භූ තාපය බැහැරට ගත්තොත් බලශක්තියෙන් අඩුවක් නැහැ | Page 2 | සිළුමිණ

භූ තාපය බැහැරට ගත්තොත් බලශක්තියෙන් අඩුවක් නැහැ

භූ තාපයෙන් බලශක්තිය ජනනය කරගැනීම සම්බන්ධයෙන් අප රටේ කතා බහ කෙරෙන්නේ ඉතා අඩුවෙනි. එසේ වුවත් අමෙරිකා එක්සත් ජනපදය, පිලිපීනය, ඉන්දුනීසීයාව, නවසීලන්තය, ඉතාලිය, මෙක්සිකෝව, තුර්කිය, කෙන්යාව, අයිස්ලන්තය, සහ ජපානය යනාදී රටවල් භූ තාපයෙන් මහා පරිමාණ වශයෙන් බලශක්තිය ජනනය කරගනී. මේ හැරුණු විට භූ තාපය භාවිතයෙන් සුලු පරිමාණයෙන් බලශක්තිය ජනනය කරගන්නා රටවල් රැසක්ද ඇත.

 

2015 වසර වනවිට මේ සියලු රටවල් මෙගා වොට් 12,635ක පමණ ස්ථාපිත ධාරිතාවක් භූ තාපය ජනනය කිරීම සඳහා එක් කරගත් බව සඳහන් වේ. භූ තාපයෙන් බලශක්තිය ජනනය කිරීම අපට අලුත් දෙයක් වුවත් ඉතාලිය භූ තාපයෙන් බලශක්තිය ජනනය කරන්නේ 1904 වසරේ සිටය. මේ කාරණා සලකා බලන විට භූ තාපය ගැන අප නොදන්නා දේ බොහෝ ඇත. භූ තාපය ගැන කරුණු අනාවරණය කරගැනීමේ අරමුණින් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ යාන්ත්‍රික ඉංජිනේරු මංගල විජේතිලක මහතා සමඟ අපි සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයෙමු. මංගල විජේතිලක මහතා භූ තාපයෙන් බලශක්තිය ජනනය කරගැනීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලත් ඉංජිනේරුවරයෙකි. 

භූ තාපය කියන්නේ කුමකටද?

පොළොව මතු පිටට එන සහ පොළොවේ තැන්පත් වෙලා තිබෙන තාපය, භූ තාපය වශයෙන් හැඳින්වෙනවා.

එවැනි තාපයක් ජනනනය වන්නේ කොහොමද?

පොළොවේ අරය කිලෝමීටර 6500ක් පමණ වනවා. පොළොව, අභ්‍යන්තර හරය (Inner core), බාහිර හරය (Outer core), පහළ ප්‍රාවරණය (Lower mantle), ඉහළ ප්‍රාවරණය (Upper mantle), පෘථිවි කබොල (Crust) යන කොටස්වලින් සමන්විතයි. පෘථිවිය ආරම්භයේ සිට නොනැසි පවතින තාප ශක්තියත්, විකිරණශීලිතාව නිසා හටගන්නා තාපයත්, භූ තැටි අතර ඝර්ෂණය නිසා ඇතිවන තාපයත් හේතුවෙන් එය තාපය ජනනය කරන වස්තුවක් ලෙස සලකනවා. පොළොව අභ්‍යන්තරයට යන විට උෂ්ණත්වය හා පීඩනය ඉතා අධික අගයන්වල පවතින්නේ. පහළ ප්‍රාවරණයේ ද්‍රව තත්වයේ ඇති සමහර පාෂාණ (මැග්මා), එය තුළ පවතින පීඩන වෙනස නිසා ගිණි කඳු තුළින් හෝ පොළොවේ පැලීම් තුළින් හෝ කලින් කලට මතුපිටට එනවා. මෙහිදී පෘථිවි පෘෂ්ඨයට ආසන්නයේ ඇති, නමුත් පිටතට නොපැමිණි මැග්මා නිසා පෘෂ්ඨයට ළඟින් ඇති පාෂාණ හා ජලය ඉතා අධික උෂ්ණත්වයකට පත් ‍වනවා. එම ජලය විවිධ ආකාරයෙන් පෘථිවිය මතුපිටට එනවා.

ඒ අන්දමින් ඇති තාපය බැහැරට ගතහොත් අපට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද?

ඔව්; ළිඳක් විදීමෙන් උණු ජලය ඉවතට ගන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී සමහරවිට බැහැරට එන්නේ හුමාලය වෙන්නත් පුළුවන්. ඇතැම් විටෙක ඒ දෙකම වෙන්නත් පුළුවන්. ඒ අන්දමට ලබා ගන්නා උණුසුම් ජලය හෝ හුමාලය හෝ භාවිතයට ගෙන ටර්බයිනයක් කරකැවීමට සැලැස්විය හැකියි. ජෙනරේටරයක් උපයෝගී කරගෙන විදුලිය උත්පාදනය කර ගන්න අසීරුවක් නැහැ.

ඒ කියන්නේ භූ තාපය පුනර්ජනනී බලශක්ති ප්‍රභවයක් කියන කාරණය නේද?

පැහැදිලිවම, භූ තාපය කියන්නේ පුනර්ජනනී බලශක්ති ප්‍රභවයක්.

පොළොවේ ඕනෑම තැනෙකින් භූ තාපය ලබාගත හැකිද?

පුළුවන්. නමුත් සමහර ස්ථානවලදී එය ඵලදායී කාර්යයක් නොවෙයි.

ඒ ඇයි?

පෘථිවිය භූ තල 13කින් පමණ නිර්මිත වෙලා තිබෙනවා කියලා සැලකෙනවා. බෙහෙවින් සක්‍රිය මට්ටමේ ඇති භූ තාප සම්පත් තිබෙන්නේ එම භූ තල මායිම්වල. ඒ අතර ප්‍රධානම තැනක් ගන්නේ ෆැසිපික් භූ තලය. එය අවට සිදුවන භූ කම්පන ප්‍රමාණය අතිවිශාලයි. එම භූ තලය ආශ්‍රිතව ගිනි කඳුත් තිබෙනවා. එහි පෘථිවි පෘෂ්ඨයට හුඟක් ආසන්නයෙන් මැග්මා තිබෙන්නේ. ඒ නිසා ෆැසිපික් සමුද්‍රයේ මේ මායිම හැඳින්වෙන්නේ ගිනි මුදුව හැටියට. එවැනි ප්‍රදේශවලින් භූ තාපය ලබාගැනීම ඉතා වාසිදායකයි.

ශ්‍රී ලංකාවේ අප ජීවත් වන්නේ භූ තාප සම්පත් සහිත කලාපයක හෝ එවැනි කලාපයකට ආසන්නයෙන් හෝ නොවෙයිද?

නැහැ. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු - ඕස්ට්‍රේලියා භූ තලය ආශ්‍රය කරගෙන. මේ භූ තලයත් ඉන්දු සහ ඕස්ට්‍රේලියා භූ තල හැටියට විභේදනය වෙමින් තිබෙනවා කියලා විද්‍යාඥයින් පවසනවා. මේ භූ තලයේ මායිම පිහිටලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර 1500ක් පමණ දුරින්. ඒ නිසා ශ්‍රී ලංකාවට කිලෝමීටර 1500ක් පමණ දුරින් භූ කම්පන ආදිය හුඟක් සිදුවෙන්නේ. මේ තත්ත්වය හේතුවෙන් අපට භූ තාපය පහසුවෙන් ලබාගන්න තියෙන ශක්‍යතාවය අඩුවෙලා තිබෙනවා. අපට භූ තාපය ලබාගන්න හැකි වෙන්නේ පොළොව මතුපිට සිට කිලෝමීටර කීපයක් පොළොව අභ්‍යන්තරයට ගියාට පසුව.

මේ තත්ත්වය භූ තාපයෙන් බලශක්තිය නිෂ්පාදනය කරන්නට යෑමේදී අපට බලපාන්නේ කෙසේද?

පෙර කී විධියට පවතින භූ තාපය ප්‍රයෝජනයට ගන්නවා නම් හුඟක් දුරට පොළොව විදින්න වෙනවා. කිනම් ප්‍රදේශයකින් සක්‍රිය භූ තාප සංචිත ලැබේදැයි සොයා ගත යුතුයි. මේ නිසා පර්යේෂණ සිදු කර වඩාත් සක්‍රිය භූ තාප සංචිත ඇත්තේ කවර ප්‍රදේශවලදැයි පොළොව විදීමට පෙර තීරණය කර ගත යුතු වනවා. ඒ අනුව බලශක්ති නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹිය හැකියි. නමුත් අයිස්ලන්තය වැනි රටක පොළොව මතුපිට පෘෂ්ඨයට ආසන්නයේම වාගේ වඩා සක්‍රිය තාප සම්පත් තිබෙනවා. අයිස්ලන්තය වැනි රටවල්, භූ තාපයෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්නේ එනිසයි.

අපේ රටේ පිහිටීම අනුව අපට භූ තාපයෙන් බලශක්තිය ජනනය කරගැනීමට නොහැකි බවද ඔබ පවසන්නේ?.

කොහෙත්ම නැහැ. භූ තාප සංචිත වර්ග කරන්න පුළුවන්, අඩු එන්තැල්පි සංචිත සහ වැඩි එන්තැල්පි සංචිත වශයෙන්. අඩු එන්තැල්පි සංචිතයක තිබෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 150ට අඩු උෂ්ණත්වයක්. වැඩි එන්තැල්පි සංචිතයක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 150ට වඩා වැඩියි. ශ්‍රී ලංකාව ආශ්‍රයෙන් ලබාගත් දත්ත අනුව අපේ සංචිතවල උෂ්ණත්වය සෙන්ග්‍රේඩ් අංශක 140ක් පමණ වෙනවා කියලා මූලික ගණනය කිරීම්වලින් තහවුරු වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපට තිබෙන්නේ අඩු එන්තැල්පි සංචිත. එවැනි අවස්ථාවකදී අපට හුමාලය ලබාගන්න තියෙන හැකියාව අඩුයි. උණුසුම් ජලය තමයි අපට ලබාගත හැකි වෙන්නේ.

නමුත් ටර්බයිනයක් කරකවන්න බොහෝවිට අවශ්‍ය වන්නේ හුමාලය නේද?

ඔව්; හුමාලය නැති කොට ටර්බයිනයක් කරකවන්නේ කොහොමද කියන ගැටලුව එනවා. එහිදී අපි කරන්නේ දෙවැනි ද්‍රවයක් භාවිත කිරීම. එය තාපාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 100ට වඩා අඩු ද්‍රවයක් විය යුතුයි. ජලයේ තාපයෙන් ඒ දෙවන ද්‍රවය හුමාල තත්ත්වයට පමුණුවා ගන්නවා. ඒ හුමාලයෙන් ටර්බයිනය කරකවා ගන්න පුළුවන්. ලංකාවට ගැලපෙන්නේ එවැනි ක්‍රමයක්.

ඔබ අයිස්ලන්තය ගැන සඳහන් කළා. භූ තාප ශක්තිය ඉතා හොඳින් භාවිතයට ගන්නේ අයිස්ලන්තයද?

අයිස්ලන්තයේ පමණක් නොවෙයි භූ තාපයෙන් බලශක්තිය ජනනය කිරීමේ ව්‍යාපෘති, බටහිර යුරෝපා රටවල් රාශියක කෙරීගෙන යනවා. මම හිතන විධියට මේ සම්බන්ධ ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් සිදු කර, වැඩිම ධාරිතාවක් ලබාගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය. අනෙක් කාර්මික රටවල් ඒ ඔස්සේ යමින් සිටිනවා.

භූ තාපයෙන් බලශක්තිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ලොව කිසියම් තැනෙක ඇරඹුවහොත් කොපමණ කාලයක් පුරා එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකිද?

භූ තාප සංචිතය කොපමණ කාලයක් පුරා භාවිත කරන්න පුළුවන්ද යන්න ගණනය කරගත යුතුයි. භූ තාපයෙන් බලශක්තිය ජනනය කිරීම අධික වියදම් සහිත වැඩක්. එවැනි ව්‍යාපෘතියකට විශාල ආයෝජනයක් කළ යුතුයි. එනිසා එවැනි ගණනය කිරීම් පූර්වයෙන්ම සිදු කිරීම ඉතා වැදගත්.

භූ තාපය සහිත ප්‍රදේශයක්, පොළොව මතුපිට තිබෙන ලක්ෂණවලින් හඳුනාගන්න බැරිද?

පුළුවන්. එවැනි ප්‍රදේශයක ගිනි කඳු, උණුදිය උල්පත්, ගීසර සහ වාමුඛ ආදිය දක්නට ලැබෙනවා.

අපේ රටේ උණුදිය උල්පත් දහයක් පමණ දක්නට ලැබෙනවානේ ...?...

ඔව්; මේ ලක්ෂණවලින් අපේ රටේ දක්නට ලැබෙන්නේ උණුදිය උල්පත් පමණයි. කින්යා සිට සූරියවැව ප්‍රදේශය දක්වා, එක පෙළකට මෙන් මේ උණු දිය උල්පත් පිහිටා තිබෙනවා. භූ ගර්භය ඇතුළට විශාල පැලීම් ඇතිවීමෙන් මේ උණුදිය උල්පත් සැකසෙන්න ඇතැයි විශ්වාස කරනවා.

ඒ තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ අපටත් කවදා හෝ දවසක භූ තාපයෙන් බලශක්තිය ජනනය කරගන්න හැකියාව ලැබෙයිද?

මෙරටට බලපාන භූ තාප සංචිත ගැන තොරතුරු වැඩිදුර පර්යේෂණ මඟින් පළමුවෙන්ම අනාවරණය කරගත යුතු වනවා. ඒ අනුව තමයි භූ තාපයෙන් විදුලිය ජනනය කරන්න පුළුවන්ද කියලා තීරණය කළ යුත්තේ. අපට සුළඟ සහ සූර්යයාලෝකය භාවිතයට ගෙන බලශක්ති ජනනය කිරීමේ විශාල හැකියාවක් තියෙනවා. එහිදී දරන්න වෙන්නේ මීට වඩා අඩු අවදානමක්. පහසුවෙන් භාවිත කළ හැකි එවැනි ශක්ති ප්‍රභව භාවිතයට ගෙන අවසන් වන විට තවදුරටත් බලශක්තිය ජනනය කර ගැනීම සඳහා භූ තාපය ගැන අපට සලකා බලන්න පුළුවන්.

කිසියම් දිනයක අපි භූ තාපයෙන් බලශක්තිය ජනනය කරගන්න නැඹුරු වුවහොත් එය අපට වාසිදායක හෝ අවාසිදායක හෝ වන්නේ කෙසේද?

භූ තාපයෙන් බලශක්තිය ජනනය කරගැනීමේ වාසි මෙන්ම අවාසිත් තියෙනවා. ප්‍රධානම වාසිය තමයි, මෙමඟින් වායු ගෝලයට විමෝචනය වන කාබන්ඩ යොක්සයිඩ් ප්‍රමාණය අවම මට්ටමක පැවතීම. පොසිල ඉන්ධන දහනයෙන් බලශක්තිය ජනනය කරගන්න අවස්ථාවකදී සාපේක්ෂව ඉහළ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට විමෝචනය වනවා. නමුත් භූ තාපය ප්‍රයෝජනයට ගැනීමේදී පරිසරයට එකතු වන්නේ, පොළොව තුළ තියෙන කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ මීතේන් ස්වල්ප ප්‍රමාණයක් පමණයි. භූ තාප බලාගාරයක් ඉදි කිරීමට අවශ්‍ය වන්නේ සාපේක්ෂව අඩු ඉඩ ප්‍රමාණයක්. ඒ වගේම භූ තාප බලාගාරයක් ක්‍රියාත්මක කරන්න අමතර ඉන්ධන අවශ්‍ය වන්නේ නැහැ. භූ තාපයෙන් බලශක්තිය ජනනය කරගැනීමට යෑමේදී උපකරණ, පුහුණු ශ්‍රමය, යටිතල පහසුකම් ආදිය විශාල වශයෙන් අවශ්‍ය වනවා. එය අවාසි සහගත තත්ත්වයක්. ඒ වගේම භූ තාප බලාගාරයක් ඉදි කිරීමට විශාල ආයෝජනයක් කළ යුතු වනවා. අනෙකක් තබා ඒ ප්‍රභවය හඳුනා ගැනීම සඳහාත් විශාල මුදලක් වැයවනවා. ඒ වගේම අවදානමක් දරන්න වනවා; එපමණ මුදලක් යටකරලා ඉදි කරන බලාගරයකින් කොපමණ කලක් විදුලිය ජනනනය කරගන්න හැකි වෙයිද කියලා ආයෝජනයට පෙර විශේෂයෙන් සොයා බැලිය යුතුයි. ඒ සියලු අවාසි සහ අවදානම් දරාගෙන තමයි අපට භූ තාපයෙන් බලශක්තිය ජනනය කරගන්න නැඹුරු වන්න සිදුවන්නේ.

සංවාද සටහන
මංජුලා විජයරත්න

Comments