇරැඹීමට සූදානම් වූ කාලයයි. මම නිර්භීතව ජලාශ වැඩබිම වෙත බැසීම ඇතැමුන්ට පුදුමයක් වුණා. වරලත් ඉංජිනේරුවරියක වීම සඳහා ප්‍රායෝගික පුහුණුව ලබා දීම ඒ කාලේ අත්‍යවශ්‍යයයි. ඒ 1974 දි. පුහුණුව ලබා ගැනීමට වැඩ බිමට බසින්න මා බියක් දක්වන බව ඇතැම් නිලධාරීන් ඉහළට දන්වා තිබුණා. එහෙත් සත්‍ය වූයේ එය නොවෙයි. මමත් පිරිමියකු මෙන් ම වැඩබිමට බැස බාස් උන්නැහේලාට නිවැරැදි උපදෙස් දෙමින් වැඩ කළා. කාන්තාවක් වුවත් මගේ හැකියාව හා කැපවීම ඔවුන්ට ප්‍රතික්ෂේප කරන්නට බැරි වුණා. ඉන්පසුව පළපුරුදු වැඩිහිටි බාස් උන්නැහේලාත් යමක් කරන්නට පෙර මගෙන් අහලා මගේ උපදෙස් පතන්න පුරුදු වුණා. කාන්තාවක් වීමත් ළා බාල තරුණියක වීමත් පිරිමින් සමඟ කරට කර වැඩකරන විට ඉබේම අමතක කර හැකියාවට හා කැපවීමට නිසි තැන ලබා දෙන්නට ඔවුන්ට සිදු වුණා. නිලධාරිවාදය වගේ ම පුරුෂාධිපත්‍යය රාජකාරියේදී මා මුහුණ දුන් ලොකුම අභියෝගයයි. මා එය ජය ගත්තේ වැඩ කිරීමෙන්මයි.

සාමාන්‍යයෙන් කාන්තාවකට පිරිමින් අතර වැඩකරන්නට අමාරුයි. ඉංජිනේරු වෘත්තිය සුදුසු පිරිමින්ට පමණයි යන අදහසක් පොදු සමාජයේ තිබෙනවා. මේ කියමනට ඔබ එකඟ වෙනවාද?

නෑ. එය සත්‍යයක් නොවෙයි. මා මුලින් සඳහන් කළ ආකාරයේ අභියෝග, මත ගැටුම් හා බාධා එල්ල වෙන්නට පුළුවන්. ඒවා ජයගන්නට කාන්තාවට ශක්තිය තිබෙනවා නම් ඔවැනි දේ ගැටලු නොවෙයි. අපි රැකියාවට පැමිණි මුල් කාලයේ මේ මතය තරමක් දැඩිව සමාජයේ තිබුණා. ඒත් අද කාලේ එය ඉතා සාමාන්‍ය දෙයක්. අභ්‍යවකාශයට යන කාන්තාවන් අද අප අතර සිටිනවා. බොහෝ ක්ෂේත්‍රවල පිරිමින්ට වඩා ඉදිරියෙන් කාන්තාවන් සිටිනවා. තමා නිරත වන කාරිය කුමක් වුවත් තමන්ගේ විෂය ක්ෂේත්‍රය හොඳින් දැන සිටීමත්, කරන දේ හරියට කරන්නට හැකි වීමත් මෙවැනි ගැටලු විසඳා ගැනීමට ඇති හොඳම පිළියමයි.

ඔබ රාජකාරි කළ වඩාත් ම මතකයේ රැඳුණු ව්‍යාපෘති මොනවාද?

බෝවතැන්න ජලාශයේ වේල්ල ඉදිකිරීම උල්හිටිය හා රත්කිඳ ජලාශයන්හි වේලි තැනීම. අවසානයේ මොරගහකන්ද ජලාශය පිළිබඳ ශක්‍යතා අධ්‍ය්‍යන කටයුතුවලට දායක වුණා. ඒ කාලේ ජලය නැතිව වගා කරනගන්න බැරිව අසරණව සිටි දුප්පත් ගොවි ජනතාවට ජීවිකාව කරගන්නට මේ ඇළ වේලි බැඳ ජලය සපයා දීමෙන් විශාල සමාජ මෙහෙවරක් මෙන් ම පුණ්‍ය කර්මයකට දායක වන්නටත් රටේ ආර්ථික සංවර්ධනයට සුළු වශයෙන් හෝ දායක වන්නට හැකි වීමත් පිළිබඳ විශාල තෘප්තියක් හිතට දැනෙනවා.

අද ඒ ව්‍යාපෘති දකින විට එදා ඒ පළාත් තිබූ ආකාරය ගැන ඔබේ මතකයට නැ‍ඟෙන්නේ කොහොමද?

ඇත්තට ම අපි එදා ඒ පළාත්වලට ගියේ අලි ඇතුන් වන සතුන් ගහන කැලෑ එළි පෙහෙළි කරගෙන. අද ඇතැම් ව්‍යාපෘති අරඹන්නට සැරසෙන විට ජනතාව විරෝධය පාන ආකාරයෙන් ම එදා අපි කැලෑ එළි පෙහෙළි කරන විටත් පරිසරය විනාශ කරනවා ගහ‍කොළ කපනවා. මිනිසුන්ගේ ඉඩම් අල්ලා ගන්නවා කියමින් ජනතාව විශාල විරෝධයක් පළ කළා. ඒත් එදා අපි ඉදිකළ ජලාශවලට ජලය පිරිලා තමන් ගේ කුඹුරු ඉඩම් වගා කරගන්න දෙකන්නෙට ම වතුර ලැබෙන විට ජනතාව සෑහීමකට පත් වුණා. එදා අපි කැලෑ කැපුවෙ ඒ වෙනුවට වෙනත් ගස්වැල් සිටුවමින්. අද ඒ ගස්වැල් හොඳින් වැඩිලා ජනතාවට සිසිල සෙවණ සදන මහා වනස්පති බවට පත්වෙලා. කුඹුරු වගා සරු වෙලා. පාසල්, රෝහල්, මංමාවත්, පොදු පහසුකම් සියල්ල මේ ව්‍යාපෘති නිසාම ගම්වලට ලැබිලා. ගම දියුණු වෙලා. ජනතාව බොහොම දියුණුයි. සතුටින් සිටින බව පෙනෙනවා. එදා මම හැම වෙලාවෙම වැඩ කරන පිරිසට කීවේ අද අපි මේ කරන රාජකාරිය හරියට කරමු. මේ කරන වැඩය ආපදාවක් නොවී අඩු ගානේ අවුරුදු 100ක්වත් පවතින්නට ඉදි කරන්නට ඕනෑ කියලා. ඒ අපෙන් ඉටුවිය යුතු ජාතික මෙහෙවරක් ලෙස සිතා වැඩ කරමු’ කියලයි. අද ඒ පළාත්වල සංවර්ධනය ඇසින් දකින හැම මොහොතකම අපි අපේ රටට විය යුතු යුතුකම ඉටුකළා නේද යන සිතිවිල්ල මගේ හිතට දැනෙනවා.

ඔබ ඉංජිනේරු ආයතනයේ සභාපතිධුරයට පත්වූ ප්‍රථම කාන්තාව ලෙස වාර්තාගත වෙනවා?

ඔව්. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ආරම්භ කර තිබෙන්නේ 1906 වසරේ. එදා සිට එහි සභාපති තනතුරට පත්වුණේ පිරිමි පමණයි.

ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ වරලත් මහාචාර්ය ඒ. තුරෙයිරාජා මහතා ඉංජිනේරු ආයතනයේ සභාපතිවරයා‍ ලෙස කටයුතු කළ අවධියේ කාන්තාවන්ටත් තැනක් දිය යුතු යැයි කියමින් මා වෙත අධි සාමාජිකත්වය පිරිනමමින් කවුන්සිලයට සම්බන්ධ කරගත්තා. එතැන් පටන් එහි විවිධ තනතුරු දරා උප සභාපති ධුරයට පත්වුණා. 1999 ඔක්තෝබර් මාසයේදි ආයතනයේ සභාපති ධුරයට පත් වුණා. ඒ වසර 93කට පසුවයි. අපේ රටේ ඉංජිනේ‍රු ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දැරූ ඉංජ‍ිනේරුවරියන් සිටියත් ඉංජිනේරු ආයතනයේ සභාපති ධුරයට කාන්තාවක තේරී පත් වුණේ ඒ අවස්ථාවේදී.

වාර්තාගත ඔබේ පත්වීමත් සමඟ මෙරට ඉංජිනේරුවරියන්ට වෘත්තීය මට්ටමෙන් විශේෂ මෙහෙවරක් ඉටු වෙන්නට ඇති?

ඔව්. ආයතනයේ සාමාජිකත්වය ලත් අවුරුදු 35න් පහළ තරුණ ඉංජිනේරුවරියන්ට වරලත් ඉංජිනේරු උපාධිය ලබා දීම සඳහා ආයතනයේ වාර්ෂික සැසිවාරයන්හි වෙනමම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා කර දුන්නා.

කාන්තාවක් ඉංජිනේරු වෘත්තියෙහි යෙදී සිටියත් ඇතැම්විට විවිධ ‍හේතු නිසා ඉංජිනේරු ආයතනය හා වෙනත් වෘත්තීමය අංශයන් වෙත එක් නොවෙන අවස්ථා තිබෙනවා. මගේ ධුර කාලයේදී ඔවුන් මුහුණ පෑ ගැටලු හඳුනාගෙන ඒවා විසඳා ආයතනය වෙත ඉංජිනේරුවරියන් ආකර්ෂණය කරගන්නට හැකි වුණා. කාන්තා ඉංජිනේරු සංසදය ආරම්භ කළා. ඔවුන් ගේ පරිපාලන හා සන්නිවේදන කුසලතා සංවර්ධනය කර ගන්නට අවස්ථාව සලසා දුන්නා. දැන් එම සංසදයේ සාමාජිකාවන් 500ක් පමණ සිටිනවා. 2018 වසරේ ආයතනයේ සභාපති ධුරයට පත් වන්නේත් කාන්තාවක්. ඒ මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරුවරියක වන මහාචාර්ය නිරන්ජනී රත්නායක.

ඔබේ සේවා කාලය කොපමණ ද?

වසර 43ක්. 1971 සිට 2014 දක්වා.

ඔබේ දස්කම් හා මෙහෙවර පිළිබඳ නිසි ඇගැයීමක් සිදු වූවා යැයි ඔබ තෘප්තිමත් ද?

ඔව් බොහෝ දුරට. මගේ සේවය විවිධ අවස්ථාවල රාජ්‍ය හා විදෙස් ඇගැයීම්වලට ලක් වී තිබෙනවා. ලෝක බැංකු ව්‍යාපෘති රැසක උපදේශිකාවක ලෙස කටයුතු කර තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාල කවුන්සලයේ සාමාජිකාවක ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් පත් කරනු ලැබුවා. ඉංජිනේරු ආයතනයේ භාරකාර මණ්ඩල සාමාජිකාවක මෙන්ම වරලත් ඉංජිනේරු වෘත්තිකයන්ගේ සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකාවක ලෙස අද දක්වාම කටයුතු කරනවා.

ඉංජිනේරු හා ගෘහනිර්මාණ හා ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ වසරේ විශිෂ්ටතම කාන්තාවට හිමි සොන්ටා අන්තර්ජාතික සම්මානය 1995 දී මා වෙත පිරිනමනු ලැබුවා.

2008 වසරේ කාන්තා දිනයේදී තාක්ෂණ අංශයේ විශිෂ්ටතම කාන්තාවට හිමි ජනාධිපති සම්මානය ලැබුණා.

ශ්‍රී ලංකා කාන්තා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මඟින් 2000 වසරේ විශිෂ්ටතම වෘත්තීය වේදිනියට හිමි සම්මානය හා දේවි බාලිකා විද්‍යාලයීය ස්වර්ණ ජයන්ති උත්සවයේදී වසරේ විශිෂ්ටතම ආදි දේවි දියණියට හිමි සම්මානයෙන් පුදනු ලැබුවා.

ඒ සිල්ලට වඩා උපන් රටට ජාතියට ණය නොවී රටට ‍වැඩක් කරන්නට ලැබීම ගැන මා සතුටට පත් වෙනවා. “වැඩක් කරපු කතක්” යන්න මා ලද ඉහළම නම්බු නාමය යනු මගේ හැඟීමයි.

ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු

Comments

I had the privilege of working with Ms Lanka Haturusinghe at Mahaweli Authority. She was an inspiration to the budding women engineers in Sri Lanka which represented less than 10 % of the Engineering graduates.She is an amazing lady with a golden heart.

පිටු