කළ ගුණ සුවඳ
මගේ මිතුරෙක් මට දුරකථනයෙන් කතාවක් කියන්නට පටන් ගත්තේ ය.
‘මං අපේ ගෙදර උඩ තට්ටුවෙ ජනේලෙන් අමුතු දෙයක් දැක්ක. එහා වත්තක වයසක උන්දැ කෙනෙක් බල්ලෙකුට සාත්තු සප්පායම් කරන හැටි තමයි මං දැක්කෙ. උගෙ ඇඟේ මැක්කො කඩනව. ඌව අතගානව. දවසක් දෙකක් නෙමේ. පහුගිය ටිකේ ම දවල් දවසෙ ඉඳල හවස් වෙනකං උන්දැ මේ විදිහට තමයි ගත කළේ. ඒ ගෙවල් එක්ක අපේ කිට්ටු සම්බන්ධයක් නැති හින්ද මේ කවුද ඇයි මෙහෙම කරන්නෙ කියල දැන ගන්ඩ විදිහක් තිබුණෙ නෑ. නමුත් ඒ ගැන දැනගන්ඩ ලොකු වුවමනාවක් මට ඇති වුණා’
ඔහු ඒ ආකාරයෙන් කතාව කියාගෙන ගියේ ය. කතා රසයට ලොල් වූ මම හූමිටි දෙමින් සිටියෙමි.
ඒ ගැන විපරම් කළ ඔහුට දැන ගන්නට ලැබී ඇති කතාව විස්මය දනවනසුලු ය.
අද වියපත් මේ කත තරුණ කාලේ ජීවත්ව ඇත්තේ පිට ගමක ය. දිනක් ඇගේ සැමියා ඇයත් කුඩා දැරියන් දෙදෙනාත් ගෙදරින් පන්නා දැමුවේ ය. කරකියා ගන්නට දෙයක් නොවූ ඇය දැරියන් ද කැටුව, ඒ වන විට විවාහ වී සිටි තම ලොකු පුතාගේ ගෙදර ගියා ය. කෙටි කලක් තිදෙනා එහි විසූහ. එහෙත් දිනක් ඔහු ද ඔවුන් පලවා හැරියේ ය.
ඉතින් මේ මව දැරියන් දෙදෙනා ද කැටුව අප මිතුරාගේ නිවෙසට කිට්ටු තැනක පිහිටි කුඩා කුලී ගෙදරකට ආවා ය. එතැන් පටන් ඔවුන් අලුතින් ජීවිතය පටන් ගත්තේ මේ කුලී ගෙදර සිට ය.
කාලය ගෙවි ගියේ ය. දැරියෝ ලොකු මහත් වූහ. මව වියපත් වූවා ය.
පෙම් සබඳතාවක් ගොඩ නගා ගත් වැඩිමහලු දියණිය පෙම්වතා සමඟ සරණ ගියා ය. ටික කලකට පසු බාල දියණිය ද විවාහ වී ගියා ය. මවට ඔවුන්ගේ නිවෙස්වලට යෑමට සිදු විය.
එසේ ගිය ද හැමදාම දහවල කුලී නිවෙස බලා ආ වියපත් මව සවස් වනතුරු එහි මිදුලේ ගත කළා ය. ඊට හේතුව මේ බල්ලා ය.
මවත් දැරියන් දෙදෙනාත් අසරණ වී මේ කුලී ගෙදරට ආ දා පටන් ඔවුන් ගේ ආරක්ෂකයා වී ඇත්තේ මේ බල්ලා ය. ඌ දැන් හොඳට ම මහලු ය. ඌට ඔවුන් හා යන්නට බැරි වී ඇත්තේ නැගිට ගන්නට ද පණ නැති නිසා ය.
ඉතින් මේ වියපත් මාතාව ඌට අහර ද බෙහෙත් ද රැගෙන දිනපතා ම ඌ සොයා එන්නී ය. ඌ පිරිසුදු කරන්නී ය. කවා පොවා සතපන්නී ය. ළඟින් හිඳ මැක්කන් කඩමින් ඌ පිරිමදිමින් තනි රකින්නී ය.
‘මේ කතාව හරියට දැනගත්තට පස්සෙ සතෙකුට කෙළෙහිගුණ දක්වන්න පුළුවං උතුම් මනුස්සයො මේ ලෝකෙ ඉන්නව නේද කියන හැඟීමෙන් මං ගල් ගැහිල ගියා. මං දන්නෙම නැතුව ඇස් දෙකෙන් කුඳුළු ගලා ගෙන ආව’ මිතුරා කතාව සමාප්ත කෙළ් ය.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
දිනක් ඇගේ සැමියා ඇයත් කුඩා දැරියන් දෙදෙනාත් ගෙදරින් පන්නා දැමුවේ ය. කරකියා ගන්නට දෙයක් නොවූ ඇය දැරියන් ද කැටුව, ඒ වන විට විවාහ වී සිටි තම ලොකු පුතාගේ ගෙදර ගියා ය.
කෙටි කලක් තිදෙනා එහි විසූහ. එහෙත් දිනක් ඔහු ද ඔවුන් පලවා හැරියේ ය.
ඉතින් මේ මව දැරියන් දෙදෙනා ද කැටුව අප මිතුරාගේ නිවෙසට කිට්ටු තැනක පිහිටි කුඩා කුලී ගෙදරකට ආවා ය.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.