තරු තොරතුරු | Page 7 | සිළුමිණ

තරු තොරතුරු

කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ කලාකරුවා

 ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටුකළ කලා ශිල්පීන්ට හා ශිල්පිනියන්ට උපහාර පුද දෙන කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන් පසුගියදා ප්‍රවීණ ගී පද රචක, මාධ්‍යවේදී ජෝර්ජ් රොබ්සන් ද සිල්වා පිදුම් ලැබුවා. ඒ 32 වන කලා භූෂණ සම්මාන උළෙලේ දියි. ‘අකුරට යන්නට කම්මැළි හිතිළා‘,‘පිණිබිඳු මුතු මල් සැණකෙළියේ...,සමාවෙයන් මට පුංචි පුතේ...,මේ දෙව් මැඳුරේ පුදසුන අභියස... වැනි ජනප්‍රිය ගීත සිය ගණනක් රචනා කළ ජෝර්ජ් රොබ්සන් දශක හතරකට ආසන්න සිය සෞන්දර්යය චාරිකාවේ දී කෙටි කතා හා ළමා කතා රචකයෙකු,ගීත පොත් සංස්කාරවරයෙකු මෙන්ම ගීත කැසට්පට, සංයුක්ත තැටි නිෂ්පාදකවරයකු සහ පොත් ප්‍රකාශකවරයෙකු ලෙසත් සාහිත්‍ය හා සංගීත ක්ෂේත්‍රයට නවක ලේඛක,ලේඛිකාවන් ද ගායක ගායිකාවන් ද හඳුන්වා දෙමින් මෙරට කලා ක්ෂේත්‍රයට අගනා කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. ඔහුට අපේ සුභපැතුම්.

සිනමාවේ ප්‍රතිවීරයා නිහඬවම සමුගනියි!

 

ප්‍රවීණ සිනමාවේදියෙකු වූ බැප්ටිස් ප්‍රනාන්දු මහතා පසුගිය දා සඳහටම සමුගෙන ගියේ ඔහුට, ඔහුගේ රංගනයට පෙම් බැදි දු දරුවන්ගේ , ඥාතීන්ගේ, හිතමිතුරන්ගේ මෙන්ම රසිකයන්ගේ ද සිත් හඬවමිනි. 1955 දී ‘පෙරකදෝරු බෑණා‘ චිත්‍රපටයේ චරිත දෙකකට රංගනයෙන් දායක වෙමින් බැප්ටිස් තම සිනමා දිවිය ඇරැඹුවේ වෙන්නප්පුව ජෝසෆ් වාස් විද්‍යාලයේ අධ්‍යපනය ලබමින් සිටින සමයේදීය. එතැන් පටන් ඔහුට සිනමාවේ බොහෝ චිත්‍රපටවල දොරඟුළු විවර වන්නට විය. ඔහු රංගන ශිල්පියෙකු පමණක් නොව චිත්‍රපට නිෂ්පාදකවරයෙකු, හා අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් සිනමාවේ විවිධ භූමිකාවනට පණ පොවන්නට සමත් විය. ‘අවිෂ්වාසය‘, ‘පුරුෂ රත්නය‘, ‘සිතක මහිම‘,සැපත සොයා‘, තුෂාරා, වනගත කෙල්ල, දුප්පතාගේ හිතවතා,‘ටිකිරා‘ වැනි චිත්‍රපට බොහෝ ප්‍රමාණයක ඔහු දුෂ්ට චරිත මෙන්ම වීර චරිත ද රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පියෙකු විය. කෙසේ නමුත් දුෂ්ට චරිත බොහෝ ප්‍රමාණයක් ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට පැමිණි බැප්ටිස් ‘ටිකිරා‘ චිත්‍රපටය නිසාම බෝහෝ සේ ජනප්‍රිය විය. 1964 දී ‘සිතක මහිම‘ චිත්‍රපටය ඔස්සේ දුෂ්ටයකු වූ ඔහු ගාමිණී ෆොන්සේකා වීර චරිත රඟපෑ බොහෝ චිත්‍රපටවල දුෂ්ටයාගේ චරිතයට පණ පෙවීය. ගාමිණී වීර චරිත රඟපාන විට දුෂ්ටචරිතවලට අත්‍යවශ්‍යම, සුදුසුම නළුවා බවට පත් වූයේ ඔහු බව ප්‍රේක්ෂකයන් ද පිළිගත්බවක් එකළ දක්කට ලැබුණි. ඔහු ඒ පිළිබඳ නිරතුරුවම මධ්‍යයටද අදහස් දක්වා තිබිණි. බැප්ටිස් ප්‍රනාන්දු කළාකරුවා මිය යන විට 84 වැනි වියේ පසුවිය.

සොඳුරු කලාකරුවණෙනි ඔබට නිවන් සුව!

අභියෝගය ජයගත් ‘සුද්දි,

සේමිණී ඉද්දමල්ගොඩ මේ දවස්වල ඉන්නෙ බොහොම සතුටින්. ඒ ඇය රඟ පෑ නවතම චිත්‍රපටය 28 තිරගතවීමට සුදානම් නිසයි. පසුගිය දා 28 චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පැවැත් වුණා. ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ 28 චිත්‍රපටය නරඹන්න මාධ්‍ය ක්ෂේත්‍රයේ වගේම එහි රඟ පෑ බොහෝ නළු නිළියන් පැමිණ සිටියා. ඒ අතර සේමිණිත් හිටියා. ඇය 28 හි රඟපාන ‘සුද්දි‘ චරිතය රඟපාන්න වෙච්ච කැපවීම ගැන ඇය පැවසුවේ නෙතඟට නැගුණු සතුටු කඳුලුත් එක්කයි. ‘28‘ චිත්‍රපටය රඟපාද්දි විශාල කැපවීමක් මට කරන්න සිදු වුණා. චිත්‍රපටයේ රූගත කිරීම්වලට හැමදාම වගේ පාන්දර 4.00ට තමයි අවදි වුණේ. සජීවීව තමයි සියුල දේ රූගත කිරිම් කළේ. ඒ දර්ශනය හරියට රූ ගැන්වෙනතුරුම මට රඟපාන්න සිදු වුණා. පුදුම ඉවසීමකින් තමයි ඒ චරිතය මම රඟපෑවේ. අනෙක මළ මිනියකට ඇට් කරනව කියන එක හරිම අභියෝගාත්මකයි. සමහරදාට ප්‍රසන්න අයියා දෙන විධාන මට එපා වුණා. දමල ගහල යන්න හිතුණා. ආයෙත් නම් එයත් එක්ක චිත්‍රපටි කරන් නැහැ කියල හිතුණා. ඒ තරමටම මගේ රඟපෑම් ඔහු මගෙන් උදුරා ගත්තා. ඇත්තටම චිත්‍රපටය නරඹත් දී සහ මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක දැන් නම් පුදුමා කාර සතුටක් දැනෙනවා. ප්‍රසන්නට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය අලුත්ම අත්දැකීමක් ගෙන දේවි කියලා හිතෙනවා.

කුකරිවලට කොටු

කෙටි කාලයක් තුළ ඉක්මනින් ජනප්‍රිය වෙන්න වාසනාවක් ලද නළුවන් අතර කිරන් ද සොයිසාත් අමතක කරන්න බැරි නළුවෙක්. ‘උතුම් පැතුම්‘ ටෙලි නාට්‍ය යෙන් වගේම තවත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයකින්ම අප අතරට ආ කිරන් වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක්. කිරන් මේ දවස්වල බරටම කුකරි වැඩවලට අතගහලා කියලා අපිට දැන ගන්න ලැබුණා. කිරන්ගේ කුකරි වැඩ ගැන වගේම කලා ලොවේ වැඩ කටයුතු ගැනත් ඔහු අපිත් එක්ක කිව්වේ මේ විදිහට.‘ පසුගිය දවස්වල මම අර්ජුන් කමලනාත්ගේ අලුත්ම ටෙලි නාට්‍යය ‘සඳමලී ‘ නාට්‍යයට රංගනයෙන් දායක වුණා. එහි මම රඟ පෑවේ ලොකු හෝටලයක ප්‍රධාන සූපවේදියෙකුගේ චරිතයක්. මේ නිසාම මට විවිධ කැම වර්ග උයන්න පිහන්න සිදුවුණා. ඒ හෝටලයේ ඉන්න ඇත්තම කුක්ලා මට ඒ චරිතයට සහයෝගය දුන්න. ඒ වගේම පසුගිය දවස්වල මම රඟපාපු ‘සයපෙති කුසුම‘ චිත්‍රපටයත් තිරගත වුණා. එහි මම රඟපාපු අසම්මත චරිතය බෝහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. මේ දවස්වලත් විවිධ නිර්මාණවලට මම දායක වෙනවා. ඒ වගේම මේ දවස්වල මනාලියන් හැඩ ගැන්වීමේ කටයුතු, රූපලාව‍ණ්‍ය කටයුතු එක්ක මම කාර්ය බහුලයි. ඒ වගේම මට දැන් රසට උයන්නත් පුළුවන්.

 මේධා යළිත් නිවේදනයට

මේධා ජයරත්න කලාවට, නිවේදනයට අමුත්තියක් නොවෙයි. ඇය මේ මාධ්‍ය ඔස්සේ නිරතුරුවම අප අතරට පැමිණියත් මේ දිනවල ඇය වැඩි වශයෙන්ම අප අතරට පැමිණෙන්නේ රංගනය ඔස්සේයි. එනිසාම මේ දිනවල මේධා නිවේදිකාවක ලෙස දකින්න නොලැබුණු තරම්. එහෙත් දුරස්ව සිටි නිවේදන කලාව ඔස්සේ ඇය නැවතත් අලුත්ම විදියකින් ප්‍රධාන රූපවාහිනී නාලිකාවකින් අප අතරට එන්නට සූදානම් වෙන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ඒ ගැන ඇගෙන්ම අපි විමසා බැලුවා.

'මම මේ දිනවල 'සියත' රූපවාහිනියේ නිවේදන කටයුතවලට දායක වෙනවා. මොකද දැන් 'සියත' ප්‍රේක්ෂකයා හමුවට අලුත්ම මුහුණුවරකින් වෙනස්ම,නවතම වැඩසටහන් රැසක් සමඟින් එන්නට සූදානම්. ඒ සැබෑ වෙනස ගෙන එන්නේ කැලුම් පාලිත මහීරත්නයි. කැලුම් අයියා අහම්බෙන් මුණගැසුණු වෙලාවක මට සියතේ වැඩසටහන් කිහිපයකටම කතා කළා. ඒ අනූව මමත් හුඟක් ආදරේ කරන නිවේදන කලාවට මට නැවත පැමිණෙන්න හැකි වුණා. ඉදිරියේ දී ප්‍රේක්ෂකයන් නැව්ම් වැඩසටහන් ඔස්සේ හමුවෙන්න මම සූදානම්'

Comments