* ගොවි පවුල් 4000ක් අතරමං
* ගොඩ වූ වැවේ ඉඩම් අල්ලාගන්න කුරුමානම්
* කෙටි කාලයකදී වැවේ ජලය හිඳී ගිහින්
අප රටෙහි චතුර්විධ සංස්කෘතිය ගොඩ නැඟී තිබුණේ ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන සංකල්පය මතය. ඒ මත පදනම් වූ ජන ජීවිතය එදා යම් සුභදායක මට්ටමක පැවතිණි. නමුත් අද අප කතා බහට ලක් කරන්නේ වැවක් තිබියදීත් ගමක් වැනසෙමින් පන්සලත් පාළුවට යන ගමක් ගැනය. මේ පුවත අපට වාර්තා වන්නේ පුත්තලම සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 607 ඩී ග්‍රාම නිලධාරි වසමට අයත් පොත්තුවිල්ලුව ගම්මානයෙනි.
මෙම ගම්මානය වසර දහස් ගණනක අතීතයකට හිමිකම් කියන පෞරාණික ගමකි. ගමේ පිහිටි පුරාණ රජ මහා විහාරයට යාබදව ඇති පොත්තුවිල්ලුව වැව අක්කර අටසීයයට ආසන්න වපසරියකින් යුක්තය. ගමේ වැව ගමේ ජනතාවගේ ජීවනෝපායේ පදනම ලෙස ගම්මු සලකති. පොත්තුවිල්ලුව වැවේ ඉතිහාසය වසර 60කටත් එහි බව ගමේ පැරැණියෝ සඳහන් කරති. පවුල් 4000ට ආසන්න සංඛ්‍යාවක් මෙම වැව ආශ්‍රිතව සිය ජීවිකාව සරිකර ගන්නේ කුඹුරු ගොවිතැනේ මෙන්ම ධීවර කර්මාන්තයේ ද නියැළෙමිනි.
ගමේ බහුතරයක් ගොවියෝ කාලයක සිටම මේ වැව ආශ්‍රිතව කෘෂිකාර්මික කටයුතුවල නිරත වෙමින් යල මහ දෙකන්නයේ කුඹුරු අස්වද්දා අතමිට සරුකර ගත්හ. මේ වැව යටතේ පෝෂණය වෙන පොල් අක්කර සිය ගණනකි.
ගොඩ වූ වැව මැද්දෙන් ගමන් බිමන්
වේලාසිය වැවෙන් පිරී ඉතිරී යන ජලය එල්ලංගා පද්ධතිය ඔස්සේ වැවට ගොස් වැව පිරීම සිදුවන බව කියති. නමුත් ඉතා මෑතක සිට මෙම වැව ආශ්‍රිතව ගොවිතැනේ නියැළෙන ගොවි සිහින බොඳ කරමින් වැවේ ජලය එකවරම සිඳී යෑම ගැන ගොවීහු සිය කනස්සල්ල පළ කරති. විශාල ජල ධාරිතාවක් තිබූ මේ විශාල වැව මාස හයක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණයෙන් සීඳී යෑම මහත් පුදුමයට කරුණක්ව තිබේ.
මේ හේතුව නිසා කුඹුරු අක්කර 250කට ආසන්න ප්‍රමාණයක ගොවිතැන් සම්පූර්ණයෙන්ම අඩාලවී කුඹුරු පුරන්වීම ගොවි ආර්ථිකයට සෘජුව බලපා තිබේ.
අක්කර 800ක මහා පරිමාණ වාරි ව්‍යාපාරයක් අද වන විට ගොදුරු ලොබින් සැරිසරන කොකුන්ගේ හා කබරගොයින්ගේ සරණ බිමක් බවට පත්ව ඇති අතර වැව ඝන කැලෑවකින් වැව වැසී තිබේ.
වැව යටතේ ගොවිතැනේ යෙදෙන පාරම්පරික ගොවීන් පවසන්නේ වසර ගණනාවකින් වැව ප්‍රතිසංස්කරණය නොකිරීමත්, වැවේ තැන්පත්වී ඇති රොන්මඩ ඉවත් නොකිරීමත් නිසා වැවට මෙම අවාසනාවන්ත ඉරණම උදාවී ඇති බවයි.
ගොවියන් මෙහිදී වැඩි දුරටත් පෙන්වා දෙන්නේ රජයේ මැදිහත්වීමෙන් හෝ එසේ නැතිනම් රජයෙන් තමන්ට අවසරයක් ලබා දෙන්නේ නම් හෝ වැවෙහි තැන්පත්වී ඇති අනවශ්‍ය රොන්මඩ ඉවත් කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවයි.
වැව සුද්ද කරගන්න අපට පුළුවන්
සාගරයක් වැනි විශාල වැවක් මෙලෙස දිනෙන් දින පරිහානියට යැවීමට ඉඩ දී නිහඬව බලා සිටින නිලධාරීන්ට ගොවීහු මේ සම්බන්ධයෙන් චෝදනා කරති. මේ වැව කෙරෙහි අදාළ බලධාරීන්ගේ අවධානය වහාම යොමු නොවන්නේ නම් නුදුරේම වැවේ ගොඩවූ ඉඩ වැට ඉනි ගසා වෙන් කරගෙන හොර ඔප්පු සකසා ගැනීමට ජාවාරමුන් කැස කවන බව ගොවීහු පෙන්වා දෙති. මේ වන විට වැව ගව ගාල් හිමියන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත්වී හමාරය. තවත් සමහරුන් ගමන් පහසුව උදෙසා වැව මැදින් විකල්ප මාර්ග යොදා ගෙන තිබීම බරපතළ ගැටලුවකි.
මෙම වැවට සම්බන්ධ පිට වාන අඩි 800කට ආසන්නය. එම පිට වාන මේ වනවිට වල් බිහිවී වේල්ල සම්පූර්ණයෙන්ම ඝන කැලෑවකින් වැසී තිබේ. වැව සිඳීයෑම නිසා කුඹුරු අක්කර 250කට ආසන්න ප්‍රමාණයක වගාව සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර වගාවට අවශ්‍ය ජලය පතා ගොවීහු මේ දිනවල වැස්ස වලාහක දෙවියන්ගේ පිහිට පතති. වැවෙන් දිය ගත් බොහෝ දෙනා නෑමට පවා දරුමල්ලන් ද රැගෙන සැතපුම් ගණන් ඈත එපිටට පිය නගන දසුන් මේ දිනවල එමටය.
පොත්තුවිල්ලුව ගමේ මේරියස් ගොවි මහතා පාරම්පරික ගොවියෙකි. වසර ගණනක සිට කුඹුරු ගොවිතැනේ නිරත හෙතෙම දැන් කුඹුරු වගා කර ගැනීමට නොහැකිව අඳෝනා නඟයි.
“අපි මේ කුඹුරු ගොවිතැන කරන්නේ අවුරුදු ගණනාවක ඉඳලයි. ඒ දවස්වල අපට මෙහෙම සාගතයක් තිබ්බෙ නැහැ. අපි සියල්ල කළේ කුඹුරු ගොවිතැනෙන් ලැබුණු ආදායමෙන්. අපි මේ ප්‍රශ්නෙට මුහුණ දීලා දැන් අවුරුදු දෙකක් වෙනවා. සාගරයක් වගේ තිබ්බ වැව අද පීරිසියක් බවට පත්වෙලා. වැව හදලා දෙන්න කියා බලධාරීනට කට කැඩෙනකල් කිව්වා. කිසිම කෙනෙක් අපේ කියමන තුට්ටුවකට ගණන් ගත්තෙ නැහැ. අද අපි කබලෙන් ළිපට වැටිලා.
වැව මේ විදියට කැලෑවට යද්දි හොර ඉඩම් ජාවාරමුන් වැවට අයිතිවාසිකම් කියන්න එනවා. ඒ විතරක් නෙමෙයි අද සමහරු වැව මැදින් පාරවල් දාගෙන. වැඩි කාලයක් යන්න පෙර වැවත් අල්ලා ගනී.අපි ඉල්ලන්නේ අපේ දුක බලලා මේ වෙනුවෙන් මැදහත්වී මේ වැවේ රොන්මඩ ටික ඉවත් කරලා ජලය රැඳෙන්න සුදුසු ආකාරයට වැව ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියලයි”
වැවට අත්ව ඇති ඉරණම ගැන සෙබස්තියන් ගොවි මහතා චෝදනා එල්ල කරන්නේ නිලධාරීන්ටය.
අදාළ නිලධාරීන් පළාතකවත් නෑ
“මේ වැවේ වතුර පොදක් නැති වුණු දවසෙ ඉඳලා අපි පුදුම දුකක් විඳින්නෙ. අපේ දරු මල්ලන්ට අද යන එන මං නැති වෙලා පවුල්වල ආර්ථික ප්‍රශ්න ඉහ ඔසවන්න බැරි තරම්. කුඹුරකට උදැල්ලක් තිබ්බ කාලයක් මතක නැහැ. අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ වැව දිහා බලමින් හූල්ලන්නයි.
මේ වැව අයිති වාරි මාර්ගෙ නිලධාරීන් පැත්ත පළාතකට එන්නෙ නැහැ. හරියට කියනවනම් වැවක් තියෙනවද කියලාවත් දන්නවද දන්නෙ නැහැ.”
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ජූඩ් ගොවි මහතා මෙසේ පැවසීය.
“මේ දවස්වල නියඟය නිසා පුත්තලමේ ගොඩක් වැව් හිඳෙනවා කියන කතාව ඇත්ත. නමුත් මේ වැව ඔය ගණයට දාලා වැව හිඳිලා කියලා බලධාරින් නිදහසට කරුණු හොයනවා. වැව හිඳෙන්න හේතුව තමයි වැව ගොඩවෙලා තිබීම. අනෙක් කාරණය තමයි වැවේ රොන්මඩ තට්ටුවක් තියෙනවා අඩි අතරක පහක විතර. වැව හිඳුණාම තමයි වැව සුද්ධ කරන්න පහසු වෙන්නේ. වැවේ වතුර පිරුණාම වැව සුද්ද කරන්න බැරිබව මේ නිලධාරීන් දන්නෙ නැද්ද?”
මේරි ලූර්දු මහත්මිය කලක පටන්ම වැව මත්තේ ජීවිතය ගැටගසාගත් තැනැත්තියකි.
ඉස්සර පුත්තලමටත් වී විකුණුවා
“අපට මේ අහිමි වෙලා තියෙන්නේ ගමේ මිනිහෙක් මාළු කූරියෙක් අල්ලගෙන කාලා ගොවියෙක් කුඹුරක් කොටාගෙන දරු පවුල ජීවත්කරපු සම්පතක්. අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ වැවේ නෙළුම් අල හාරලා ජීවත් වෙන්නයි. අපිට අද යන එන මං නැතිවෙලා. කියන්න ලැජ්ජයි අපි එදා මුළු පුත්තලමට වී අලෙවි කෙරුවා. අද අපට වෙලා තියෙන්නේ පුත්තලමෙන් හාල් අල්ලට කොල්ලෙට අරන් කන්න.
වැව බලන්න එන අය මේ දැන් වැව හදලා දෙනවා වගෙයි කතා කරන්නේ. ඒත් තවමත් හදපු දෙයක් නෑ.”
“එදා ඉඳන් අපි පොතේ ලියලා කෑව මිනිස්සු නෙමේ මේ මහ පොළොව එක්ක ඔට්ටුවෙලා දහදිය මහන්සියෙන් තමා කීයක් හරි හොයා ගත්තේ අද ඒකටත් කණකොකා හඬලා ඉවරයි. කොටින්ම කියනවනම් අද අපේ කුඹුරු ඝන කෑලා වෙලා. සුද්ධ කරන්න කාලයක් නැහැ. මොකද කුඹුරක වැඩ ගොඩක් තියෙනවා කරන්න. එව්වා කරලා වැවේ වතුර නැතුව අත වකුටුකරගෙන ඉන්න එකට වඩා දැන් අපි තැනින් තැන කුලී වැඩවලට ගිහින් ලැබෙන සොච්චමෙන් තමයි ජීවත් වෙන්නෙ.” චන්ද්රවතී ගොවි මහත්මිය පැවසුවේ ශෝකයෙනි.
කේ. ප්‍රියංකර කළුපහන
වනාතවිල්ලුව සමූහ