ගාලු පුර සාහිත්‍ය සැණකෙළිය | Page 7 | සිළුමිණ

ගාලු පුර සාහිත්‍ය සැණකෙළිය

මෙවර ගාලුපුර සාහිත්‍ය සැණකෙළියට දහතුන්වැනිදා සවස් කාලයේ සහභාගී වූ බැවින් එහි සමීපරූපයක් ඉන්ද්‍රචාප ගේ මතකයේ වේ. ෆෙයාර්වේ ගෝල් ලිටෙරරි ෆෙස්ටිවල් Fairway Galle Literary Festival හෙවත් ගාලු සාහිත්‍ය සැණකෙළිය එනමින් මෙවර පැවැත්වුණේ දෙවැනි වතාවට බවයි ඉන්ද්‍රචාප ගේ සමීපරූපය පවසන්නේ. කලකට පෙර අඛණ්ඩව පැවැති ගාලු සාහිත්‍ය සැණකෙළියේ, Title sponsor හෙවත් ශීර්ෂ අනුග්‍රාහකයා, අංක එක අනුග්‍රාහකයා වූයේ HSBC බැංකුව බව ද ඉන්ද්‍රචාපට මතකය. බැංකුව සමඟ අත්වැල් බැඳගත් ජනමාධ්‍ය ආයතන, තානාපති කාර්යාල, දේශීය හා විදේශීය සංස්කෘතික සංගම්, සමාජ මාධ්‍ය ජාල, ගුවන් සමාගම්, සංචාරක සමාගම් හා ගාලු දිසාවේ ප්‍රමුඛ හෝටල් රැසක සමීපරූප ඉන්ද්‍රචාපට හොඳින් මතකය. 2012 ජනවාරි 18 - 22 දක්වා පැවැති සැණකෙළියේ, 20 සිකුරාදා හිරු බැස යන හෝරාවේ, කතිකාවෙහි සම්පත්දායකත්වයෙන් එක් වූ සුනේත්‍රා රාජකරුණානායක, මධ්‍යස්ථ මතධාරිනිය වූ Moderator මධුභාෂිණී රත්නායකගේ මුහුණ ද ඉන්ද්‍රචාපට සිහිවේ. එකී සාහිත්‍ය උලෙළ, දින පහක් පුරා පැවැති සාහිත්‍ය සංකථන, වැඩ මුළු, සංස්කෘතික ක්‍රියාකාරකම් ආදියෙන් නො අඩුව පැවැත්වුණු උලෙළක් වූ අතර, සාහිත්‍ය කෘතියකට හෝ කෘතිනට සම්මාන පිරිනැමීමක් වැන්නක් සිදු නොවිණ. එතෙර මෙතෙර ලේඛක ලේඛිකාවන් ගේ දුලබ හමුවීමක් ලෙස ඉන්ද්‍රචාපගේ සමීප රූප අතර පැරැණි ගාලු සාහිත්‍ය සැණකෙළිය රැඳී ඇත. ඉංග්‍රීසි භාෂෘව මාධ්‍යය වූ අතර, අවශ්‍ය තන්හි සිංහල භාෂා පරිවර්තන ද වූ බව මතකය.

මෙවර එනම්, වසර තුනකට පසු 2016 දී යළිත් ගාලු සාහිත්‍ය සැණකෙළිය නව මුහුණුවරකින් ඉන්ද්‍රචාප දකින්නේ, ශීර්ෂ අනුග්‍රාහකයා ලෙස දේශීය ඉදිකිරීම් සමාගම් සමූහයක සහභාගීත්වයෙනි. ඉදිකිරීම් කර්මාන්තය හා රටක සාහිත්‍යය අතර කිනම් සම්බන්ධයක් වේදැයි සාහිත්‍යය පිළිබඳ උනන්දුව දක්වන්නකුට සිතෙන්නට පුළුවන. එහෙත් Fairway සමාගම් සමූහය, සැණකෙළියට තම අනුග්‍රාහකත්වය දක්වන්නේ, නවතම විශේෂාංගයක් ද එක් කරමින් වීම වැදගත්ය. වසර එකක් හා අඩක කාලයක් තුළ‍ මෙරට ප්‍රකාශිත සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළවූ විශිෂ්ටතම නවකතා සඳහා අඩමිලියනයක් බැගින් මුල්‍යමය සම්මානයක් හා අවසාන වටයට නිර්දිෂ්ට නවකතා සියල්ලට ම රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීම ද වර්තමාන සාහිත්‍ය සැණකෙළියේ විශේෂත්වයයි. 2016 පළමු උලෙළේදී හොඳම දමිළ නවකතාවකට සුදුසු මට්ටමේ කෘතියක් නො වූවත් මෙවර ත්‍රෛයිභාෂික විශිෂ්ට නවකතා ත්‍රිත්වයකට ෆෙයාර්වේ සම්මාන පිරිනැමෙනු ඉන්ද්‍රචාප දිටීය.

සම්මාන උලෙළ ප්‍රධාන ආරාධිතයා වූ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සුපුරුදු ලෙස ම, ඔහු හොඳ කියවන්නකු බව සනාථ කරමින්, ගාලු පුරවරය සාහිත්‍ය සම්මාන උලෙළක් සඳහා තෝරා ගැනීමේ පසුබිමත්, ගාලු දිසාවෙන් රුහුණු පුරවරයත්, ශ්‍රී ලාංකේය සාහිත්‍යයට එක් වූ තොටගමුවේ සිරිරහල් හිමිපාණන් වීදාගම මෛත්‍රිය හිමිපාණන් ගේ මුහුණු ද සමීපරූපයට එක් කරමින්, මෑත කාලීන සාහිත්‍යකරුවන් සාහිත්‍ය කාරියන් ගේ මුහුණු ද මතකයට නැංවීය. මහාගත්කරු කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහ මතු ‍නොව, රුහුණේ කිවිඳිය ලෙස විරුදාවලිලත් ගජමන් නෝනා ගේ සමීප රූප ද අගමැතිතුමා ගේ මතකයෙහි විය. පොතපත ප්‍රකාශනයට, වර්තමාන ප්‍රකාශක සමාගම් සඳහා වඩ වඩාත් පහසුකම් ලබාදීම රජයේ යුතුකමක් බව ද හෙතෙම සිහිපත් කළේය.

උලෙළ, හේතුපාඨ ප්‍රකාශය, සම්මාන ප්‍රදානය, ආරාධිත අමුත්තාගේ කෙටි දේශනය ඇතුළු සියලු කටයුතු හෝරාවකට නො අඩු කාලයක් තුළ නිමාවනු ඉන්ද්‍රචාප දිටීය. ෆෙයාර්වේ ව්‍යාපාර සමූහය ද ඔවුන් හා අත්බැඳගත් ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව ද සාහිත්‍යකාමී ප්‍රජාවගේ ආදරයට ලක්වූ බව ඉන්ද්‍රචාපගේ හැඟීමයි. 

Comments