නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

මතක සිත්තම

මට අමුතු අසල්වැසියෙක් සිටියේ ය.

තමාට ඕනෑ වූ විට මා ළඟට ගැනීමත් එපා වූ විට මා බැහැර කිරීමත් ඔහු ගේ පුරුද්ද විය. මම ඔහු ගේ හැටි හොඳින් දැන සිටියෙමි. එහෙත් ඇසුර නවතා දැමීමට තරම් සැහැසි නොවීමි.

නන්නාඳුනන තුවක්කුකරුවන් ආ ඒ අඳුරු යුගය එලැබුණේ ඔය අතර ය. ඔවුහු විටින් විට ගම්මානවලට පැන සිය සතුරන් නැසූහ. මරණයට ගොදුරු වූවන් අතර මා අසල්වැසියා ගේ නෑසියෝ දෙදෙනෙක් ද වූහ. තුවක්කුකරුවන් ඔහු ගේ ගෙට ද කඩා පැන්න‘ මුත් ඔහු ඒ මොහොතේ ගෙදරින් බැහැර වී සිටි හෙයින් දිවි ගැලවිණ.

මේ ආරංචිය ආ හැටියේ ම මම ඔහු ගේ ගෙදර ගියෙමි. ඔහු මා දැක හඬා වැටුණේ ය. ඔහු ගේ සොහොයුරිය තම සොහොයුරා ගේ පණ රැක දෙන්නැයි මට ආයාචනා කළා ය. ඔවුන් ගේ අසරණකම මා හදෙහි කා වැදී ගියේ ය. ඔවුන් සිටියේ ගහකොළ හෙවණැලි සැලෙන විට පවා තිගැස්සෙන මර බියෙනි.

මා සිටියේ ද එබඳු ම තත්වයක වුවත් ඔහු ගේ ජීවිතය බේරා ගත යුතුය යන අදිටන මසිත අරා පැන නැංගේ ය.

කළයුතු එක ම දේ වූයේ වධකයන් සොයා ගොස් ඔවුන් හා හාද වී ඔහු මරණයෙන් ගලවා ගැනීමට මහන්සි ගැනීම ය. ඒ වෑයම වූ කලී මරණය සමඟ කරන සෙල්ලමකි. මම ඒ සෙල්ලමට බැස්සෙමි.

පුදුමයකට මෙන් මට ඔවුන් කිහිප දෙනෙකු හඳුනා ගත හැකි විය. වෑයමින් මම ඔවුන් හා හාද වීමි.

මේ අතර මා අසල්වැසියා නිවසින් පිට ව ගොස් සිටියේ ය. ඔහුට ආරක්ෂක ස්ථානයක් ලැබී ඇති බව මට දැනගත හැකි විය. එය මට අස්වැසිල්ලක් ද විය.

දිනක් මම බසයක නැගී නෑ ගෙදරකට යමින් සිටියෙමි. සෙනඟ අතර හදිසියේ ම මා දුටුවේ අර කල්ලියේ මුහුණු කිහිපයකි. මම ඔවුන් හඳුනා ගතිමි. එහෙත් ඔවුහු මා නොදන්නා සේ තද බැල්මෙන් පසු වූහ. මම බිය වී බිම බලා ගතිමි. ටිකකින් කිසිවකු හෙමින් පිටට තට්ටු කරද්දී මම හැරී බැලුවෙමි. පුදුමයකි. ඒ ඔවුන් ය. බසයෙන් බැස යන්නට පෙර ඔවුන් රහසේ ම මගේ පිටට තට්ටු කළේ මා හඳුනා ගත් බව අඟවනු පිණිස ය.

ඊළඟ නැවතුමෙන් බැස ගත් මම මගේ නෑසියා ගේ ගෙදර ගියෙමි. එහි ඇතුළු කුටියක මගේ අසල්වැසියා සැඟවී සිටිනු දුටු මම ගල් ගැසුණෙමි. අර පිරිස එහා නැවතුමෙන් බැස ගත්තේ මොහු ගැන ආරංචිය දැනගෙන යැයි මට සිතිණ.

එදින රැයෙහි සැක සංකා සඟවාගෙන මම ඔහු සමඟ කතා කළෙමි. තම රැකවරණයට සුරයක් පලඳින බවත්, ඒ නිසා අන්තරායයක් ළඟ ඇත්නම් දැනෙන බවත් කී හෙතෙමේ අද කිසි දවසක නොදැනුණු තරම් බියක් දැනෙන බවත් කීවේ ය.

ගෙදර ඇත්තන් තද නින්දේ පසු වූ ඒ රැයේ ඔහුත් මාත් සිටියේ නිඳි නැති ව ය. හතර අතින් බල්ලන් බුරන විට ගැහෙන්නට වූ ඔහු කළුවරේ ම සොල්දරයට නැංවූ මම මෙට්ටයක් ඔසවා ගෙන ගොස් එය එහි ඇතිරුවේ ඔහුට සැඟවී සිටින පරිදි ය. ඔහු සැඟව ගත් පසු මම පහළට බැස්සෙමි.

සොල්දරයට නගින ලී තරප්පු පෙළ මට මහා වධයක් වූයේ වධකයෙකුට ඒ දිගේ නැග ගොස් ඔහු අල්ලා ගත හැකි බැවිනි. එය ඉවත් කළ යුතු යැයි මට සිතිණ. එහෙත් එය එසවීමට දෙදෙනෙකු උවමනා තරම් ය. ඒ මොහොතේ මසිත තුළ වූ වුවමනාව කෙතරම් ප්‍රබල වි ද යත් මම හඬ නොනැගෙන පරිදි එය ඔසවාගෙන ගෙන ගොස් ගෙයින් පිටත තබා යළි ගෙතුළට වැදී දොරගුලු ලා ගතිමි.

ඉන් පසු මතු වූයේ වෙනත් ප්‍රශ්නයකි. කළුවරේ ඔහු වැසිකිළි යන්නට හෝ බිමට බසින්නට ආවොත් ඇද වැටී බලාපොරොත්තු නොවූ මහ විපතක් වනු ඇත. එහෙයින් මම තරප්පු පෙළ තිබූ තැන බිත්තියට පිට දී හිඳ පහන් වන තුරු උඩ බලාගෙන සිටියෙමි.

පසුදා එළිය වැටෙත් ම තරප්පු පෙළ නැවත ගෙට ඇදගත් මම ඔහු බිමට බස්සවා රහසේ ම ගෙයින් පිට කර වෙනත් ආරක්ෂිත තැනකට ඇරලවීමට කුලී රියක් සෙවීමි.

‘මහත්තයව නං කරේ තියාගෙන හරි යන්නං. ඒත් එයාව අරං ගිහිං මැරුංකන්ඩ නං බෑ‘. කුලී රථ රියැදුරා කීවේ ය. මම ඔහුට බැගෑපත් වීමි. ඔහු මා අසල්වැසියා රියෙහි නංවා ගෙන ගියේ තවදුරටත් මා අසරණ නොකළ යුතු යැයි සිතූ නිසා විය යුතු ය.

අඳුරු යුගය නිම විය. ජීවිතය බේරාගත් ඔහු ද අලුත් ජීවිතයක් පටන් ගත්තේ ය.

යළිත් මා නාඳුනන්නකු ලෙස හැසිරීමට ඔහුට වැඩි දවසක් උවමනා නොවී ය. දිවි පරදුවට තබා මා කළ උදව් ඔහුට අමතක ව ගියා සේ විය. මම එය උපේක්ෂාවෙන් ඉවසන්නට පුරුදු වීමි. කලකට පසු ඔහු ස්වභාවික ව මිය ගියේ ය. ඔහු ගේ නිසල දේහය ඉදිරියේ මා රැඳී සිටි ඒ නිමේෂයේ ඔහුත් මාත් පමණක් දන්නා මේ අතීත සිදුවීම් පෙළ මනෝ චලන චිත්‍රයක් සේ මසිතෙන් මතුවී ආයේ ය.

රත්නපුරේ එච්. වී චන්ද්‍රසිරි මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

 

නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

Comments