'පිවිසුම' | Page 3 | සිළුමිණ

'පිවිසුම'

අප පිවිසුණේ අලුත් වසරකට යි. මෙවැනි සන්ධිස්ථාන යොදා ගත යුතු වන්නේ අතපසුවීම්වල ළතනොවී, ලැබූ අතීත පාඩම් ඉදිරි ගමන සඳහා භාවිතයට ගැනීමට යි. රටට ඇති එක ම ඉදිරි ගමන, කුමන හේතුවක් මත හෝ බිඳුණු හිත් හදා ගෙන, ශ්‍රී ලාංකිකයන් ලෙස නැඟී සිට, එකිනෙකාට ගෞරව කරන, සාධාරණ සමාජයක් වෙත පිය මැනීම යි. ගෙවී ගිය වසරේ දීත් ඒ මඟ පැහැදිලි නොවී නම් අප්‍රමාද ව ඒ මඟ පාදා ගත යුතු යි.

ශ්‍රී ලාංකික සමාජයේ හිත් හැදීම අන් සියලු කරුණුවලට වඩා වැදගත් බව සලකමින්, අන් සියලු කරුණු අරමුණු කළ යුත්තේ එලෙස හිත් හැදීමට බව සලකමින් මේ අලුත් පිවිසුමේ දී ප්‍රමුඛත්වය දිය යුතු යි. කෙටියෙන් පවසතොත්: රටේ දේශපාලන ක්‍රියාන්විතය ඉලක්ක ගත යුතු වන්නේ ජනසමාජයේ හිත් හදා ජාතික සංහිඳියාව දෙසට මඟ පෑදීමට යි. එවිට යහ පාලනයට ද පාර පෑදෙනු ඇත. මීට වසර දෙකකට පමණ ඉහත සිදු වන 'ජනවාරි 8' විප්ලවයට පාදක වූයේ ද මේ අරමුණ ඇතුළත් ජනතා අපේක්ෂාවකි. රටට අනන්‍ය සංස්කෘතික පදනම මත ලෝකය ඉදිරියේ දෙපයින් නැඟිට සිටීමේ වුවමනාවකි. එහෙත් ඒ ජනතා අපේක්ෂාව බලාපොරොත්තුසහගත දෙසකට හෝ හරවන්නට රටේ දේශපාලනය සමත් වූවා ද යන්න මේ පිවිසුමේ දී විමසිය යුතු ව තිබේ. දේශපාලකයන් වෙතින් ඉටු කර ගන්නට ජනතාව ලෙස අප කල්පනා කළේ සාධාරණ සමාජයක් සඳාහා වූ අපේක්ෂාවන් ම ද කියා සිතා බැලීමටත් මෙය අවස්ථාවක් කර ගත යුතු යි.

ඇත්ත! මේ ගමන සඳහා ආදර්ශය පළ කළ යුතු වන්නේ හෝ ක්‍රියාන්විතයට අත තැබිය යුතු වන්නේ හෝ දේශපාලනය පැත්තෙනි; දේශපාලන නායකයන්ගේ පැත්තෙනි. ඒ ගැන අවබෝධයෙන් යුතු ව ඉදිරි පියවරක් තැබීමට මාධ්‍ය භාවිතයටත් අතපසු වී ද යන්න මේ අලුත් පිවිසුමේ දී හැරී බැලිය යුතු යි.

පසුගිය වසරේ පමණක් නො ව, අනාදිමත් කාලයක සිට ම අපට මඟහැරී ඇති කාරණයත්, රටක් ලෙස අපට පසුබාන්නට සිදු වූ හේතුවත් සමාජයේ හිත් සන්සුන් කරන මඟක්, හිත් හදන මඟක් පාදා ගන්නට දේශපාලනය අපොහොසත් වීම යි. එලෙස අසමත් දේශපාලනයක් පිටුපස සියලු සැලසුම් හෝ ක්‍රියාන්විතයන් හෝ වැටී යෑම නොසන්සුන් සමාජය තව තව ඇවිළවීමට හේතු විණි. සිදු වූ දේශපාලන පෙරළිය මඟින් කවර දෙයක් මතුපිටින් බලාපොරොත්තු වුව ද ජන සමාජයේ ඇතුළාන්තයෙන් අවිඤ්ඥාණක ව හෝ පැතුවේ සංහිඳියාවට මාර්ගයකි. තමා ළඟ ම අනෙකා සමඟ පමණක් නො ව, තම හිත ම මහත් පීඩාවකින් නොසන්සුන් වී තිබීම ඊට බලපෑ ඇත්ත හේතුව යි. කාගේත් පැතුම වූයේ කෑමට යමක් නො ව, සැනසීමට මඟකි; එකිනෙකා අතර ම, තම අසල්වැසියා අතර ම නැති වී ගිය සංහිඳියාවට පිවිසෙන මාර්ගයකි. එනම්: හිත්වලට සතුට ගෙනෙන පිවිසුමකි. පෙර සිහිපත් කළ දේශපාලන පෙරළිය සඳහා සංහිඳියාව හා යහපාලනය සටන්පාඨ බවට පත් වන්නේ ඒ සමාජීය ඉල්ලුම හේතුවෙනි.

දේශපාලනයේ සහ මාධ්‍ය භාවිතයේ වගකීම වූයේ ඒ වචනවල අරුත විකෘතියකට හැරවීමට ඉඩ නොතබා, පසුගිය වැරදීම්වල ම පසුබා නොසිට, ඉදිරි පියවර ගැනීම යි. ඒ වගකීම මඟහැරෙන බවක් දනවන දේශපාලන ක්‍රියාමාර්ග අලුත් වසරේ පිවිසුමට නොගත යුතු යි.

ත්‍රස්තවාදය නිමා කිරීමට තිබුණු ජාතික වුවමනාව යටින් ශ්‍රී ලාංකික සමාජයට කිඳා බැස තිබුණේ රටේ ස්වාධීන බව පිළිබඳ බිය යි. එය ජාතීන් අතර හිත් බිඳුවන යුද්ධයක් ලෙස ගොඩ නඟන්නේ එකිනෙකා අතර බෙදීම වපුරා තම අවස්ථාවාදය පිරිමසා ගන්නට මාන බලන දේශපාලනය යි. ත්‍රස්තවාදයට යුදමය පරාජයක් අත් කර දුන් ආණ්ඩුවක් පැරදවීමට ජනතාව ඒකරාශි වන්නේ ඒ වන විට අන්තර්ජාතික ලෙස හෝ කලාපීය බලවතුන් ලෙස හෝ රටේ ස්වාධීනත්වයට අතපෙවීමේ බිය - විශේෂයෙන් ම ආර්ථික වශයෙන් ඩැහැ ගැනීමට ඉඩ තිබුණා ය, කියන බිය - පෙරදැරි ව යි. පැවති ආණ්ඩුව පරාජය කොට පිහිටුවා ගත් සම්මුතිවාදි දේශපාලනය විසින් අතනෑර සිහි තබා ගනු ලැබිය යුතු සමාජීය හද ගැස්ම එය වේ.

රට ආර්ථික ව ගොඩ නැඟීමේ දී ආශ්චර්යයේ පිවිසුම, සිරිසර පිවිසුම, දකුණේ සංවර්ධනය, උතුරේ සංවර්ධනය, මෙගා පෝලිස්, කලාපීය ආර්ථික ගිවිසුම් ආදි ලෙසින් එන සංවර්ධන ව්‍යාපෘති වෙනස් වන ලෝකයත් සමඟ යාවත්කාලීන වීමට අත්‍යවශ්‍ය සැලසුම් බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් ඒ සියල්ල සමාජයක් ලෙස ඉදිරියට යෑමට මිස පවුලකට, පිරිසකට, තව රටකට, ලෝක බලවතුන්ට යට වන ආකාරයේ දේ නොවන බව ජනතාවට ඒත්තු ගැන්වීම සම්මුතිවාදි දේශපාලනයේ වගකීම වේ. ඒ වගකීම මඟ නොහැරෙන්නට නම් රටේ දේශපාලනය සමාජය වෙතට පිවිසුම මෙන් ම ජන සමාජය ලෙස අප එකිනෙකා තම ඇතුළට පිවිසුම ද අත්‍යවශ්‍ය වේ.

Comments