![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/07/05/silu-07-07-nawakathawa.jpg?itok=p4G0aCny)
තොරතෝංචියක් නැතිව අනේක විසූකදස්සන ගෙන හැර පාන රූපවාහිනී යන්ත්‍රයට පින්සිදු වන්නට ඇය රාත්‍රී ආහාරය භුක්ති වින්දාය. දවසේ වෙහෙසද නිවෙසේ ඒකාකාරීත්වයද සංසිඳුවාලන මේ මෙවලමට ඔහු සිතින් කයින් වෙළී බැඳී සිටියි. තවම පෙර පාසල් යන පුත්‍රයාට ගෙදර වැඩ උදෙසා සහාය වීමෙන් අනතුරුව ඔහුට ඒ හැටි කාරියක් ද නැත්තේය.
අෂේන් සමඟ පොත පතේ වැඩ කිරීම ද පහසු කර්තව්‍යයක් නොවේ.
“ඔය මල් ටික රතු පාටින් පාට කළා නම්නෙ පුතේ ලස්සන.”
දරුවා පියාගේ කීමට කන් නොදෙයි. කළු පැහැ මල් දකින නලින් චංචල වෙයි. එයින් ගම්‍ය වන්නේ මවුපියන්ගේ විරසකයෙන් පීඩා විඳින සිඟිති හදවතක වේදනාවද? විරෝධයද? හෙතෙම පශ්චත්තාපයෙන් මිරිකෙයි.
“රතු පාට කහ පාට දම් පාට මොන තරම් ලස්සන පාට තියෙනවද අෂේන්.. ඔයා ඇයි මේ මල් සේරම කළු පාටින් පාට කරන්නෙ?” යි ඔහු අසන්නේ තැවුල් සිතිනි.
“මං සමනලයත් පාට කරන්නෙ කළු පාටින්.”
අෂේන් කියන්නේ තවත් තදින් පාට කූර උලමිනි. ඔහුට සිය පියාගේ සිත් වේදනාව නොවැටහේ.
“කහ පාට සමනල්ලුනෙ ලස්සන. ඇයි පුතාට මතක නැද්ද අපි පේරාදෙණියෙ මල්වත්ත බලන්න ගියාම පාට පාට මලුයි ලස්සන සමනල්ලුයි මහගොඩක් දැක්කනේ. මතකයි නේද?”
ඒ මතකය කොලුවාගේ සිත පාරයි. අම්මා තාත්තා සමඟ එක්ව ගිය ඒ අවසන් ගමන ද චමත්කාරයෙන් අනූන එකක් නොවීය.
තරුණ මවුපියන් වෙළාගත් නොරුස්නා සහගත බව හා නොඉවසිලිමත් බව තුනී කරන්නට ඒ සෝබමාන උද්‍යානය පවා අපොහොසත් විය. සෑම කරුණක් අරබයාම ඔවුන් වාද විවාද කරගත් අතර ඇය සිය කෝපය පැහැදිලිව ප්‍රදර්ශනය කළාය. ඔහු නිතරම පාහේ කෝපය මැඬ පවත්වා ගනිමින් පුත්‍රයාගේ රැකවරණය පිළිබඳ කරදර විය.
“දුවන්න එපා අෂේන්... ඔච්චර හයියෙන් කෑගහන්න එපා අෂේන්... මොකද ඔයා ඔය උඩ පනින්නේ...? ඇයි ඔය තරම් හෙමින් යන්නෙ? ටිකක් හයියනේ යන්න බැරිද අෂේන්?” යි ඇය ඒ පැය කීපය තිස්සේ අණ කළාය. තහංචි පැනෙව්වාය. කොලුවා කොතරම් අසන්තෝෂයට පත්වී ද කිවහොත් වර්ණවත් මල් හා සුන්දර සමනලුන් නොදුටුවා නිසැකය.
“අෂේන්” නලින් හඬ ගෑවේ අතොරක් නැති වෙළෙඳ දැන්වීම්වලින් විඩාපත් වූ බැවිනි. දරුවා තනිවම කාමරයට නොයන බව ඔහු දනියි. එහෙයින් ඒ හුරුබුහුටි රුව සමීපයෙහි දක්නට නොලැබීමෙන් ඔහු වික්ෂිප්ත විය.
“යන්න යන්න”
අවසන් බත් පිඬද මුවෙහිලා ගත් අමාලි සිය කුඩා මිතුරාගෙන් ඉල්ලා සිටියාය.
“වතුර?”
ඇය බත් පිඟාන හිස් කළ වේගයෙන් විමතියට පත් අෂේන් පහත් හඬින් ඇසුවේය.
“වීදුරුවකට නම් ගේන්න එපා. බෝතලයක් ගේන්න.”
හිස සැලූ ඔහු කාමරයෙන් පිට විය. පුස්තකාල කාමරයට කුඩා ඇඳක් එක් කරන්නට සිදු වූයේ ඇතැම් දවසක එතල්ට නවතින්නට සිදුවන බැවිනි. සිය සේවා ස්ථානයේ අවශ්‍යතාව මත නලින්ට දුර බැහැර යෑමට සිදු වන අතර ඇය ඉතා කැමැත්තෙන් රාත්‍රිය ගත කරන්නේ වැඩිමනත් මුදලක් ලැබෙන නිසා මිස අමුතු කරුණාවකින් නොවේ. එහෙත් එය අෂේන්ට බිහිසුණු රාත්‍රියකි.
“හොඳට ම රෑ වෙලා. මට ඇහෙනවා සද්දයක්. මං ඉතිං හීං සැරේ ජනේලේ ඇරලා බැලුවා. ඔයා දන්නවද අෂේන් මං දැක්කෙ මොකක්ද කියලා...”
විසල් දෙනතින් බලා හිඳින කොලුවා දෑතින් දෙකන වසා ගනියි.
“එපා.. එපා කියන්න එපා.. මං අහන්නෙ නෑ.. මං අහන්නෙ නෑ..” යි ඔහු බෙරිහන් දෙන්නේ සෙල්ලම් කාරය පවා අමතක කර දමමිනි.
“ආ මේ මොකද මේ? මං තව කියල ඉවරත් නෑ. මෙයා බය වෙලා බොරුවට...”
අෂේන් සැකයෙන් කුඩා කර ගත් දෙඇසින් ඇය දෙස බලා සිටියි.
භීතිය යටපත් කර දමමින් ඉස්මතු වන්නේ කුතුහලයයි. මේ කෙසඟ හා කුරිරු ගැහැනිය පවසන්නට තැත් කරන්නේ කුමක්ද? ඇය ඒ මැදියම් රාත්‍රියෙහි ජනේලය තුළින් දුටුවේ කුමක්ද? මේ සා අසෝබන මේ සා වියළි බාරකාරියක බාරයෙහි තමා තබන්නට තරම් අකාරුණික වූ පියාට පමණක් නොව, නිබඳ සුන්දරත්වය රැක ගන්නට වෙහෙසුණු නිවෙස අතහැර පිටව ගිය මවට ද ඔහු දෝෂාරෝපණය කළේය.
“මට ඇති වෙලා.. මට එපා වෙලා.. ඔයාලා දෙන්නම මට වධ දෙනවා.. අවුරුදු සීයක් ජීවත් වෙන්නෑනෙ කවුරුවත්. ජීවත් වෙන ටික කාලෙ සතුටින් ඉන්න බැරි නම් මොකක්ද ඇති වැඩේ...?”
ඇය එසේ අසන කල නලින් කෝපයෙන් කෑගසයි.
“ඉතිං යන එකනෙ තියෙන්නෙ.. කවුද අල්ල ගත්තෙ? ඉන්ඩ බැරි නං යන එක තමා හොඳම දේ.. මෙතන හැම තිස්සෙම පුපුර පුපුර ඉන්නෙ නැතුව...”
“යනව තමයි.. මං යනව තමයි... බලාගෙන ඉන්නෙ මං යනකම්නෙ.. හිතාගෙන ඇති මං ගියාට පස්සෙ වෙන ගෑනියෙක් ගේන්න.. ගෑනු දහයක් ගෙනාවත් මට මොකද...”
මවුපියන්ගේ මේ බහින්බස් වීම නොවැටහුණ ද අෂේන් මහත්සේ කැලඹෙයි. ඔවුන් එකට එක්ව නිර්මාණය කළ කුඩා ජීවියා පිළිබඳව වගක් නැතිව දිගින් දිගට ම අඩදබර කරගනිති. බැරිම තැන ඔහු අතට අසුවූ යමක් වැරෙන් බිම දමා ගසයි. ක්‍රෝධයෙන් රත් පැහැ ගැහුණු නෙත් ඒ වෙත යොමු වෙත්ම ඔහුට එක්තරා අස්වැසිල්ලක් අත්පත් වෙයි. එහෙත් මේ රාත්‍රියේ වැර වෑයමෙන් පුරවා ගත් වතුර බෝතලය බිම අත හරින්නට ඔහුට වුවමනා නොවීය. වතුර බෝතලය තුරුලු කරගෙන දිව ගිය කොලුවා විසිත්ත කාමරයේ ම ඇද වැටීම කෙතෙක් නම් කනගාටුදායක ද...
“පුතා..” යි හඬ ගාමින් නලින් නැඟී සිටියේය.
“මොකද මේ වතුර බෝතලයක්?” යි ඔහු අෂේන් වෙත එමින් ප්‍රශ්න කළේය.
“න්.. නිකං..” යි කී අෂේන් දනි පනි ගා නැගිට ගත්තේය.
“කොහෙද යන්න ගියේ වතුර බෝතලේකුත් අරන්...?”
“න්... නෑ... තාත්තේ... එතල් ආන්ටි කීවා රෑට භූතයෙක් එනවා... එයා හරි තිබහෙන් ඉන්නෙ කියලා...”
“මොකක්?”
නලින් විමතියෙන් මෙන්ම සිය පුත්‍රයාගේ බාරකාරිය පිළිබඳව මෝදු වන අප්‍රසාදයෙන් දෑස හකුළා ගත්තේය.
“ඔ.. ඔව්.. තාත්තේ... එතල් ආන්ටි තමා කීවේ ඒ භූතයාට වතුර දෙන්න කියලා...”
අෂේන් වතුර බෝතලය යළිත් සිය කුඩා ළයට තද කරගත්තේය. තවමත් සැකයෙන් හකුළා ගත් දෙඇසින් බලා ගත්වනම ඉන්නා පියා එය උදුරා ගන්නට බැරි නැතැයි සැකයෙන් වගේය.
“වතුර බොන භූතයන් ගැන මම අහලම නෑ... අනිත් එක මිසිස් එතල් මොකටද ඔය භූත කතා කියන්නෙ ඔයා එක්ක...?”
“තාත්තා ඉන්නකෝ.. මම මේක දීලා එන්නංකො..”
“කොහෙද ඔය භූතයා ඉන්නෙ?”
අෂේන් වහා අතක් දිගු කළේය. ඉඳහිට එතල් ඇරෙන්නට අන් කිසිවෙක් පාවිච්චි නොකරන කුඩා කාමරය වෙත යොමු වූ නලින්ගේ දෑස් විමතියෙන් කුහුලින් මෙන් ම සැකයෙන් ද පිරුණේය.
“නෑ නෑ... තාත්තේ... භූතයා ඉන්නෙ ඒ කාමරේ නෙමේ...”
දෙවුර හැකිළු නලින් “හරි හරි ඔයා දීල එන්නකෝ භූතයට හරි කාට හරි ඔය වතුර බෝතලේ. මට නිදිමතයි.. මම නිදාගන්න යනවා.. ඔයා ඔය භූතයට කරන සත්කාරයක් කරල ඉවරවෙලා එන්නකො නිදාගන්න.” යි කීවේ නොසැලකිලිමත් අයුරිනි.
අෂේන් ජයග්‍රාහී බැල්මෙන් ද සැනසිලිදායක සිතින් ද අමාලි වෙත දිව ගියේය.
“ඔයා හරි පරක්කුයිනෙ අෂේන්” යි නොමනාපයෙන් කී ඇය වහා වතුර බෝතලය ඩැහැ ගත්තාය.
“මං වැටුණානේ...”
ඇය ඔහු වෙත හෙළුවේ අවඥාබර බැල්මකි.
“ආපෝ... වතුර බෝතලයක් උස්සගෙන එන්න පණ නැද්ද....?”
“ඔයා වගේ ලොකු නෑනේ මං.”
ඒ නිග්‍රහයෙන් රිදුණු සිත ඔහුගේ සෝබර ස්වරය විසින් හෙළිදරව් කළේය.
“හරි හරි... ඉතිං ඔයාගෙ තාත්තා දැක්කෙ නැද්ද? ඇහුවෙ නැද්ද වතුර බෝතලේකුත් අරන් කොහෙද යන්නෙ කියලා.. කාටද වතුර කියලා..”
ඔහු මහත් උනන්දුවෙන් උත්තර දීමට සැරසුණේය. එහෙත් ඒ සිඟිති හඬ ඔහුගේ පියාගේ ගැඹුරු හඬින් යටපත් විය.
“මොකද නැත්තෙ? මං ඇහුවා තමා. එතකොට මේ ළමයා කීවනේ භූතයෙකුට කියලා. මාත් මේ පස්සෙං ආවෙ භූතයව බලා ගන්න කියලා.”
යුවතිය ද දරුවා ද විස්මයෙන් ගොළුව ගියෝය. ඔහුගේ තියුණු නෙත් ඔවුන් වෙත එල්ල වූ හී සැරයක් බඳුය.
“මට මිසිස් එතලුත් කීවා ගේ ඇතුළෙ කවුරු හරි ඉන්නවා වගේ දැනෙනවා කියලා. එයත් හිතන්න ඇත්තෙ භූතයෙක් කියලා තමා. ඒත් ඉතිං මම කොහොමටවත් හිතුවෙ නෑ ඒ ඔයා කියලා..”
ඇගේ හිස පහතට නැඹුරු විය.
“අ.. අනේ තාත්තා..”
තමාගේ යෙහෙළිය මේ රාත්රියෙහිදීම පිටමං කරනු ඇතැයි බියපත් අෂේන් හැඬුම්බර හඬින් තැතනුවේය.
“ඔයා මිසිස් එතලුයි මාවයි දෙන්නම රැවැට්ටුවා නේද අෂේන්.. නරක නෑනේ මේ තරම් පුංචි වයසට මේ කරපු දේ..”
කුඩා මිතුරාට දෝෂාරෝපණය කිරීම ඉවසිය නුහුණු අමාලි වහා හිස එසෙව්වාය.
“අෂේන්ට මුකුත් කියන්න එපා.. මගෙයි වරද..”
“ඔව් ඔයාගෙ තමා වැරැද්ද. ඔයා කළේ ලොකු වරදක් තමා. අනුන්ගෙ ගෙදරකට පැනලා මෙහෙම හැංගිලා ඉන්න එක මොනතරම් ලොකු වරදක්ද... මගෙ වයිෆ් ආවා නම් බැරි වෙලාවත් ඔයාව දැක්කා නම් ඩිවෝස් කේස් එකේදී මම ලොකු අමාරුවක වැටෙනවා නේ?”
ඇගේ දෑසට කඳුළු නැඟිණ.
“සො... සොරි...”
සෝබර යෙහෙළිය කොලුවාගේ මුව පණ පොවයි.
“එයාට බණින්න එපා තාත්තා. එයා පව්.. එයා හරි හොඳයි.. තාත්තට මතක නැද්ද.. එයා තමා අර උසම උස ගහට නැඟලා මගේ බෝලෙ අරං දුන්නෙ...”
ලබන සතියට...