![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/06/28/nelumvila-tag.jpg?itok=sBVgvlHg)
ඉහළ නැගීම
පුංචි ළමයෙක් උදේ ම මා අත ලියුම් කරදහියක් තබා ගියේ ය.
මම එය දිගහළෙමි.
‘ලොකු සර්, මගෙ සුමේධ හොරට ඉස්කෝලෙ එන්නෙ නැතුව කජු ගහට නැගල! සර් එන්ඩ.’
මම ලිපිය පසෙක තබා පාසල අරඹා අනතුරුව පා පැදියේ නැගී සුමේධ සොයා ගියෙමි.
මා පා පැදියෙන් බසිද්දී ඔහු ගේ මව ඉදිරියට ආවේ බෙරිහන්දීගෙන ය.
‘ලොකු සර්, අන්න සුමේදය කජු ගහේ. හොඳටම ගහන්ඩ!’
මම කලබලයකින් තොරව හිස උස්සා කජු ගස දෙස බැලීමි. සුමේධ බියපත් නෙතින් මදෙස බලා සිටියේ ය.
‘පුතා සුමේධ, කජු ගහෙං බැහැල මාත් එක්ක ඉස්කෝලෙ යං!’ මම නිවුණු හඬින් දරුවා ඇමතුවෙමි.
දඩිබිඩියේ ගසින් බට හේ ගෙට දුවගොස් ඇඳුම් ඇඳ පොත් ටිකද ගෙන පාරට ආවේ ය.
මම ඔහු පා පැදියේ නංවාගෙන පාසල බලා එන්නට වීමි. සුමේධ කටක් හෙලෙව්වේ නැත්තේ බයට ය. අද නම් හොඳට ම වදින බව සිතූ ගාණ ය.
අපි කෙමෙන් අහස්දියවළ ළඟට ආවෙමු. එතෙක් නිහඬ ව සිටි සුමේධ කට ඇරියේ ය.
‘ලොකු සර්, ඔයා මට කලිං කිව්වනං මං එනවනෙ. මං දන්නෙ නෑනෙ මං නැතුව ඉස්කෝලෙ කරගෙන යන්ඩ බෑ කියල’ සුමේධ ගැහෙන හඬින් කියා දැමුවේ මා පිට වරද පටවමිනි.
කිතුලට නැගි මිනිහාටත් නිදහසට කියන්නට කරුණු තිබුණේ නම් සුමේධට නැත්තේ ඇයිදැයි සිතමින් මම නිහඬ වීමි.
පාසල් බිමේ පා පැදිය නැවැත්වූ මම සුමේධ බස්සවා මෙසේ කීමි.
‘පංතියට පලයං! හොඳ ළමයෙක් වෙයං!’
ඔහු කරබාගෙන පංතියට ගියේ ය.
දිගු කාලයක් ගෙවී ගියේ ය.
දිනක් මම නගරයේ ලොකු සාප්පුවකට ගොඩ වීමි. හිමිකරු කවුරුන් දැයි බැලූවිට හුරු පුරුදු මුහුණක සේයාව මතු විය. ඒ සුමේධ ය.
‘ආ සුමේධ කොහෙමද?’
‘හොඳයි හොඳයි... ආ මේ ලොකු සර්නෙ!’
මට සතුටක් දැනිණ. අපි පරණ දේවල් මතක් කරමින් මොහොතක් සතුටු වීමු.
‘දැංම යන්ඩ එපා සර්, පොඩ්ඩක් ඉන්ඩ. අපි තේ ටිකක් බොමු!’ සුමේධ මා අසුන් ගැන්නුවේ ය. ඉන්පසු ඔහු සිය බිරියත් සමග මට සංග්‍රහ කළේ ය.
එදා සුමේධ සමග පා පැදියේ එමින් සිටිය දී අහස්දියවළ ළඟ දී ඔහු කී අර ඓතිහාසික වචන දෙක තුන මම ඔහුගේ බිරියට කියා දැමුවෙමි.
සුමේධ හඬ නගා සිනාසුණේ ය. මැවුණේ රස සාගරයකි.
මාරාවිල, බටහිර වීරහේනේ, විශ්‍රාමලත් විදුහල්පති, ඩබ්ලිව්. එල්. බැසිල් ප්‍රනාන්දු මහතා විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.
ගමනක සැමරුම
දරු දැරියන් අසූවක පමණ පිරිසක් රැගෙන අප අධ්‍යාපන චාරිකාවක් සඳහා කොළඹ බලා යන්නට පිටත් වූයේ අලුත් අවුරුදු කටේ උදෑසනක ය. උදේ වරුවේ ස්ථාන කිහිපයක් නරඹා දිවා අහරින් ද පසු අප ලේක්හවුස් මන්දිරයට ළඟා වන විට සවස් වී තිබිණ.
අප ලේක්හවුසියේ පඩි පෙළ නැග එන විට ම ඉදිරියට පැමිණි සේවක මහත්වරුන් කිහිප දෙනෙකු අප පිළි ගත්තේ ගෙදරකට එන නෑ පිරිසක් පිළි ගන්නා සේ ය.
එදා අපි ජීවිතයේ පළමු වතාවට පුවත්පතක් මුද්‍රණය වන අයුරු දුටුවෙමු. ගමේ දී කියවන පත්තරය හැදෙන අපූරුව අපේ දරුවන් බලා සිටියේ ආසාවෙනි. ඒ මුහුණුවල දෝරෙ ගලන සතුටක් දිටිමි.
පුවත්පතක් සැකැසෙන ආකාරය ගැන එහි සේවක මහත්වරුන් අපේ දරුවන්ට කියා දුන්නේ ඔවුන් තමන්ගේ දරුවන්ය යන හැඟීමෙනි.
ආයතනය නැරඹූ ඉක්බිති ඔවුන් අපට සමු දුන්නේ දරුවන්ගේ සමූහ ඡායාරූපයක් ද ලබා ගත් පසු ය. ඉනුදු තම යුතුකම සහ වගකීම අවසන් නොකළ සේවක මහත්වරු අප දරුවන් පරිස්සමින් පාර මාරු කරවා බසයට ද ගොඩ කරවූහ.
දවසේ මෙහෙය නිම කර සිය නිවෙස් බලා යන මොහොත උදා වී තිබිය දීත් ඒ නොතකා බොහෝ දෙනා අප දරුවන් වෙනුවෙන් කාලය කැපකළ හැටි අපට කිසි දා අමතක නොවේ.
‘අපේ රටේ හැම ආයතනයක්ම මේ විදිහට වැඩ කරනව නං මේක කොච්චර ලස්සන රටක් වෙයි ද? ’ අප සමඟ පැමිණ සිටි මාපියන් අතරින් කෙනෙකු පවසනු ඇසිණ.
ලේක්හවුසිය නැරඹීම සඳහා අපට උදව් කළ අකුරැස්සේ චන්දන සහ ඩී. කේ. යන මහත්වරුන් ඇතුළු හැමෝටම අප විදුහල්පතිනි සී. එස්. පුංචිහේවා මහත්මිය ඇතුළු ඇදුරු මඬුල්ලේත් සිසු දරුවන්ගේත් පැසසුම හිමි වෙයි.
අකුරුස්සේ මාර/ මලිදූව කනිටු විදුහලේ නියෝජ්‍ය විදුහල්පති චිත්‍රානන්ද ගුණවර්ධන මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි .