![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/06/28/silu-06-30-nawakathawa.jpg?itok=hEjn1FjP)
මෝටර් රියේ ඉදිරිපස දොර විවර කළද ඊට නැඟෙනවා වෙනුවට ඔහු නැවත එය වසා දැමුවේය.
“නංගි කලබල වෙන්නෙ නැතුව ඉන්නවද...”
“අයියා කියන්නෙ මහ පුදුම කතාවක්නෙ... බලු පැටියෙක් නැති වුණත් හොයනවා නේද මිනිස්සු පත්තරවල හිටං දැන්වීම් දාලා.. මේ නැතිවෙලා තියෙන්නෙ බලු බළල් පැටියෙක් නෙමේ අයියෙ... ගෑනු දරුවෙක්.. අපේ කෙල්ල... අපේ එකම කෙල්ල... අයියටයි මටයි දෙන්නට ම ඉන්නෙ ඔච්චරයි නේද?”
ළමයින් හත්අට සියයක් පාලනය කරන විදුහල්පතිවරයාගේ භූමිකාවෙන් මිදී පිය හදවත විදහා පාන මෙන් ඇය එක එල්ලේ ඉල්ලා සිටියා නොවේ. එහෙත් ඇගේ හැඬුම්බර හඬෙහිද සියොළඟෙහි ද ඒ ඉල්ලීම ගැබ්ව තිබිණ.
“ඔළුව තියෙන ගෑනු ළමයෙක් නිසා තමා බයක් නැත්තෙ. කොයි වෙලාවක හරි ආපහු එයි. හැමදාම යාළුවන්ගෙ ගෙවල්වල ඉන්න බෑනේ”
“ඉතිං එහෙම කියලා කොච්චර කල් බලං ඉන්නනද... චම්පා අක්කා එනකම් අවුරුදු දෙකක් බලං ඉන්නවා නේද...? කෝ ඉතිං ආවද...?”
සිරිමාන්න කෝපයට ඉඩ හැරියේය. තවදුරටත් කරුණු පැහැදිලි කිරීමෙන් පලක් නොවන බව වටහා ගත්තේය.
“හරි දැං නංගි මට මොකක්ද කරන්න කියන්නෙ?”
“මං කියන්නෙ මේ ළමයා හොයන්න යං කියලා...”
ඔහු මෝටර් රියට නැංගේය. රියැදුරු අසුනේ හිඳගත්තද රිය පණ ගන්වන්නට හෝ යමක් පවසන්නට තැත් නොකළේය. ඇය රිය කවුළුවෙන් එබී බලමින් “එක්කො අපි අමාව හොයන්න ඕන. එහෙම නැත්තං පොලීසියට කියන්න ඕන. ඒ කිසිම දෙයක් නොකර උඩ බලාගෙන ඉන්නෙ කොහොමද අයියෙ” යි ඇසුවේ හැඬුම්බර හඬිනි.
“ඊයෙත් මම ගියේ ඉස්කෝලෙට නෙමේ නංගියේ”
“එහෙනං?”
ඔහු පළමුව දිගු සුසුමක් හෙළුවේය.
කිසිවකින් නොකැලඹෙන මිනිසෙකු ලෙස පෙනී සිටයද දියණිය පිළිබඳ තමා ළතැවන තරම කොතෙක්දැයි නිශ්චය කරගන්නට සිරිමාන්න පවා අපොහොසත් වෙයි. ඇය හිතුවක්කාර එකියක බව සැබෑය. එහෙත් ඒ හිතුවක්කාර යුවතිය තමාගේ එකම දියණිය නොවේද?
“අමා ගැන මට බයයි සිරී” යි ඇතැම් රැයක චම්පා ශෝකී හඬින් කොඳුරයි.
“බයවෙන්න ඕන මලක් වගේ දුවෙක් ගැන මිසක ගලක් වගේ දුවෙක් ගැන නෙමේ චම්පා”
“අනේ මංදා... ඔය මුරණ්ඩුකමත් එක්ක එයා කොහොමද දවසක හොඳ බිරියක් වෙන්නෙ? හොඳ අම්මා කෙනෙක් වෙන්නෙ? එයා හැමදේම දකින්නෙ කණපිටට”
සිරිමාන්නට සිනා පහළ වේ. ඔහුගේ ඒ උස් සිනාව ඇගේ නොසතුට වඩවයි.
“ඔයාට නම් හිනා... මගේ ඔළුව අවුල් වෙනවා මේ ළමයා ගැන හිතුවම” යි ඇය නොමනාපයෙන් පවසයි.
“ඇත්තම කියනව නම් චම්පා අපේ කෙල්ල නෙමේ අපි තමා කණපිටට දකින්නෙ හැම දේම... මොනවා වුණත් අමා දකින්නෙත් කියන්නෙත් ඇත්ත නේ. අපි ඇත්ත කියන්නෙ දෙපාරක් හිතලා. හුඟක් වෙලාවට අපි ඇත්තට වඩා කැමති බොරුවට. අමා ඉතිං පටස් ගාලා ඇත්ත දකිනවා.. ඇත්ත කියනවා..”
“අනේ මට ඔය තාත්තගෙයි දුවගෙයි අපභ්‍රංස තේරෙන්නෙ නෑ.”
සුනන්දාගේ කුහුල්බර නුවන් ඔහු ඒ රැයෙන් මේ උදාසනට කැටිව එයි.
“අයියේ”
ඔහුගේ නිහැඬියාව නොඉවසමින් ඇය හඬ ගෑවාය.
“මං අදත් යන්නෙ මගෙ කෙල්ලව හොයන්න”
ඇගේ දෙනෙත බෙහෙවින් ඇරී විමතිය ලැගුම් ගත්තේය.
“අ... අයියේ..”
“මුකුත් සිද්ධ නූන ගානට ඉස්කෝලෙ යනවා වගේ ගියාට මං ඊෙයත් මුළු දවසම අමාගේ යාළුවන්ගේ ගෙවල්වල හෙව්වා. ඒ කිසිම තැනකට මේ කෙල්ල ගිහිං නෑ නංගි..”
කිව යුතු යමක් නිනව් නොවූයෙන් සුනන්දා නිහඬව ම පසු වූවාය.
“අර කොල්ලා මොනවා හරි දන්නවා ඇති කියලත් හිතෙනවා. ඒත් ඒ මෝඩයා මාව මගාරිනවා නංගි. අදවත් අල්ලගන්න ඕන.”
සිය සොහොයුරා අදහස් කරන්නේ බ්‍රයන් පිළිබඳව දත් ඇය හිස සැලුවා පමණි.
“කොහොමටත් අමා මෝඩියක් නෙමේ. මට තියෙන එකම සැනසීම එච්චරයි” යි කියමින් ඔහු මෝටර් රිය පණ ගන්වා ගත්තේය.
“මාත් එන්නද අයියේ?” යි අසන්නට ඇයට වුවමනා වුවද ඇය පසුපසට වෙමින් රියට ඉඩ දුන්නාය.
අමාලි කිනම් මොහොතක හෝ ආපසු එන්නට ඉඩ තිබෙන බැවින් තමා නිවෙසේ රැඳී සිටිය යුතු බව හඟිමින් ඇය ගේට්ටුව වෙත ගියාය. එය වසා දමන්නට සැරසුණා පමණි.
“ආන්ටි”
ඒ හුරුපුරුදු හඬින් ඇය තිගැස්සුණාය.
“බ්‍රයන්?”
ඇය වටපිට බැලුවේ ඔහුගේ යතුරුපැදිය දකින සිතිනි. ඒ බැව් වැටහුණෙන් ඔහු මඳ සිනාවක් පෑවේය.
“මමයි ඩැඩයි මට එළියට බහින්න දෙන්නෙ නෑ ආන්ටි. ඒකයි හොරෙන් ම බස් එකේ ආවෙ..” යි ඔහු පැහැදිලි කළේය.
“අමා කොහෙද බ්‍රයන්?” ඇය ඔහු දෙස එක එල්ලේ බලමින් ඇසුවාය. හද සසල කරන තරමට ඒ ස්වරය සෝබර විය.
“ඇත්තට ම මම දන්නෙ නෑ ආන්ටි. මටත් මාර අප්සෙට්.”
තවදුරටත් මේ තරුණයා පිළිබඳව සැක කිරීමෙන් පලක් නොවන බව වටහා ගත්තාක් මෙන් ඇය සුසුමක් හෙළුවාය.
“කෝල් එකක්වත් දුන්නෙ නැද්ද?”
“නෑ ආන්ටි. මම සෑහෙන්න ට්‍රයි කළා අමාට කතා කරන්න.”
“මට නම් තේරෙන්නෙ නෑ මොනාද මේ සිද්ධ වෙන්නෙ කියලා... රවුං ගහන කොල්ලව කසාද බන්දලා දෙන්න හැදුවම පැන යන කෙල්ලොත් ඉන්නවද දෙයියනේ මේ ලෝකෙ...”
ඔහු අතකින් හිස අවුල් කර ගනිමින් හිතේ වියවුල සන්සිඳුවා ගන්නට තැත් කළේය.
“අපි යාළුවෝ විතරයි කියලා කොයිතරම් කිව්වත් ඕගොල්ලො පිළිගත්තෙ නෑනෙ ආන්ටි...”
ඔහු හෙළු චෝදනාත්මක බැල්මෙන් අපහසුතාවට පත් සුනන්දා “ගෑනු ළමයෙකුට පිරිමි යාළුවෙක් ඉන්න පුළුවන් තමා. ඒ වුණාට ඉතිං ඔච්චර ළඟින් ආශ්‍රය කරනකොට කාට වුණත් හිතෙන්නෙ නැද්ද මොකක් හරි සම්බන්ධකමක්ම තමා කියලා... එහෙම දෙයක් මුලදි නැතත් ඔහොම ඇවිදිනකොට එකටම ඉන්නකොට ඉබේම ඇති වෙන්නත් ඉඩ තියෙනවනේ...”
ඔහු පෑ මඳ සිනාවේ වේදනාවක් මිස සොම්නසක් ගැබ්ව නොතිබිණ.
“අමා ඉතිං වෙනස් ම එක්කෙනෙක්නෙ ආන්ටි”
දෙනෙත කඳුළින්පිරී යන අතරේම ඇය හිස සැලුවාය.
“ඒ වෙනස තමා හෙණේට හිටියෙ. පොඩි කාලෙ ඉඳන් ම රණ්ඩු... පුදුම වදයක් තිබ්බෙ ඔය ළමයගෙං. අයියගෙං ගුටි කනවා අක්කාගෙං බැණුම් අහවා ඉවරයක් නෑ. මාත් ඉතිං කොච්චරත් බණිනවා තමා.... කොච්චර බැන්නත් මාව බදාගෙන ඉඹිනකොට දුකේ බෑ. පොඩි ළමයෙක් වගේ...”
ඇගේ දෙකොපුල් තෙමා රූරා හැලෙන කඳුළු දෙස බලා සිටිය නොහැකිව ඔහු වෙනතක හැරුණේය.
“අමාගෙ යාළුවෝ ගැන ඔය ළමයා දන්නවනේ අපට වඩා. අනේ ටිකක් බලන්න පුතේ...”
“අමාට හිටපු එක ම යාළුවා මමනෙ ආන්ටි.”
“ඒකත් ඇත්ත” යි කී සුනන්දා සුසුමක් හෙළුවාය.
“තවත් නම් බලා ඉඳලා බෑ. පොලීසියටවත් යන්න වෙනවා ළමයෝ...”
“අංකල් මොකද කියන්නෙ?”
“එයා කියන ඒවා කරලා හරියන්නෙ නෑ. එයා ඉස්කෝලෙට විතරක් නෙමේ ගෙදරටත් ප්‍රින්සිපල් වෙන්න යනවනේ...”
ඔහුගේ වියළි දෙතොල් අතර මඳ සිනාවක් නැගිණ. ඇගේ විදුහල්පති සහෝදරයා සම්බන්ධයෙන් කී ඒ කතාව ඔහු එකහෙලා අනුමත කරයි.
“ගෙට යංද ළමයො... මං තේ ටිකක් හදන්නං...”
ඔහු හිස දෙපසට සලමින් ඒ ආගන්තුක සත්කාරය ප්‍රතික්ෂේප කළේය.
“කෝකටත් අපි තව ටිකක් බලමු ආන්ටි. අමා යන්න ඇති කියලා හිතෙන තැනක් මම දන්නවා. මම හෙට උදේ ම එහෙ යන්නයි ප්ලෑන් කරන්නෙ.”
ඇගේ දෑස් දැල්විණ.
“ඉතිං එහෙම තැනක් තියෙනව නං ඇයි නොගියෙ? හෙට වෙනකම් ඉන්නෙ ඇයි?” යි ඇය අපමණ නොඉවසිල්ලෙන් ප්‍රශ්න කළාය. උද්වේගය කොතෙක්දැයි කිවහොත් ඇගේ සිරුර වෙව්ලන්නට විය.
“ආන්ටි කියන්නෙ අදම යන්න කියලද?”
වරදකාරි හැඟීමෙන් පෙළෙමින් ඔහු මඳක් තැතනුවේය.
“ඔව්... අනේ ඔව්... ඕන්නං මාත් එන්නං...”
ඔහු මඳක් කල්පනා කළේය.
“නෑ... ආන්ටි ඉන්න. මම ගිහිං එන්නං...”
“දුරක යනව නම් සල්ලිත් එපැයි... චුට්ටක් ඉන්න...”
“නෑ.. නෑ... එපා... සල්ලි එපා... සල්ලි තියෙනවා.”
බ්‍රයන් කීවේ අර්ධ සත්‍යයකි. ඔහුෙග් පියා පනවා තිබෙන නව නීතී රීති හා තහංචි අණ පණත් හේතු කොටගෙන උද්ගතව තිබෙන අතිශය අභාග්‍යසම්පන්න වාතාවරණය සිහි කළේය.
“තාත්තට හොඳටම තරහ ඇවිල්ලා” යි මවද පුනරුච්චාරණය කරන්නේ ඔහුගේ කෝපයත් නොරිස්සුමත් තීව්ර කරමිනි.
“අනේ විනාඩියක් ඉන්න බ්‍රයන්” යි ඉල්ලා සිටිමින් සුනන්දා නිවෙස වෙත දිව්වාය. අසහනයෙන් හිස අවුල් කරමින් පාර බැලූ තරුණයා සිරිමාන්නගේ මෝටර් රිය දැක තිගැස්සුණේය.
ලබන සතියට...