නෙඵම් විල | Page 2 | සිළුමිණ

නෙඵම් විල

ඉහළ නැගීම

පුංචි ළම­යෙක් උදේ ම මා අත ලියුම් කර­ද­හි­යක් තබා ගියේ ය.

මම එය දිග­හ­ළෙමි.

‘ලොකු සර්, මගෙ සුමේධ හොරට ඉස්කෝලෙ එන්නෙ නැතුව කජු ගහට නැගල! සර් එන්ඩ.’

මම ලිපිය පසෙක තබා පාසල අරඹා අන­තු­රුව පා පැදියේ නැගී සුමේධ සොයා ගියෙමි.

මා පා පැදි­යෙන් බසිද්දී ඔහු ගේ මව ඉදි­රි­යට ආවේ බෙරි­හ­න්දී­ගෙන ය.

‘ලොකු සර්, අන්න සුමේ­දය කජු ගහේ. හොඳ­ටම ගහන්ඩ!’

මම කල­බ­ල­ය­කින් තොරව හිස උස්සා කජු ගස දෙස බැලීමි. සුමේධ බිය­පත් නෙතින් මදෙස බලා සිටියේ ය.

‘පුතා සුමේධ, කජු ගහෙං බැහැල මාත් එක්ක ඉස්කෝලෙ යං!’ මම නිවුණු හඬින් දරුවා ඇම­තු­වෙමි.

දඩි­බි­ඩියේ ගසින් බට හේ ගෙට දුව­ගොස් ඇඳුම් ඇඳ පොත් ටිකද ගෙන පාරට ආවේ ය.

මම ඔහු පා පැදියේ නංවා­ගෙන පාසල බලා එන්නට වීමි. සුමේධ කටක් හෙලෙව්වේ නැත්තේ බයට ය. අද නම් හොඳට ම වදින බව සිතූ ගාණ ය.

අපි කෙමෙන් අහ­ස්දි­ය­වළ ළඟට ආවෙමු. එතෙක් නිහඬ ව සිටි සුමේධ කට ඇරියේ ය.

‘ලොකු සර්, ඔයා මට කලිං කිව්වනං මං එන­වනෙ. මං දන්නෙ නෑනෙ මං නැතුව ඉස්කෝලෙ කර­ගෙන යන්ඩ බෑ කියල’ සුමේධ ගැහෙන හඬින් කියා දැමුවේ මා පිට වරද පට­ව­මිනි.

කිතු­ලට නැගි මිනි­හා­ටත් නිද­හ­සට කිය­න්නට කරුණු තිබුණේ නම් සුමේ­ධට නැත්තේ ඇයි­දැයි සිත­මින් මම නිහඬ වීමි.

පාසල් බිමේ පා පැදිය නැවැත්වූ මම සුමේධ බස්සවා මෙසේ කීමි.

‘පංති­යට පලයං! හොඳ ළම­යෙක් වෙයං!’

ඔහු කර­බා­ගෙන පංති­යට ගියේ ය.

දිගු කාල­යක් ගෙවී ගියේ ය.

දිනක් මම නග­රයේ ලොකු සාප්පු­ව­කට ගොඩ වීමි. හිමි­කරු කවු­රුන් දැයි බැලූ­විට හුරු පුරුදු මුහු­ණක සේයාව මතු විය. ඒ සුමේධ ය.

‘ආ සුමේධ කොහෙ­මද?’

‘හොඳයි හොඳයි... ආ මේ ලොකු සර්නෙ!’

මට සතු­ටක් දැනිණ. අපි පරණ දේවල් මතක් කර­මින් මොහො­තක් සතුටු වීමු.

‘දැංම යන්ඩ එපා සර්, පොඩ්ඩක් ඉන්ඩ. අපි තේ ටිකක් බොමු!’ සුමේධ මා අසුන් ගැන්නුවේ ය. ඉන්පසු ඔහු සිය බිරි­යත් සමග මට සංග්‍රහ කළේ ය.

එදා සුමේධ සමග පා පැදියේ එමින් සිටිය දී අහ­ස්දි­ය­වළ ළඟ දී ඔහු කී අර ඓති­හා­සික වචන දෙක තුන මම ඔහුගේ බිරි­යට කියා දැමු­වෙමි.

සුමේධ හඬ නගා සිනා­සුණේ ය. මැවුණේ රස සාග­ර­යකි.

මාරා­විල, බට­හිර වීර­හේනේ, විශ්‍රාමලත් විදු­හ­ල්පති, ඩබ්ලිව්. එල්. බැසිල් ප්‍රනාන්දු මහතා විසින් යොමු­ක­රන ලද ලිපි­යක් ඇසු­රෙනි.


ගම­නක සැම­රුම

දරු දැරි­යන් අසූ­වක පමණ පිරි­සක් රැගෙන අප අධ්‍යා­පන චාරි­කා­වක් සඳහා කොළඹ බලා යන්නට පිටත් වූයේ අලුත් අවු­රුදු කටේ උදෑ­ස­නක ය. උදේ වරුවේ ස්ථාන කිහි­ප­යක් නරඹා දිවා අහ­රින් ද පසු අප ලේක්හ­වුස් මන්දි­ර­යට ළඟා වන විට සවස් වී තිබිණ.

අප ලේක්හ­වු­සියේ පඩි පෙළ නැග එන විට ම ඉදි­රි­යට පැමිණි සේවක මහ­ත්ව­රුන් කිහිප දෙනෙකු අප පිළි ගත්තේ ගෙද­ර­කට එන නෑ පිරි­සක් පිළි ගන්නා සේ ය.

එදා අපි ජීවි­තයේ පළමු වතා­වට පුව­ත්ප­තක් මුද්‍ර­ණය වන අයුරු දුටු­වෙමු. ගමේ දී කිය­වන පත්ත­රය හැදෙන අපූ­රුව අපේ දරු­වන් බලා සිටියේ ආසා­වෙනි. ඒ මුහු­ණු­වල දෝරෙ ගලන සතු­ටක් දිටිමි.

පුව­ත්ප­තක් සැකැ­සෙන ආකා­රය ගැන එහි සේවක මහ­ත්ව­රුන් අපේ දරු­වන්ට කියා දුන්නේ ඔවුන් තමන්ගේ දරු­වන්ය යන හැඟී­මෙනි.

ආය­ත­නය නැරඹූ ඉක්බිති ඔවුන් අපට සමු දුන්නේ දරු­වන්ගේ සමූහ ඡායා­රූ­ප­යක් ද ලබා ගත් පසු ය. ඉනුදු තම යුතු­කම සහ වග­කීම අව­සන් නොකළ සේවක මහ­ත්වරු අප දරු­වන් පරි­ස්ස­මින් පාර මාරු කරවා බස­යට ද ගොඩ කර­වූහ.

දවසේ මෙහෙය නිම කර සිය නිවෙස් බලා යන මොහොත උදා වී තිබිය දීත් ඒ නොතකා බොහෝ දෙනා අප දරු­වන් වෙනු­වෙන් කාලය කැප­කළ හැටි අපට කිසි දා අම­තක නොවේ.

‘අපේ රටේ හැම ආය­ත­න­යක්ම මේ විදි­හට වැඩ කර­නව නං මේක කොච්චර ලස්සන රටක් වෙයි ද? ’ අප සමඟ පැමිණ සිටි මාපි­යන් අත­රින් කෙනෙකු පව­සනු ඇසිණ.

ලේක්හ­වු­සිය නැර­ඹීම සඳහා අපට උදව් කළ අකු­රැස්සේ චන්දන සහ ඩී. කේ. යන මහ­ත්ව­රුන් ඇතුළු හැමෝ­ටම අප විදු­හ­ල්ප­තිනි සී. එස්. පුංචි­හේවා මහ­ත්මිය ඇතුළු ඇදුරු මඬු­ල්ලේත් සිසු දරු­ව­න්ගේත් පැස­සුම හිමි වෙයි.

අකු­රුස්සේ මාර/ මලි­දූව කනිටු විදු­හලේ නියෝජ්‍ය විදු­හ­ල්පති චිත්‍රා­නන්ද ගුණ­ව­ර්ධන මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි .

Comments